Sunday, November 10, 2019

සීවලී රූපය


වරදින්නේ නෑ වේලක් ගෙදරකට
සීවලී රූපයක් තියෙනකොට
අත්තම්මා කියනකොට එහෙම
සතුටු හිතුනා අපිට

වේලක් දෙවේලක් මගහැරෙන කොට
ඉබේ බැලෙනවා සීවලී රූපය දිහා
මුකුත් නොකියා එතකොට
මල්ලියි මායි ඉන්නවා බිම බලාගෙන

උඹලාගේ කුස ගින්න නිවන්න
අපේ උතුමට සහය දෙන්න
පාට පාටින් ඇඳගත්ත
මාමලාත් ආවා ඉල්ලගෙන

තාත්තාට කුලී ලැබුනම
සීවලී රූපෙත් එළියයි එදාට
සීවලී රූපයේ බලයෙන්
කුස පිරෙනවා හැමෝගෙම

තාත්තා ඔත්පල වූ දින සිට
වේලක් ලැබෙන්නෙත් ඉඳහිට
දූවිලි බැඳුනු සීවලී රූපය
පිරිසිඳු කරන්නේ පුරුද්දට

Sunday, September 1, 2019

ධීර ගොවියෝ

මාතුපාල දුර තියාම දුටුවේ තම කුඹුරේ කවුදෝ මහත්තුරු නෝනලා වගයක් නිදහසේ ඇවිදිමින් ඉන්න අන්දමයි. අර පොඩි විජේ නේද ඒ කට්ටියත් එක්ක ඉන්නෙ ? මාතුපාල ඇඳින්නේ පොඩි විජේ විතරයි.

"මාතුපාලය්යේ මේ නෝනල මහත්තුරුන්ට කුඹුර බලන්න ඕනෙ කිව්ව". පොඩි විජේ ඈත තියාම කෑ ගැහුවා.

"ඒ අහවල් එකටද? "මාතුපාල ඇහුවේ නිකන් නොරොක් එකට වගේ.

"නෑ නෑ අපිට මේ ලස්සන කුඹුර බලන්න ඕනෙ උනා. ඉතින් මේ මල්ලි එක්ක ආවා අපිව ". කණ්ඩායමේ හිටිය එක නෝනකෙනෙක් කිව්ව.

"එතකොට මෙයාද මේ කුඹුරේ අයිතිකාරය? "  ඒ නෝන මාතුපාල ළඟටම ඇවිල්ල ඇහුවා. මාතුපාලගේ සැර එවෙලේ ටිකක් බාල වුනා.

"ඔව් මං තමයි" මාතුපාලත් ටිකක් කරුණාවෙන් උත්තර දුන්නා.

"ආ හොඳයි නේ..!" .නෝනා එහෙම කියල ලස්සනට හිනා උනා.

 එච්චර ලස්සනට මාතුපාලත් එක්ක සිරියලතා ඒ කියන්නෙ මාතුපාලගෙ පවුල වත් හිනා වෙලා නැතුව ඇති.

"මොකද්ද නෝනල ආ කාරණාව ?" මාතුපාල ඇහුවා.

 "අනේ මට නෝනා කියන්න එපා. මට මාධවී කියන්න ". නෝන බිම බලාගෙන එහෙම කිව්වම මාතුපාලටත් නිකන් මොකද්ද උනා වගේ.

"එතකොට මේඅය්යගෙ නම මොකද්ද?" මාධවී එහෙම ඇහුවා.

"මොකක්!... අය්ය! යකෝ මගෙ දූට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් ඇති". මාතුපාලට එහෙම හිතුනා.

"ආ මේ මේ. මං මාතුපාල" එහෙම කිව්වම මාතුපාලටම නිකන් ලැජ්ජයි වගේ.

"හොඳයි මාතුපාල අය්ය අපි ආව ධීර ගොවියෝ සංවිධානයෙන්. අය්ය අහල තියෙනවද අපි ගැන?" මාධවී ඇස් පුංචිකරල අහපු විදිහට මාතුපාල ආසාවෙන් මාධවී දිහාම බලාගෙන හිටිය මිසක් උත්තර දෙන්නත් අමතක වුනා.

"ආ..මේ මේ..නෑ නෑ.මං අහල නෑ". මාතුපාල බොහොම අමාරුවෙන් කියාගත්ත.

"හොඳයි අය්යෙ..අපි ධීර ගොවියෝ සංවිධානය..අපි ජාත්‍යන්තර සංවිධානයක්. අපි ආසියාවෙ කෘෂිකර්මාන්තය ඒ කියන්නෙ මේ කුඹුරු ගොවිතැනත් ඇතුලුව අනෙකුත් වගා කටයුතු නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක සංවිධානයක්. " මාධවී තරමක් බරසාර විඳිහට කියාගෙන යනවා. මාතුපාලත් ඔලුව වන වනා අහගෙන ඉන්නව. "අපි ගොවීන් දිරිමත් කරන්න නව වැඩපිළිවෙලවල් හඳුන්වා දෙනවා. අඩු පොළී ණය, එතකොට පිටරට සංචාරය කරන්න අවස්ථා.. ඒ වගේම අපේ විශේෂ ධීර ගොවි ආයෝජනය..අය්යට හිතාගන්නවත් බැරි ආදායමක් ඒකෙන් ගන්න පුලුවන් ඉතා පොඩි කාලෙකින්...ඇයි එතකොට ධීර ගොවි නිවාස වැඩ පිළිවෙල..අය්ය කැමතිද අපේ වැඩසටහනත් එක්ක එකතුවෙන්න ?"...මාධවී එහෙම අහන කොට මාතුපාලට එකපාරටම බෑ කියන්නත් බෑ වගේ හිතුනා.

"ආ දැන් කොහොමැයි අපි ඕකට එකතු වෙන්නෙ..මොනාද අපි කරන්න ඕනෙ..සල්ලිත් යනවද?" මාතුපාල ඇහුවෙ ඇත්තටම වැඩේ ගැන උනන්දුවෙන්.

"අය්යෝ සුලු දෙයයි. අය්ය මෙන්න මේ කොලේ පුරවල දෙන්න..ආරභක ගාස්තු මුදල රුපියල් දෙදාහයි. හැබැයි අය්යෙ පලවෙනි සති දෙකෙන් අය්යට දෙදාස් පන්සීයක් අනිවාර්යයෙන් ලැබෙනව. ඒ අපේ ධීර ගොවි ආයෝජන ක්‍රමය..මේ තියෙන්නෙ වාර්තා.. අය්යට තියෙන්නෙ තවත් අය මේ වැඩේට එකතු කර ගන්න." මාධවී එහෙම කියල ඉංග්‍රීසියෙන් ලියපු අකුරු ඉලක්කම් කොල වගයක් මාතුපාලට පෙන්නුවා. මාතුපාලත් ඉතින් ඔහේ බලාගෙන හිටියා.

"අපේ මේ ධීරගොවියො ඉතා කෙටි කලෙකින් තමුන්ගෙ ආරම්භක ආයෝජන මුදල වගේ කිහිප ගුණයක් හොයා ගන්නව. . අපි ඒ තරම්ම සාර්ථකයි. අය්ය තව අය මේ වැඩේට එකතු කර ගන්න ඕනෙ. පස්සෙ ආදායම වැඩි වෙනකොට තව ආයෝජනය කරන්න පුලුවන්.මේ බලන්න.. අවුරුද්දක් යනකොට අය්යගෙ ආදායම...කොහොමද? රුපියල් දෙදාහක් දාල පටන් ගෙන කොහොමද ඔයා හොයා ගන්න තරම අවුරුද්දකට".. මාධවී  කියවන ගමන් අතේ තිබුනි කැල්කියුලේටරයෙන් ඉතා වේගයෙන් ගණන් කීපයක් හැදුවා.

"බොලේ මෙච්චර ගාණක්...කවද කාපු ඉස්සො වඩේද මේ...? මාතුපාලට හිතා ගන්නවත් බෑ.  හිත ඇතුලෙ සතුට පුපුරු ගහනවා. "අම්මෝ මෙච්චර ගාණක්" මාතුපාලට එහෙම කියවුනා. "හ්ම් හ්ම්" මාධවී ඇස් හීන් කරල මාතුපාල දිහා බලාගෙන හිටියා.

"කලබල වෙන්න එපා අය්ය..දැන්ගෙදර ගිහින් මේ ෆෝම් එක පුරවගෙන රුපියල් දෙදාහත් අරං එන්න. අපේ වෑන් එක මෙතන තියෙනවා හැන්දෑවෙනකම්. හයට කලින් ආව නම් ඇති. කොටින්ම මාස කීපයකට පස්සෙ අය්ය ආයෙ කුඹුරු කොටන්න ඕනෙ නෑ. ඔව්ව මොන ජීවිතද අනේ? "

මාතුපාල විගහින් ෆෝම් කොලෙත් අරන් ගෙදර ආව.  හැබෑට මේ නෝන..මොකද්ද නම කිව්වෙ..මාධවී..අන්න රත්තරං මිනිස්සු. මෙච්චර කල් දුක් විඳල කුඹුරු කරන් මොනාද අපිට හම්බුනේ. රුපියල් දෙදාහක් දාල ගොඩ යන්න පුලුවන් මටත්. ඊළඟ මාසෙ වියදමට පරිස්සං කරගත්ත සල්ලි ටිකකුත් ඇති ගෙදර..දෙදාහකින් අවුරුද්දක්යන කොට හම්බෙන ගාණ ..බුදු අම්මෝ! අපේ ජීවිත ගැන එක ඇමති පරයෙක් බැලුවද මෙච්චර කල්? මෙන්න ඒකට දෙවිවරු ගමටම ඇවිත්.. දැන් ඉතින් මොන බයක් ද? රජෙක් වගේ ඉඳතැහැකි කෙල්ලගෙ කටයුතුත් කරගෙන.  මාතුපාල සිතුවිල්ලේම ගෙදර ආව.

ඉක්මනින් ෆෝම් කොලේ පුරවගන්න පුලුවන්. හොඳවෙලාවට කෙල්ල ගෙදර ඉන්නෙ අද . මාතුපාලෙගෙ දුවත් තාත්තගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ නැතිවම කොලේ පුරවා දුන්නා. ලාච්චු කීපයක් අවුස්සා මාතුපාල ගෙදර වියදමට තිබ්බ සල්ලි වලින් රුපියල් දෙදාහකුත් කොහොමහරි හොයා ගත්තා.

අනේ රත්තරං මාධවී නෝනා..! අනේ සිරියාවන්තකම. නෝන බැඳලද දන්නෑ !..ඉදකිං මං මොනාද යකෝ මේ හිතන්නෙ?.. මුකුත් දෙන්න වත් තිබ්බනං..මාතුපාලගේ හිත විස්සෝප උනා. මොනා දෙන්නද? ඔන්න ඔහේ පස්සෙ මුකුත් තෑග්ගක් දෙනවා. රත්තරං මිනිස්සු.

මාතුපාල ඉක්මනට ආපහු දුවගෙන ආව කුඹුර දිහාට..ඇයි දෙය්යනේ මේ මිනිස්සු මීට කලින් මුලිච්චි නොවුනෙ. මාතුපාලගේ හිත සිහින ගොඩක. ඇස්වහක් කටවහක් නෑ. කෙල්ලගෙ දීගෙ උනත් එක එකාට පාච්චල් නොවී කරතෑකි. නුවර නංගිලාට පේන්නම හොඳ මගුලක් කතැහැකි. ඕකුන් හෙන ඔලුවෙන් නෙ ඉන්නෙ උන්ගෙ මගුල ලොකුවට කරා කියල.. දෙන්නම් මේ සැරේ.. ඔන්න බලාගන්නිල්ලා මේ මාතුපාලගෙ රැස්පොට් ඊට පස්සෙ..මාතුපාලට කුඹර ළඟටම එනවා දැනුනෙ නෑ. 

කෝ මාධවී නෝනලෑ වෑන් එක...පේන්න නෑ.. ආං ග්‍රාමසේවක මහත්තයයි තව කට්ටියකුයි නං ඉන්නව.  ඒ ගොල්ලොත් ධීරගොවි සංවිධානයට බැඳෙන්නද? .

"ආ අන්න එනවා තවත් ධීර ගොවියෙක් ! "කට්ටිය අතරෙ හිටිය ගුණදාස මාතුපාලව දැකල හය්යෙන් කිව්වා.  "හැබෑද මාතුපාල උඹත් මේ තක්කඩියන්ට අහු උනා කියන්නෙ ?" ග්‍රාමසේවක මහත්තය එහෙම ඇහුවම මාතුපාල තක්කුමුක්කු උනා. "මොන තක්කඩිද ග්‍රාමසේවක මහත්තයො? කවුරුගැනද ඔය කියන්නෙ?" මාතුපාල පුදුමයෙන් එහෙම ඇහුවා. "ඇයි අර උඹත් බැඳෙන්න ගියෙ ධීර ගොවියෝ සංවිධානය..ආං ඒක"..ග්‍රාමසේවක මහත්තය එහෙම කියද්දි මාතුපාල උඩබිම බැලුවා.. 

"ඇ..ඇයි මහත්තයො මොකද්ද වෙලා තියෙන්නෙ?". මාතුපාල මුකුත්ම හිතාගන්න බැරි තැන ඇහුවා.."උන් හෙන හොරු කට්ටියක් බං. බොරු සංවිධානෙක නමක් දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්නව. බොරු ආයෝජන උප්පරවැට්ටි. අනේ උඹත් ගියානෙ උන්ට බැඳෙන්න. ආං පොලෝසියෙන් උන් සේරම කුදලගෙන ගියා. දැන් ඇති කූඩුවෙ. හොර යක්කු. උඹලත් ටිකක් මොළේ පාවිච්චි කරහල්ල බං ". ග්‍රාමසේවක මහත්තය තව මොනවද කියවගෙන ගියා.

ඔලුව ඇතුලෙ අකුණක් කෙටුව වගේ මාතුපාලට දැනුන. "හොරු !..බොරුකාරයො !...එතකොට මාධවී නෝන..! එයත් කලේ බොරුවද?  එයත් පොලීසියට අරන්ගිහින් ද?"   මාතුපාල අතේ තිබුනු සල්ලි ටික තදින් මිරික ගත්ත. හරියට කවුරුහරි උදුර ගන්නකොට වගේ.  එතකොට මාධවී නෝන කලේ බොරුවක්ද? මාතුපාලට ඒ හිනා වෙනකොට හීන් වෙන ඇස්...ආයෙ ආයෙමත් මැවිල පේන්න ගත්ත.

කුඹුරු යායට උඩින් කොක්කු රෑනක් ඉගිල්ලෙන්වා මාතුපාලට පෙනුනා. උන් හුඟාක් ඈතට පියෑඹුවා. ආයෙ කවදාවත්ම මාතුපාලගෙ කුඹුරට නො එන්නම වගේ හුඟාක් ඈතට යන හැටි මාතුපාල බලාගෙන හිටියා..





Tuesday, June 18, 2019

කෝපි කෝප්පය





අර ගෑනු ළමයා අදත් ඉන්නවද ? ඒ ගෑණු ළමයද දන්නෑ එතන කෝපි හදන්නෙ? මට කොහොමහරි එතනින් කෝපි එකක් බොන්නමයි ඕනෙ. එතන කෝපි ගේන්න ඉන්නෙ එයා විතරයි වගේ. ඔව්. පොඩි තැනක් නේ.මේ රෝහලට ඇවිත් දැන් දවස් කීයද? සතියක් ඇති. එදා අන්තිම වතාවට මාව නැගිට්ටවපු වෙලාවෙනෙ ඒ ගෑනු ළමයව දැක්කෙ. ජනේලෙන් උනත් දැකපු ඒ ටිකට මට පුදුම ආසාවක් නෙ ඇතිඋනේ එතනට ගිහින් කෝපි එකක් බොන්න.

ගෑනු. ගෑනු. ගෑනු නම් මොනාද මට! 

මගේ ජීවිතකාලෙ කොච්චර ගෑනු මුණගැහුනද? ඕනතරම්. කොච්චර  එක එක ජාතියේ කෝපිත් බීල තියෙනවද? ඒත් මට දැන් මේ මොකද්ද මේ රුදාව එතනට ගිහිල්ල ඒ ගෑණු ළමය ගේන කෝපි එකක්ම බොන්න. යන්තම් පාර පැනල එතනට යාගන්න පුලුවන් තරමට ඇඟ කෙලින් කර ගත්තනම් ඇති. ඒත් පුලුවන් වෙයිද? දැන් දවස් ගානක් ඇඳේ.

මේ දොස්තරල ගැන මොකට කියනවද? මහලොකු උගත්තු !. මගේ වයස ඇහුවම නිකන් හිනාවෙලා වැඩේ අතහරින හැටි. වයසෙ වැරැද්ද කියල හිතනව ඇති. මේ කොන්දෙ අමාරුවයි කකුල් වල අමාරුවයි විතරනෙ තියෙන්නෙ මට. කොහොම හරි ඇඟ කෙලින් කරගෙන ඒ කෝපි හලට යන්නම ඕනෙ.

ඊයෙත් මොක්කුද අමුතු සත්තුවගයක් කාමරේ ඇතුලට ආව. ජීවිතේට දැකල නෑ එහෙම එවුන්. පිහාටු තියෙන ලොකු හොටක් තියෙන ඒත් මිනිස්සු වගේ ඇවිදින එව්වො. නර්ස් ට කිව්වම කියනව මට විවේක ගන්නලු. යකෝ මුන්ට අමු කැවිලද?

අද කකුල් අමාරුවත් හොඳටම වැඩියි. මුන්ගෙ වේදනා නාශක සත පහකට වැඩක් නෑනෙ. කොහොම හරි කමක් නෑ අර කඩේට ගිහින් අර ගෑනු ළමයගෙ අතින් කෝපි කෝප්පයක් බී ගත්තොත් මට හොඳටම ඇති. එතනදි මට හොඳට ඒ ගෑනු ළමයව බලා ගන්නත් පුලුවන්. ඒ තරමට හොඳ උනොත් ඇති මට. ඊට පස්සෙ මළත් කමක් නෑ.

අද නම්... අම්මෝ ඊයෙට වඩා හොඳටම රිදෙනව ඇඟම. හම්මෝ. නර්ස් ලත් සැරෙන් සැරේ එනව. ඇයි අර ලොකු සත්තු !. මොකක් හරි උත්සවේකට ඇඳගෙනයන මිනිස්සු ද? අර ගෑනු ළමය දැන් මොනා කරනව ඇද්ද? අදත් වැඩට ඇවිල්ලද දන්නෑ.  අනේ මට එතනට ගිහින් කොහොමහරි එයා ගෙනෙන කෝපි කෝප්පයක් බොන්න ඇත්තං ?

අද මොකද අමුතු වෙනසක්. ඇඟේ අමාරුව සෑහෙන්න අඩුයි නේ. අර අලුත් දොස්තර මහත්තය මොනාහරි අලුත් බේතක් ලිව්වද? අදනම් මට නැගිටින්නත් පුලුවන් වගේ. ඔව් මේ නැගිට්ටෙ. අදනම් අතනට ගිහිල්ල කෝපි එකක් බොන්න පුලුවන් වගේ. ඔව්. ආ අර ඇවිල්ල ඉන්නෙ ඒ ගෑනු ළමය.

නර්ස් ලට කියල යනවද? ඔව් නැත්තං හරි නෑනෙ. "මේ මේ..නර්ස්..නර්ස්..මේ මේ..."  මොකෝ මුන්ට ඇහෙන්නැද්ද මෙච්චර කතා කරද්දි ඇහෙන්නෑ වගේ යන්නෙ. මගෙ මොකෝ !. මං පාඩුවෙ ගිහින් කෝපි එකක් බීල එනව.

මොකෝ මේ හැමෝම දැක්කෙ නෑ වගේ යන්නෙ. අද ගොඩාක් වැඩ ඇති . මං ඉක්මනට ගියා.. කෝපි එක බිව්වා..ඊට පස්සෙ ඉක්මනට ආව...හරි නේ !..

හරි මෙතනින් පහළට ගිහින් පාර පනිමු. අම්මෝ අද හරි සීතලයි. නියම දවසෙ නියම වෙලාව කෝපි එකකට.  හරි. මේ තියෙන්නෙ කඩේ. හරි අන්න අතන පුටුවක් තියෙනව. නියම තැන. හා කෝ දැන් අර ගෑනු ළමය. හරි මේ එන්නෙ.  "මේ මට කෝපි එකක්.  කෝනා බීන්ස් තියෙනවද?  " ඈ. ඇහුන්නෑ වගේ ගිය. නෑ නෑ ඇහෙන්න ඇති. දැන් ගෙනෙයි. අන්න අර එන මනුස්සයට එයා කතා කරනව. මොකක් !  මොකටද මාව පෙන්නන්නෙ. අන්න ඒ මිනිහ මේ පැත්තට එනව. ඕයි මොකටද මේ මං ඉන්න පුටුව අදින්නෙ? ඔයි නැගිටිනව තමුසෙට පේන්නෙ නැද්ද මේකෙ මම ඉඳගෙන ඉන්නව. ඕයි මේ මොකෝ මගෙ ඇඟ උඩින් ඉඳ ගත්තෙ ?. උඹට ඇහෙන්නෙ දැනෙන්නෙ නැද්ද..?

මොකක්ද මේ වෙන්නේ.

Sunday, March 24, 2019

මතකය ඇතුලේම වහින වැස්සක්






මතකය තුලත් තියෙනවා වැස්සක්
වැටෙනකොට පිටතින් වැස්ස
සිත ඇතුලේම කඩා හැලෙන
හැමදාම එකම විදිහට
මතකය ඇතුලේම වහින වැස්සක්

ගෙවී ගිය අතීතයක
කවුරුත් නොදන්නා වෙන්වීමක
පසුබිම් සංගීතය සැපයූ
එකම එක වැස්සකි
සිත ඇතුලේම ඇද හැලෙන

Tuesday, January 15, 2019

බලාපොරොත්තුව

සිඳී ගිය දිය කඩිත්තක්
අතහැර නොගිය රවුම් ගල්
අහස වෙත නෙත් යොමා
හීන් හඬකින් කොඳුරයි..
"ඉවසන්න මිතුර 
අද අදම මතුවේවි
වැහි වළාවක්