Thursday, March 30, 2017

අර ගැඹුරු චිත්‍රය



ලස්සනට අස්කරන්
පිළිවෙලට තියාගෙන
ඉන්නට මටත් ඕනැ විය

ඒ මගේ සිරි නිවස
මගේ සිහිනය

වැලි ගෙනත් දමන කොට පුංචි පුතු
හොඳින් අතු ගෑ සාලයේ
ඉවසං හිටියා මමත්
නොඉඳම බැරි කමට

සති අන්ත ශ්‍රමදාන
එස් පහට අමතරව
තව තවත් ක්‍රමවේද
ගේ ලස්සනට තියා ගන්න
ඒ මගේ සිහිනය
මගේ සිරි නිවස

මහ ගැඹුරු චිත්‍රයක්
එල්ලගෙන සාලෙ මැද
ගැඹුරුම නිහඬතාවයක
දැහැනකට සමවදින්න
ඒ මගේ සිහිනය...

කොතෙක් කල් ගතවුනිද....
කොතෙක් දේ සිදුවුනිද.....

දැන් හරිම පිළිවෙලයි
පිරිසිඳුය සංසුන්ය
හැදි කරන්නට කෙනෙක් නැත
මේ නිහඬ ජීවිතය

බොඳවගිය දෑසින්
වීදුරු දෙනෙත විනිවිද
තනිව රසවිඳිමි මම
අර ගැඹුරු චිත්‍රය