Wednesday, August 25, 2010

අනුගාමිකයෙකුගේ කවිය


මංමුලාවූ දිවියට

මගකියූ පහන් ටැඹ නුඹ විය

වියළී ගිය ජීවිතය

පණ ලැබූ දිය දහර නුඹ විය

නුඹ සෙවණෙහි අපට

පිය සෙනෙහස දැනුනා සත්තයි


ඉගැන්වූ ශිල්පයන්ගෙන් මත්ව

සටනට වැදි සිහ කැලක් මෙන්

මතකද පන්නා දැමූ හැටි සිඟාලයන්

කැට කැබලිත්තක් වත් නොගෙන


නුඹේ අනුගාමිකයෙකු බව දත්

ඔරවන දෑස් දෙස තේජස්ව බලා

පසුපසට සිනාසෙන දෑස්

තඹයකට මායිම් නොකර

පිය මැන්නා ඉදිරියටම අපි

නුඹ තැබූ පිය සටහන් අනුවම


වරෙක ඒ පියසටහන්

අපැහැදිලි වන බව දුටුමුත්

සනසා ගත්තෙමුය අපසිත්

ඒ මේ සුළඟට යැයි කියා


මඳින්මඳ අපැහැදිලි පියසටහන්

විකෘතිව ඇද ගැසී

මතුවන විට සිඟාල පාසටහන්

සත්තයි අපට දැනුනා

සිත දැවී ගිය බව


තණ කබලවත් නුහුරු මුඛයෙන්

සිඟාල කැල හා එක්ව

කැට කැබලි සමගින් වසුරුද ගිලින

නුඹ දුටු අප සැබවින්ම පව් කල බව නම් දැනිනි


ගුරුහු ට හොඳ නම් අපිට මොකෝ

දැඩිව අල්ලාගත් සොහොයුරෝද

බලෙන්ම එක්වී නඩයට

ආන් බලන් සරනයුරු

නව පණක් ලද මෙන්


ඉතින් ආපසු හැරෙන් සොයුරනි

කෙසේ වසමුද අපි

පදනම දෙදරා ඉරිතලා ගිය ගෘහයක

බිත්තිද බොල්ව හඬ නැගෙන කල

හිසට සෙවණක් වේයැයි සිතාගෙන


අනුෂ්ක තිලකරත්න

08/26/2010



Thursday, July 15, 2010

සියවස් ගණනකට එපිට.....



ඇවිද යමි නිරුවත් දෙපයින්

සියවස් ගණනකට එපිට

සෙවනැලි පටලැවුනු මෙබිම් කඩ මත

තුරු ලතා මලින් බරවුනු

නිල් දිය පොකුණු හා

විහඟ ගී හඬින් පිරි එකල

එ බිම් කඩ මත ඇවිද යමි යළි


පයට පෑගෙන ඉරි තැලුනු ශුෂ්ක බිමකි

දිය පොකුණු සිඳී ගිය

උන් උන් තැනම දිරූ තුරු ලතාවන්

අසරණව බලා සිටිනා මුඩු බිමකි අද


ගත දවන උණුසුමින්

සිත දවන හැඟුමින්

හාත් පස සෙවූයෙමි

එකදු හෝ සළකුණක්

සියවස් ගණනකට එපිට

මිය ගිය ප්‍රේමයක


දියසිඳී වියළුණු

මඩ කඩිත්තක් පතුලේ

සොයාගතිමි යමක්

ගෙන බැලූයෙමි දෝතට

තිබුණි එහි

මුදල් නෝට්ටුවක් හා පදක්කමක්

අතර සිරවුනු වියැකී ගිය හදවතක්

පොසිලයක් ව



අනුෂ්ක තිලකරත්න
07/02/2010

Tuesday, April 13, 2010

සුභ පැතුම් පත්..........


කාමරය අස්කරද්දි පරණ සුභ පැතුම් පත් මිටියක් මුණගැහුනා.අවුරුදු 10 කට 15 කට විතර ඉස්සර ඒවාත් තිබුනා...ආච්චිලා සීයලා..අම්මා අප්පච්චි.. මාමාලා.නැන්දලා...අය්යලා..අක්කලා.. තව පංතිවල හිටපු කොල්ලො..කෙල්ලෝ සේරම ඒ සුභ පැතුම් පත් අතර හිටියා.
කාමරය අස් කරන වැඩේ පොඩ්ඩකට නතර කරලා මම සුභ පැතුම් පත් මිටියත් එක්ක තනිවුනා. ඒවා එකින් එක කියවන්න ගත්තා.ඒවා එවල තියෙන අය සහ ඒ අය ගැන මතක ආයෙත් මැවෙන්න ගත්තා. අවුරුදු 10, 15 වුනත් තාමත් ඒ මතක අලුත්.



ඒ අයගෙන් බොහොමයක් මේ වෙනකොට කොහේ ඉන්නවද මොනවා කරනවද දන්නෙත් නැහැ. මේ මූණු පොතට (Facebook) පිංසිද්ද වෙන්න ජාලෙට සෙට් වෙන අය විතරක් යාන්තම් ආයෙත් දකින්න ලැබෙනවා. ඒත් ඒ අයගෙත් සමහරුන්ගේ මොකද්දෝ නුහුරක් දැනෙනවා වෙලාවකට.සමහර අය වෙනස් වෙලා."අඩෝ මචා..." කියල අහන්නත් මොකද්දෝ වගේ..ඒ කියන්නෙ අද ඒ අයට ඒ වචන නොගැලපෙනවා වගේ.ඒත් ඒ වෙනස් වීම දරාගෙනම ඒ අයගෙ මතකත් එක්ක ජීවත් වෙන්න මම ආසයි. අද ඉන්න ඒ උදවියට වඩා ඉස්සර මට මුණගැහුනු ඒ අයගෙ අතීත ජීවිත මට වඩාත් සමීපයි.

මක්කොරන්ටද....ඉතින්..කාලය අපිට සමහර දේවල් දෙනවා වගේම සමහර දේවල් උදුර ගන්නවා..
ඉස්කෝලේ ඉස්සරහින් යද්දි..බොරැල්ල මරදාන පාරට පේන දහය වසරේ (මගේ කාලේ) බිල්ඩිමේ ජනේල් මීට අවුරුදු 12 කට කලින් මතකය අවදි කරවන්නේ හිතා ගන්න බැරි වේගයකින්. ආයෙත් ඒ පංති කාමරේට දුවලා පාර දිහා බලන්න හිත බල කරනවා. ඒත් බැහැ නේද? මට පිස්සු කියල හිතයි. දැන් ඒ පංති වල වෙනම එවුන් ටිකක් ඇති. ඒකාලෙ ජනේලෙන් පාර බලාගෙන ඉන්නකොට පාරේ වැඩට යන..කොටින්ම කිව්වොත් ඉස්කෝලේ නොයන වැඩට යන අය දැක්කෙ හරි ලොකු විදිහට. වැඩට යන එක හරි ලොකු වැඩක් කියලයි එදා මම හිතා ගෙන හිටියේ. බලාගෙන ගියාම ඒකෙත් එච්චර ලොකුවක් නැහැ.

මේ සුභ පැතුම් පත් අතර ආච්චිලා සීයලා එවපු සුභ පැතුම් පත් කිහිපයකුත් තියෙනවා. ඒ අයගෙන් තුන් දෙනෙක්ම දැන් ජීවතුන් අතර නැහැ. සමහර නෑදෑයොත් දැන් නැති ගානයි. ඒ අය වෙනස් වෙලා. නැත් නම් වෙනස් වෙන්න සිද්ද වෙලා. ආර්ථික මට්ටම්..සමාජ මට්ටම්..තව තව එක එක මට්ටම් මෙවාට හේතුභූත වෙලා වෙන්න ඇති.

දැන් අපි කාටත් තැපෑලෙන් එන සුභ පැතුම් පත් ලැබෙනවා අඩුයි නේද? අද එතන ඉන්නේ SMS නැත්නම් e-mail . අර තැපැල් සුභ පැතුම් පතක් ලැබෙන කොට දැනෙන සතුටෙන් අරික්කාලක් වත් ඒ සුභ පැතුම් පත් වල තියෙනවද? ඒවා හරි ක්ෂණික ඒ වගේම අඩු මහන්සියකින් යවන සහ ලබන සුභ පැතුම්. ඕනෙනම් සුභ පැතුම යවන්න ඕනේ දිනය වේලාව මතක තිය ගන්න ඕනෙත් නැහැ. Schedule කරල තියල තිබ්බම auto ම සුභ පැතුම යනවා.කොහොමද වැඩේ...?

කාලෙත් එක්ක ලෝකෙ වෙනස් වෙනවා. ඒක නොවැලැක්විය හැකි දෙයක්. ඒත් මේ හැම වෙනස් වීමක්ම අපිව සතුටට පත් කරනදේම නෙමෙයි. මේ සුභ පැතුම් පත් මිටිය මම පුලුවන් තරම් කාලයක් මගේ ළඟ තියා ගන්නවා. හොඳටම වයසට ගිහිනුත් මේ සුභ පැතුම් පත් මිටිය ඉඳලා හිටලා බලන්න මම හිතාගෙන ඉන්නේ. ඒ සුභ පැතුම් පත් මගේ අතීතයේ සුන්දර මතක යළි යළිත් ජීවත් කරවාවි.



අනුෂ්ක තිලකරත්න
04/13/2010

Monday, March 29, 2010

මහ පොළොව වත් නොදන්නා තාලයේ මිනිසෙක්

1.ජීවත්ව සිටියා මෙහි

මහපොළොව වත් නොදන්නා තාලයට

මිනිසෙක්

ගුරු පාරෙන් නිවසට

නිවසින් ගුරු පාරට

ඉන් පිටත තණකොල ගසක් වත්

නො පෑගුණු විලස

ජීවත්වීය මිනිසෙක් මෙහි


2." බෑරක්ද මේ අසන අයටත්

"අංකල් කොහේටද " අසන අයටත්

වීය එකම පිළිතුරක්

ඔහුගේ මුවෙහි


3.ඈත තැනක කඩයක

කරදී සුලු සුලු වැඩපල

දිවි ගෙවීය ඉන් ඔහු

මහ පොළොවටවත් නොදැනෙන විලස


4.කලක් ගතවූ තැන

අමුත්තෙකු පැමිණ ගමට

විමසයි තතු ඔහු ගැන

මග හමුවන අයගෙන්


5."දින කිහිපයක පටන්

පැමිණියේ නෑ කඩයට

වෙනදානම් එලෙස නෑවිත්

මග ඇරියෙ නෑ නොකියාම"


6."හැබෑමයි අපිත් දැක්කෙනෑ හුඟ දවසකින්

දොර ජනෙල් වසා තිබුනා දින කිහිපයක්

ගම්මුද රැස්ව තැන තැන

කරති කසු කුසු කුහුළින


7.දැන් කුමක් කරමුද අපි

කුමක් වීද මොහුට

විපතක් වත් දැයි ගේ තුළ

හැර බලමු දොරවල්අපි


8.රාළහාමිද පැමිණ

එකතු කරගෙන මිනිසුන්

හැර බැලීය දොරවල්

සොයන්නට මොහු ගැන


9.ගෙය පාලුවට ගොස්ය

බැඳී මකුලු දැල් දුඹුලු

විදුලිය නැති නිවස

පිරික්සති විදුලි එළියෙන්


10.නැත කිසි සළකුණක්

ඇඳුම් වැරහැලි සහ

පිඟානක් මැටි කෝප්පයක් හැර

කසිකබල් මේස පොඩ්ඩක් මත

මොනවදෝ පොත් කිහිපයක්


11.සොයන්නට අන්තැනක් නැතිකල

පැමිණියා කෙනෙක් මේසය වෙත

එමත වූ ලියුමක් රැගෙන කියවීය

ලබන්නට හෝඩුවාවක්


12.මිතුරනි යැයි අමතා

පටන් ගෙන ඇත ලියුම

"මීටත් වඩා නිදහසක් සොයා පියනඟමි ඈතට"

එවැකි පමණක් වීය ලියුමෙහි


13.කවුද මොහු..කොහේ ගියේද

කාටත් නොදන්වා

එ පැන සහිතව

කියවති මේසය මත වූ

පැරණි කොපි පොත්


14."ඒයි මේ බලපන්...

මේ මිනිහගේ කවිද?"

පොත පිරෙන්නට පිටු පිරෙන්නට

අමුණා ඇත අකුරු කැට


15.මග තොට මුණ ගැසුන මිනිසුන්

උන් ගේ වැහැරුන ජීවිත

නෙතග රැඳි කඳුලු කැට

පණ පෙවී ඇත එ කවි තුළ


16.යුධ බියෙන් ඇළලුන ජීවිත

උන් දකින බියකරු සිහින

නිදි නොමැති දිගු රාත්‍රීන්

කැටි ගැසී ඇත එ කවි තුළ


17.මහ මඟට වැටුනු දරුවෝ

මහ මඟම ජනිත දරුවෝ

ගං දියට වැටුනු දරුවෝ

හඬන හඬ ඇසේ එ කවි තුළ


18.බොහෝ කලකට පෙර

දලු ලා වැඩුණු ප්‍රේමයක්

දුක් බරව බිඳෙනයුරු

ගැයේ ඒ කවි තුළ


19.කවිරස හඳුනන අය

බෙදාගෙන එ පොත් ටික

කියවමින් විඳිති කවිරස

නොවිඳි ලෙස අන් තැනක


20.වීය අප අතර මෙවන් මිනිසෙක්

අපද නොදැනුවත්වම

ඉටු කරමු අපි ඔහුට යුතුකම්

පළ කරමු මේ පොත් ටික


21ගෙන සිතට වීරිය

ලැබී අත හිත අවැසි ලෙස

පළ කලෝය ඔවුහු මේ

අතුරුදන් කවියාගේ කවි පද


22. ලැබ මහත් ප්‍රසිද්ධිය

පළවීය පොත් පෙල

බොහො බොහෝ දනන් ඉක්බිති

සොයා එති මෙ කවි ගෙ ගම


23.අතුරුදන් කවියාගෙ ගම යැයි

ලැබ මහත් හර සර

ගමද විය දියුණු ඉක්බිති

ඉදිවී මහා මාර්ගද


24.ඉදිවිය පිළිමයක්

අතුරුදන් කවියා නමින්

ලැබ මල් මාල හර සර

මැති ඇමති ලොකු උන් අතින්


25.මුලදි එය වසරක් පාසා

පසුව දෙවසරක් තෙවසරක් ඉන්පසු

ලැබුනු විට ඉඩකඩක් පහසුවක්

ලැබීය පිළිමය හරසර


26.පිළිමය දැන් සිටියි

තවරාගෙන දිය සෙවල

නගරාරක්ෂක බලු කැල

ලගිති පහසුව පිළිම පාමුල


27.ජීවත්ව සිටියා මෙහි

මහ පොළොව වත් නොදන්නා තාලයට මිනිසෙක්

සෙවල බැඳි පිළිමයක් ද

දියවූ මතකයක්ද ඉතිරිකර

අතුරුදන් වී බොහෝ කල්

එනමුත් සැබැවින්ම

සිටියා ඔහු ජීවත්ව මෙහි


අනුෂ්ක තිලකරත්න

03/29/2010

Monday, August 10, 2009

බැනුම් අහන කවියා

මහ සභාවක් මුල්ලේ හිඳ ගෙන
මඳ සිනහවක් මුව රඳවාගෙන
වේදිකාවේ පඬුවන් ගෙන්
බැනුම් අහන කවියා නුඹ

මල් පොකුරෙද තුරු වදුලෙද
හිරු සඳු තරු වලා පෙළෙ ද
ආදරයක්..දිව්‍යමය ආදරයක් සඟවා විත්
බැනුම් අහන කවියා නුඹ

”මෙච්චර ලෝකෙට ප‍්‍රශ්න තියෙද්දිත්,
කිසි සමාජ වගකීමක් නැති
අනේ මුං ලියන කවි ” යැයි
හිනැහෙමින් බැනුම් අහන කවියා නුඹ

”ගහපියව් මරපියව් ඕකුන්ට
අන්න බලව් අපේ කෙරුම්,
අනේ තොපෙ මල් පොහොට්ටුවෙ විප්ලවේ” යැයි
බිම බලාගෙන මඳ සිනාවෙන් ඉවසා
බැනුම් අහන කවියා නුඹ

ගරු සභාවෙන් එළියටවිත්
හඳුනන්නන් අතර හුදෙකලා වී
පෝළිමේ ගොස් තේ බොන
එතනත් ටිකක් බැනුම් අහන කවියා නුඹ

ගෙදර යාමට බස් නැවතුමට විත්
තරු කැට මත දෑස් රඳවාගෙන
තවත් කවියකට රන් සුණු සොයන
ටිකකට කලින් මහ සභාවෙන්
බැනුම් අහපු කවියා නුඹ

අනුෂ්ක තිලකරත්න
08/08/2009


Sunday, July 26, 2009

චීන ගුප්ත රහස්

සමන්ත ඈතින් පෙනෙන තෙමහල් නිවස දෙස බලාගෙන කල්පනා කලා. කොහොම හිටපු මිනිහෙක්ද? ඒත් අද? තමන් මෙන්ම මුඩුක්කු පරිසරයක හැදුනු සුදා මහත්තයා අද ගෙවන ජීවිතය මොන තරම් සැපවත්ද? අපි කවද්ද මේකෙන් එළියට යන්නේ..? සමන්තට හීල්ලූනා.

පිට්ටනියේ කොල්ලෝ රැලක් පා පන්දු සෙල්ලම් කරනවා. වත්තේ කොල්ලන්ගේ අලූත්ම පිස්සුව. එක එක කාලෙට එක එක පිස්සු. කාලෙකට ක‍්‍රිකට්. කාලෙකට එල්ලේ . කාලෙකට ෆුට් බෝල් . පිස්සුවෙන්ම කාලෙ ගෙවෙනවා. ඔහෙ මොනවාහරි කරලා කියක් හරි හොයා ගන්නවා. කොහෙහරි කෙල්ලෙක් බැඳ ගන්නවා. ආයෙත් තව පවුලක් හැදෙනවා. ඕක තමයි ජීවිතේ. පාරේ තැනක වයස අවුරුදු දොලහක දහතුනක විතර කොල්ලෝ දෙන්නෙක් දූවිලි අවුස්ස අවුස්ස මූන් වෝක් එක පුරුදු වෙනවා. උන්ගේ ගැන්සියේ එවුන් වටේ ඉඳගෙන උන්ට හුරේ දානවා. ගැන්සියෙන් පිට එකෙක් හරි මුන්ට හිනාවුනොත් ආයෙ අහගන්න වෙන්නේ කුණු හබයෙන් තමයි. සමන්තට හිනා ගියා උන්ගේ මූන් වෝක් එක දැකලා. ඒත් ඒ හිනාව ඇතුලේ මොකද්දෝ වේදනාවකුත් සැඟවිලා ඇති බව සමන්තට තේරුනා.

සමන්ත ආයෙත් ඈතින් පෙනෙන සුදා මහත්තයාගෙ ගේ දිහා බලා ගෙන හිටියා. හදිසියේම කාගෙදෝ අතක් සමන්තගේ උරහිස උඩ වැටුනා. තිස් තුනේ ගෙදර විනිල්. ” මොකෝ බර කල්පනාවක? අද ප්ලේ කරන්නෙ නැතැයි?” සිගරට් ඉරිල්ලෙන් කලූ පාට වුනු දත් අතරින් යාන්තමට හිනා වෙවී විනිල් අහනවා. නෑ බන්. මගේ ඇඟට හරි නෑ.” සමන්ත කිව්වේ වැඩි ඕනැකමකින් නොවෙයි.

”මේ ඒක නෙමෙයි මං දැක්කා උඹ ඊයෙ මොකද්දෝ පොතක් උස්සන් යනවා.. මොකද්ද නවල් එකක්ද?” විනිල් ඇහුවා.

”නෑ බං මේ මේ....”
”හරි හරී.. මම ගැන්සිය ඉස්සරහා ඇදලා උඹව නෝන්ඩි කරන්නෑ කියහන්කෝ අගේ කරන්නැතුව....”
”නවල් එකක් නෙමේ බං”
”එහෙනං.... කියහන්කෝ ඉතින්...ලබ්බ...”
”මේක බං මේ.. උඹ අරුන්ට කියන්නේ නෑ නේ....
”නෑ බොල හාල්පාරුවෝ.. කියපිය...”
”එක බං මේ මේ ධනවත් වෙන විදිහ ගැන කියවෙන..පොතක්. චීන ගුප්ත රහස් .”

සමන්ත ලැජ්ජාවෙන් වගේ කිව්වේ. විනිල් විහිලූ කරයි කියලා හිතාගෙන.ඒත් විනිල් විහිලූ කලේ වත් හිනා උනේ වත් නෑ.

”ඇත්තද?...මචං. මම උඹට හිනා වෙන්නෑ මචං. ”

”නෑ බං විනිලො.. මම කියන්නෙ බලපන් අර තට්ටු තුනේ..ගේ සුදා මහත්තයා අලූතින් හදා ගත්තේ.. දැන් බලපං ඌ කොච්චර දියුණු වෙලාද?”..මට මේක එපා වෙලා බං...අපි නිකන් කාණු පණුවෝ වගේ...”

”හහ්.. සුදා කාරයා මන්තිරියට සෙට් වෙලා කරපු පජාති වැඩ අපි නොදන්නවද බං. ඕකෙ ගඩොලක් ගඩොලක් ගානේ මිනිස්සු සාප කරනවා ඕකට. පලාතෙම කුඩු වැපුරුවෙ ඕකා.තවපොඩ්ඩෙන් අපිත් ගස්. මතකනේ. හරක් වගේ අපිත් තවපොඩ්ඩෙන් සෙට් වෙනවා. කුඩු බිස්නස් එකට සෙට් වෙලා උගේ මල්ලි වෙඩි කෑවා. එක පුතෙක් අතක් නැති කරගත්තා වලියකදි... අනේ ඕවා සල්ලිද බං.. රෙද්ද..” විනිල් කිවේ කට ඇද කරලා. කේන්තියෙනුයි පිළිකුලෙනුයි.

”හරි බං හරි.. මම කියන්නේ සාධාරණව දියුණු වෙන්න.. කෝ බං අපිට චාන්ස් එකක් දෙන්න එකෙක්. යන හැම තැනම රිජෙට් වෙනවා. මෙහේ කියල දැනගත්තම.”

”හරි දැන් උඹ ඔය පොතේ විදිහටද වැඩ කරන්න යන්නේ? හා කියපන්. ඔය පොතේ විදිහට උඹට පුලූවන්ද උඹලගේ ගේ තියා ගන්න. ඈ. ඔලූව අර පැත්තට දාලා. කකුල් මේ පැත්තට. ඇඳ අර පැත්තට. කාමරේ ජනේලේ මෙහෙට.දොර එහාට කුස්සිය මෙහේ. කක්කුස්සිය අරෙහේ.. ඔය අඩි දහයේ උඹ ලබ්බක් කරන්නද? උඹලගේ ගෙදර හෙන සෙට් එකක් ඉන්නවා. දැන් ඔය පොතේවිදිහට උඹ කාමර සැලසුම් කරහන්. අනේ...
”අනික ඕකෙ තියෙනව නේද ගේ දොරකොඩ මොකද්ද එකක් තියන්නයි..එතකොට සල්ලි ආකර්සනේ වෙනවැයි.. මොකද්ද බයිලයක්.. ඉතින් උඹත් තියපංකො දොරකඩ. පහුවදා උදේ බලනකොට ඕක උස්සල තියෙයි. අනේ බං මේ...”
විනිලා කියනදේත් ඇත්තක් තියෙනවා. ” මේ උඹ කොහොමද ඕව දන්නේ.. උඹත් මේක කියෙව්වද?”

”ඇයි යකෝ.. ඔය පත්තරෙත් යන්නේ.. මම කියවල තියෙනව එහෙන් මෙහෙන්..”

”ආ ඒ කියන්නේ උඹත් කියෙව්වා මේව...” සමන්ත ඇහුවේ නිකන් සවුත්තුවට වගේ.
”නැතුව.. ඇයි අපි දියුණු උනාම නරකද ඩෝ..හිහ්..” විනිල් කිව්වේ සමන්තගේ පිටට පාරක් ගහන ගමන්.
”මට තේරෙන්නේ නෑ බං. අපි මේ කන කට්ට. දැන් බලපන්. ගොඩක් උන්ට මේක ගානක් නෑ. උන් ඔහේ ඉන්නවා. ඔය හිටියට මටත් වෙලාවකට මේක එපා වෙනව. ඇයි අපි ආස නැද්ද කාල ඇඳලා හොද පිළිගැනීමක් ඇතුව ඉන්න. මට තේරෙන්නෑ බං ඔවට හේතු. එක්කො අපේ කරුමේ. නැත්තන් අර මා ඕ කාරය කියව කියව යන්නෙ ධනවාදයේ ගොදුරු..අධිරාජ්ජ වාදීන් ගේ ගැට..අරවයි.. මේවයි..ලොකු ලොකු ටෝක්ස්. අපි ඌට නෝන්ඩි දැම්මට වෙලාවකට හිතෙනව බං ඌ කියන දේ ලොකු ඇත්තක් තියෙනවා කියලා. එත් ඉතින් ඕවට සෙට් වෙන්න ගියොත් මේ තියෙන ආතල් එකත් කැඩෙනව බං.” විනිල් ඈත අහස දිහා බලාගෙන කියවගෙන ගියා.
”හ්ම්”. සමන්ත සියලූම හැඟීම් කැටිකරගෙන හූමිටි තැබුවා.
”බස්සෙක් වගේ හූම් හූම් ගාන්න දෙයක් නෑ බං. ඔය රෙද්දෙ පොත අල්ලලා දාල වරෙන් යන්න ප්ලේ කරන්න. අද බෙකම් කැලේ යන්න ගහමු. වරෙන්. ” විනිල් පිට්ටනියට දුවන ගමන් කිව්වා.

සමන්ත දුවන ගමන්ම තමන් ළඟට ආව බෝලෙට පුලූවන් තරම් ඈතට විසිවෙන පා පහරක් දුන්නා. බෝලෙ උඩින් ගිහින් ඈත තිබුන තාප්පෙ වැදුනේ අලවලා තිබුන පෝස්ටරේක මඩ පාරක් තියමින්.

”සරු සාර දිවියක් අත් කර ගැනීමට .දේශනය සහ වැඩමුළුව... ”



අනුෂ්ක තිලකරත්න
07/26/2009

Friday, April 17, 2009

දිග්විජය

විදැදුරන් තනා දුන් 
මාරායුධය එල්ල කර 
ජය ගතිමි සියලු තැන්  
දෙපා යට රැඳි බිම් කඩ හැර

අනුෂ්ක තිලකරත්න 
2009/04/16