Tuesday, June 18, 2019

කෝපි කෝප්පය





අර ගෑනු ළමයා අදත් ඉන්නවද ? ඒ ගෑණු ළමයද දන්නෑ එතන කෝපි හදන්නෙ? මට කොහොමහරි එතනින් කෝපි එකක් බොන්නමයි ඕනෙ. එතන කෝපි ගේන්න ඉන්නෙ එයා විතරයි වගේ. ඔව්. පොඩි තැනක් නේ.මේ රෝහලට ඇවිත් දැන් දවස් කීයද? සතියක් ඇති. එදා අන්තිම වතාවට මාව නැගිට්ටවපු වෙලාවෙනෙ ඒ ගෑනු ළමයව දැක්කෙ. ජනේලෙන් උනත් දැකපු ඒ ටිකට මට පුදුම ආසාවක් නෙ ඇතිඋනේ එතනට ගිහින් කෝපි එකක් බොන්න.

ගෑනු. ගෑනු. ගෑනු නම් මොනාද මට! 

මගේ ජීවිතකාලෙ කොච්චර ගෑනු මුණගැහුනද? ඕනතරම්. කොච්චර  එක එක ජාතියේ කෝපිත් බීල තියෙනවද? ඒත් මට දැන් මේ මොකද්ද මේ රුදාව එතනට ගිහිල්ල ඒ ගෑණු ළමය ගේන කෝපි එකක්ම බොන්න. යන්තම් පාර පැනල එතනට යාගන්න පුලුවන් තරමට ඇඟ කෙලින් කර ගත්තනම් ඇති. ඒත් පුලුවන් වෙයිද? දැන් දවස් ගානක් ඇඳේ.

මේ දොස්තරල ගැන මොකට කියනවද? මහලොකු උගත්තු !. මගේ වයස ඇහුවම නිකන් හිනාවෙලා වැඩේ අතහරින හැටි. වයසෙ වැරැද්ද කියල හිතනව ඇති. මේ කොන්දෙ අමාරුවයි කකුල් වල අමාරුවයි විතරනෙ තියෙන්නෙ මට. කොහොම හරි ඇඟ කෙලින් කරගෙන ඒ කෝපි හලට යන්නම ඕනෙ.

ඊයෙත් මොක්කුද අමුතු සත්තුවගයක් කාමරේ ඇතුලට ආව. ජීවිතේට දැකල නෑ එහෙම එවුන්. පිහාටු තියෙන ලොකු හොටක් තියෙන ඒත් මිනිස්සු වගේ ඇවිදින එව්වො. නර්ස් ට කිව්වම කියනව මට විවේක ගන්නලු. යකෝ මුන්ට අමු කැවිලද?

අද කකුල් අමාරුවත් හොඳටම වැඩියි. මුන්ගෙ වේදනා නාශක සත පහකට වැඩක් නෑනෙ. කොහොම හරි කමක් නෑ අර කඩේට ගිහින් අර ගෑනු ළමයගෙ අතින් කෝපි කෝප්පයක් බී ගත්තොත් මට හොඳටම ඇති. එතනදි මට හොඳට ඒ ගෑනු ළමයව බලා ගන්නත් පුලුවන්. ඒ තරමට හොඳ උනොත් ඇති මට. ඊට පස්සෙ මළත් කමක් නෑ.

අද නම්... අම්මෝ ඊයෙට වඩා හොඳටම රිදෙනව ඇඟම. හම්මෝ. නර්ස් ලත් සැරෙන් සැරේ එනව. ඇයි අර ලොකු සත්තු !. මොකක් හරි උත්සවේකට ඇඳගෙනයන මිනිස්සු ද? අර ගෑනු ළමය දැන් මොනා කරනව ඇද්ද? අදත් වැඩට ඇවිල්ලද දන්නෑ.  අනේ මට එතනට ගිහින් කොහොමහරි එයා ගෙනෙන කෝපි කෝප්පයක් බොන්න ඇත්තං ?

අද මොකද අමුතු වෙනසක්. ඇඟේ අමාරුව සෑහෙන්න අඩුයි නේ. අර අලුත් දොස්තර මහත්තය මොනාහරි අලුත් බේතක් ලිව්වද? අදනම් මට නැගිටින්නත් පුලුවන් වගේ. ඔව් මේ නැගිට්ටෙ. අදනම් අතනට ගිහිල්ල කෝපි එකක් බොන්න පුලුවන් වගේ. ඔව්. ආ අර ඇවිල්ල ඉන්නෙ ඒ ගෑනු ළමය.

නර්ස් ලට කියල යනවද? ඔව් නැත්තං හරි නෑනෙ. "මේ මේ..නර්ස්..නර්ස්..මේ මේ..."  මොකෝ මුන්ට ඇහෙන්නැද්ද මෙච්චර කතා කරද්දි ඇහෙන්නෑ වගේ යන්නෙ. මගෙ මොකෝ !. මං පාඩුවෙ ගිහින් කෝපි එකක් බීල එනව.

මොකෝ මේ හැමෝම දැක්කෙ නෑ වගේ යන්නෙ. අද ගොඩාක් වැඩ ඇති . මං ඉක්මනට ගියා.. කෝපි එක බිව්වා..ඊට පස්සෙ ඉක්මනට ආව...හරි නේ !..

හරි මෙතනින් පහළට ගිහින් පාර පනිමු. අම්මෝ අද හරි සීතලයි. නියම දවසෙ නියම වෙලාව කෝපි එකකට.  හරි. මේ තියෙන්නෙ කඩේ. හරි අන්න අතන පුටුවක් තියෙනව. නියම තැන. හා කෝ දැන් අර ගෑනු ළමය. හරි මේ එන්නෙ.  "මේ මට කෝපි එකක්.  කෝනා බීන්ස් තියෙනවද?  " ඈ. ඇහුන්නෑ වගේ ගිය. නෑ නෑ ඇහෙන්න ඇති. දැන් ගෙනෙයි. අන්න අර එන මනුස්සයට එයා කතා කරනව. මොකක් !  මොකටද මාව පෙන්නන්නෙ. අන්න ඒ මිනිහ මේ පැත්තට එනව. ඕයි මොකටද මේ මං ඉන්න පුටුව අදින්නෙ? ඔයි නැගිටිනව තමුසෙට පේන්නෙ නැද්ද මේකෙ මම ඉඳගෙන ඉන්නව. ඕයි මේ මොකෝ මගෙ ඇඟ උඩින් ඉඳ ගත්තෙ ?. උඹට ඇහෙන්නෙ දැනෙන්නෙ නැද්ද..?

මොකක්ද මේ වෙන්නේ.

No comments: