Showing posts with label kavi. Show all posts
Showing posts with label kavi. Show all posts

Thursday, December 11, 2025

අයැදුම




 රැයේ අන්ධකාරය

විදුඇසින් පහදා

ආලෝකය කුමක්දැයි

මහ පොතක ලියන

සඳ!

එකවරක් හැකිනම්

මා වැලඳගන්න

අන්ධකාරය

ගෙවෙන්නට මත්තෙන්

කල්ප ගානක් ඉන්න

උරුමයක් නැත මට

කුමුදු මල කීවාය


අනුෂ්ක තිලකරත්න

11/12/2025


Monday, April 7, 2025

හුදෙකලා මහ ගස්

 පාළු හිස් බිම්වල

උසට නැගී මහගස්

එකිනෙකට ඈතින්

සවිමත්ව නැගි මහ ගස්

විඳ දරාගෙන ග්‍රීෂ්මය

ශීත වැහි කුණාටු ද

අභීතව සිට ගත් මහ ගස්


ඉඳ හිට අතුවනා

දුරක ඇති ගස් වෙත

මඳ සිනා නගාගෙන 

පෙනෙන නොපෙනෙන ලෙසට

යහතින් සිටින බව තමන්

ඉගිකරයි

හුදෙකලාවේ නැගි මහ ගස්


අතු රිකිලි පිරි පිරිමැද

හමාගිය සුළඟකට

උන් කීය රහසක්,

සබඳ අපි

ඉඳ හිට දකින සිහිනයක් වෙයි

නෙක තුරු ලතාවන්

එකිනෙකට ඈඳුණු,

උනුන් හා බොහෝ කෙළි කවටකම් කරන

එක්ව වැඩෙන 

එක්ව මියයන

එක්ව වැළපෙන 

මහා වනයක

අපිද වැඩී සිටින්නෙමු.





Thursday, April 15, 2021

මා තැනූ ඔබ


මට දිවිය දුන්
නිමැයුම් කරුවානෙනි
මිනිස් හදවතකින් දිවි ගෙවන
ඔබ විඳි වේදනාවන් දෙස
එක සීරුවට එකම තැන සිට
මම බලා සිටින්නෙමි
 
වසර ගනනක් දුහුවිලි බැඳී
මලකඩ කෑ අසිපතක් සමග
සීරුවට නැගී සිටිනා මම
ලී හදවතක මහිමයෙන්
සියල්ල විඳදරා ගනිමි
 
දිවිය පුරාවටම පෙම් කෙරූ
අර ගොපලු කෙල්ල
කෙමෙන් දුර්වර්ණව අවසන
බිම වැටී බිඳෙනයුරු
දෑහින්ම දැක දැකත්
තවමත් උත්තුංගව නැගී සිටින මා මෙන්
නොසැලී ඉන්නට ඔබටත් තිබිනි..
 
මට මෙන් ලී හදවතක් තිබුනා නම්
නොසැලී ඉන්නට පුලුවනි.


අනුෂ්ක තිලකරත්න
16/04/2021
 

 

Thursday, July 15, 2010

සියවස් ගණනකට එපිට.....



ඇවිද යමි නිරුවත් දෙපයින්

සියවස් ගණනකට එපිට

සෙවනැලි පටලැවුනු මෙබිම් කඩ මත

තුරු ලතා මලින් බරවුනු

නිල් දිය පොකුණු හා

විහඟ ගී හඬින් පිරි එකල

එ බිම් කඩ මත ඇවිද යමි යළි


පයට පෑගෙන ඉරි තැලුනු ශුෂ්ක බිමකි

දිය පොකුණු සිඳී ගිය

උන් උන් තැනම දිරූ තුරු ලතාවන්

අසරණව බලා සිටිනා මුඩු බිමකි අද


ගත දවන උණුසුමින්

සිත දවන හැඟුමින්

හාත් පස සෙවූයෙමි

එකදු හෝ සළකුණක්

සියවස් ගණනකට එපිට

මිය ගිය ප්‍රේමයක


දියසිඳී වියළුණු

මඩ කඩිත්තක් පතුලේ

සොයාගතිමි යමක්

ගෙන බැලූයෙමි දෝතට

තිබුණි එහි

මුදල් නෝට්ටුවක් හා පදක්කමක්

අතර සිරවුනු වියැකී ගිය හදවතක්

පොසිලයක් ව



අනුෂ්ක තිලකරත්න
07/02/2010