Sunday, July 7, 2024

කවි දෙකක්

 හිස්තැන

ඒ හිස්තැන
හරිම හිස්තැනක්
වේදනාබර
වදකාර හිස් තැනක්

ඉරහඳ ගෙනැවිත් තැබූයෙමි
මහ මුහුද   කෙත් වතු මල් උයන්
හිතමිතුරු ගොනුවේ බොහෝ අයද
සුලඟද අල්වාගෙන තැබූයෙමි එහි
ඒත් තවමත් හිස් තැනක්

කවීන්ගේ කවිකම්
දෙවියන්ගේ ස්ත්‍රෝත
කොතෙක් එහි රැව්දුනද
ඒත් තවමත් හිස්තැනක්

හිස් කමින් පමණක් පිරවෙන
වේදනාබර හිස්තැනක් 

04/07/2024





ගඟ අසබඩ සිටින වියපත් මිනිසාගේ කවිය

ගඟක් අසබඩ හුදෙකලා නිවෙසකි
තරමින් කුඩාය
දියුණු යැයි සම්මත පෙනුමක් නොමැති
එහි වසන මිනිසා මම වෙමි.
වියපත් මිනිසෙක්ද වෙමි.

අර පෙනෙන පාලමට එපිටින්
ඇත මහා නගරයක්
උස්වූ ගොඩනැගිලි වල හිඳ
තව මිටි වූ නිවෙස් වලද හිඳ
ගඟ දෙසට නෙත් යොමන මිනිසුන්

මේ කුඩා නිවසේ කවුරුන් වෙත් ද
කොතෙක් නම් එහි සනීපද
අපිටත් තිබුනානම් එහි ඉන්න
සිතන බව නොරහසක්...

සැබැවින්ම මම මෙහි සනීපෙන් වසමි
සුවසේ නිදමි
සැහැල්ලුව සිතමි
මරණයද ළඟ බව දනිමි
....
එක්වරක් හෝ ඔබ මෙහි එන්න
ජීවිතය විඳින්න
මහ ගොඩක් නුවුමනා බව
දැනගන්න...

ඉතිං  ප්‍රිය  සබඳ    මේලියා ඇත්තේ  කවියක්...
බිල ගෙවා දැන් යායුතුය නැවතත්
මා පැමිණි නගරයට
නිම නොවූ කටයුතු  එහි බොහෝ ඇත තව 

15/06/2024

Sunday, December 3, 2023

දෙනෙත්



නිවස තුල පවතින්නේ දැඩි නිහඬ බවකි. අසංග නිවසේ නොමැත.සිටියත් වැඩි වෙනසක් සිදුනොවේ.විවිධාකාරයේ වර්ණ, හැඩ තල, මිනිස් රූප ඇඳි සිතුවමින් පිරි මේ නිවසට කලෙක තමා කෙතරම් ආදරය කලේදැයි තාරුකා  සිහි කලාය. ඕනෑම දෙයක් අනියත නම් ආදරය , සතුට සැනසුම නිත්‍ය වේද? කලෙක තමා  ඉතා ප්‍රියකල හුදෙකලා පරිසරය, ගැඹුරු කලාකාමී සිතුවිලි වලට තෝතැන්නක් වූ මෙම නිවස අද දවසේ තමන්ට ගෙන එන්නේ  කාංසියක් පීඩාවක් නොවේද?


ආශාව, කැමැත්ත ,මාත්සර්ය මෙයාකාරයේ කවර හෝ සිතුවිල්ලකට තම සිත තිඹිරිගෙයක් වූ දිනයක් තාරුකාට  සිහිකල හැකි නොවීය. තමා ඇතුලතින් මියගොස් ද? අන් ගැහැණුන්  නිරන්තරයෙන් හඹායන නොනිත් ආශාවන් තමා තුල ජනිත නොවන්නේ ඇයි? ආශාවන් සැබැවින්ම පීඩාවන්මය. ඉතිං තමාට පීඩාවන් අවශ්‍යමද?  පීඩාවන් නැති ජීවිතයත් හිස්කමකි. ඉඳහිට දිනෙක තමා  අසංග වෙත දමාගසන වචන තුලද මේ වේදනාව සැඟවී නැතිද?

“ ඔයා ඔය චිත්‍රෙ තාම ඇඳල ඉවරනැ ද්ද අසංග ?  “


අසංග නිහඬවම එක දිගට වැඩෙහි යෙදී  සිටීමද තාරුකා ගේ කේන්තිය වැඩි කරවීය. "කලා ගාරය " ලෙස අසංග ගේ මිතුරන් නම් කල මේ නිවසේ කොහේ  හෝ  තැනකසිට ඔහු සිතුවම් අඳියි. තමාගේ රූපයද ඔහු විටෙක සිතුවම් කලේය. කලෙක ඒවා  තමාට සියුම් සතුටක් ආඩම්බරයක් ගෙන ආබව  ඇත්තකි. ඒ මතකයන් අවුලුවා යළි ජීවයලබා දී සතුටු වීමට කොතෙක් උත්සාහ කලද අවසානයේ එයද නිරර්ථක  උත්සාහයක්ම විය.


අසංග මේ දින වල  අඳිමින් සිටින නව සිතුවම බැලීමට තමාට හදිසියේ සිත් වූයේ මන්දැයි
තාරුකාට නොතේරුනු නමුත් වැඩි උවමනාවක් නැතුවම වුවද ඇය එය සොයා ගියාය. නිවසේ මනාකොට ආලෝකය ඇති තැනක අසංග ගේ නව සිතුවම තබා තිබුනේය.  සිතුවමෙහි වූයේ ගැහැණියකි. මදක් හිස ඇලකර ගත්, ශෝකයක්ද සතුටක් යන්න අපැහැදිලි ව සටහන් වූ තදින් පියවූ තොල් සඟලකින් යුත් එම යුවතිය කිනම් අරමුණකින් සිත්තරාගේ සිතට පැමිණියේදැයි තාරුකාට සිතාගත නොහැකි විය. ඇයගේ දෙනෙතේ කිසියම් වූ මායාකාරී ආකර්ෂණයක් වෙතැයි තාරුකා සිතුවා ය. 


 සිතුවම තිබූ තැනින් ඉවත්ව ගොස් අන් කටයුත්තක යෙදී සිටියද සිතුවමේ සිටි යුවතිය සිය සිතෙන් ඉවත්ව නොයන බව තාරුකාට දැනුනි.  ඇය සතුවූ අත්භූත සුන්දරත්වයක් ඇතැයි තාරුකාට සිතෙයි. මේ දෑස තමන් කොහේ හෝ දැක තිබේදැයි ඈ කල්පනා කලාය. මතක පොතේ පිටු අතර වේගයෙන් දිව ගිය සිත එක් වරම එක් පරිච්ඡේදයක මුල නතර විය.  


"මේනකා මේ බඩ්ඩක් කියන්නම්. ඔයාගෙ ඇස් දෙක හරි ලස්සනයි."


"අනේ මේ නිකන් යනව යන්න බොරුවට බටර් ගාන්නෙ. මං දන්නව ගෙදරින් ගෙනාපු වැලිතලප ටිකටනෙ ඔය මාන බලන්නෙ ?හරිහරි උඹට කොහොමත් වෙනම පාර්සලයක් ගෙනාව."


"බොරුවක් නෙමෙයි බං, ඔන්න බලහන් අපේ සෙට් එකේ ඉස්සෙල්ලම කොල්ලෙක් සෙට් වෙන්නෙ උඹට.දැනටමත් එකෙක් දෙන්නෙක්වත් වහ වැටිල ඇති!."


"කොල්ලො  විතරද?"
ඉක්බිති ගෙවුනු තප්පර ගණන තුල විශ්වයම නිහඬව මිදී ගිය හැටිත් ,සීත හිම කැටයක් තුලින් විදුලි රේඛාවක් ඇදුනු කලෙක මෙන් සිය සිත එක්වරම ප්‍රීතියේන්ද  තැතිගැන්මේද හිරි වැටී ගිය හැටිත් ඇය ඒ  පරිච්ඡේදයේ අදෘෂ්‍යමානව නමුත් සදාතනිකවම ලියාතැබුවාය.


ඒ සිනහව, ඒ බැල්ම මෙතෙක් කලක් තමාවත් නොදැන සිටි තමන් තුල වූ "තාරුකා"  ට ජීවය දුන්නා නොවෙද? ඈත කඳු කරයේ ගුප්ත නිහැඬියාව කොතෙක් නම් රහස් සඟවාගෙන ඇත්ද? තම ආත්මය තුල සැඟව සිට ප්‍රාදූර්භූත වූ ඒ නව ජීවිතයට තාරුකා  හද පත්ලෙන්ම ආදරය කලාය.  උණුසුම සිසිලස විටින් විට ලද  සියලුම සෘතූන්ගෙන් පිරි  වසර හතරක්ම ගෙවී ගිය හැටි!


ඈත කඳු පන්තියක මුදුනත දුහුල් වලාවකින් වැසී ගිය ඇතැම් මොහොතක මුලු ලොවට හොරා සිය උරහිසේ රැඳි සුකොමල කොපුල් තලයක පහසත් මතකය තුල කෙමෙන් වියැකී යන සුවඳක් තැවරුනු කෙස් කළඹක උණුසුමත් තමා  තුල යළි ජීවමාන වන බව තාරුකාට පසක් විය. සිය සිත වේගයෙන් කියවාගෙන යන ඒ   පරිච්ඡේදය වෙන කාට හෝ ඇසේ දැයි බියෙන්මෙන් ඇය වට පිට බැලුවාය.


"මේනු, මං මැරෙයිද? ". කිසියම් උණ රෝගයක් වැලඳුනු දිනෙක කුඩා කාලයේ වත් නොවූ තරම්  තමා  මේනකා ඉදිරියේ බොළඳ වූ අයුරුත් තම හිස පිරි මැදි අත්ලෙහි උණුසුමත් ඉන්පසු ගත උණුසුම් කරවමින් සිය දෙතොල් හරහා  ඇදී ගිය සදාතනික ඒ දිව්‍යමය මිහිරියාවත් අහිමිව තම දෙනෙත කඳුලකින් තෙමෙනු දැනී හදිසියේම තාරුකා පියවි සිහියට ආවාය.


සිතුවමේ සිටින ගැහැණිය සතු නිල්වන් වටකුරු දෙනෙත් මග හැර යාමට  තාරුකාට නොහැකි වූවා සේය. ඇය ඇසි පිය ගසනවාද? අර අර,ඇය මා  හා  සිනාසෙනවා ද?  "තාරුකා ඔයාට මාව අඳුන ගන්න බැරිද? ඔව් ඔයා  හරි. මේ මම තමයි.ඔයා  අමතක කරන්න හදන ඔයාගෙ ඒ අතීත හර්දසාක්ෂිය මම තමයි. ඉතින් එන්න.ඇයි මේ බය වෙලා!  ආයෙත් මාව වැළඳ ගන්නෙ නැද්ද ඉස්සර වගේ ?" සිතුවමේ සිටින යුවතිය තමාව සැබැවින්ම අමතනවාද? නැහැ වෙන්න බැහැ!. ඉන්ද්‍රජාලික සිහිනමය අත්දැකීමකින් යළි යථා ලෝකයට පිවිසීමට උත්සාහ දරමින්ම  දරදඬුව තිබූ සිය දෑතෙහි  තිබූ අවසන් ශක්තිය යොදා  තාරුකා  ඒ අත්භූත සිතුවම පොළවේ ගැසුවාය. 


"තාරු මේ අහගන්න. බලන්න මේක හොඳද කියල?මං ලිව්වෙ !


මලකි

මම සිඹිමි

ඇය සතුකර ගනිමි

 ගිලිහුනොත් නටුවෙන් දිනෙක

සුවඳ සිහි කරමි මතු දිනෙක “


මියුරු ගීතවත් හඬකින් ගැයුනු ඒ කවිය   අවකාශයේ යම් තැනක රැඳී සිට සිය සිත තුලට කාන්දුවීම වලකන්නට  තාරුකා සිය දෙසවන වසා ගත් නමුදු දැන් එය වඩාත් තීව්‍රව ඇසෙයි. 



ගිලිහුනො ත් නටුවෙන් දිනෙක

සුවඳ සිහිකරමි මතු දිනෙක .


සිය අවසන් ශක්ති පුංජය ද වියැකී ගියාක් මෙන් තාරුකා එම සිතුවම අසලින්ම බිම හිඳ ගත්තාය. ඇය  ඒ වටකුරු සුන්දරත්වයෙන් අනූන අද්භූත දෙනෙත දෙස තවත් බොහෝ  වේලාවක්  එක එල්ලේ බලා සිටියාය.  මඳක් වෙව්ලන සිය අතැඟිලි වලින් ඈ සිතුවමේ යුවතියගේ මුහුණ සහ කෙස් කළඹ ස්පර්ශ කලාය.


"මේනු! මේ අනේ ඉන්නකො  ඔහොම.මට ඔච්චර හය්යෙන් මේ පඩිපේලේ දුවන්න බැහැ"


පඩි පෙළෙහි තමන්ට මදක් ඉහලින් නැවතී  මිහිරි සිනාවක් නගන ඒ සුන්දර යුවතිය දෙස     තාරුකා බලාසිටියාය. වසර බොහෝ ගණනකට පසුව වුව සිය මතකයෙහි ලියවුනු ඒ  පරිච්ඡේදයහි අකුරක් නෑර යළි යළිත් කියවිය හැකි නිසා  තාරුකා සැබැවින්ම ප්‍රීතියට පත් වී සිටියාය.


"නටුවෙන් ගිලිහුනෙමි

සුවඳ ඔබට හිමි නිසාවෙන්

මිහි මත වැතිරගමි,

ප්‍රීතියෙන්".





අනුෂ්ක තිලකරත්න

Wednesday, January 11, 2023

බොහෝ කලකට පසුව පෙම්වතිය හමුවී



ඉඩෝරය කොතෙක් කල් පැවතුනිද?
මාසයක් දෙකක්...!
නැහැ හරියටම..සති දෙකක්...
 වැටුනු පොඩි වැස්සෙන්
පෙනෙනවද ලැබුනු වෙනස
ගහ කොල ඉහලට ඇදි ඇදී
සොයන්නේත් තව වැහි...
 
නොදන්නේද මම ඉතිං
කවියෙකුගේ ඉඟි බස
නොලිව්වාට මම කවි
කියවමි විඳිමි
ඉතින් අද ආයෙමත් වහීවි

12/01/2023



Thursday, January 5, 2023

නොනිමි ගීතය

 


 

අන්න ගේට්ටුව ළඟ උඹලෑ පොඩි මාමා ඇවිල්ල අදත්!” රුවන් මට එහෙම කිව්වෙ ගොඩාක් දුරට ඔච්චමට වෙන්න පුළුවන්. මිනිහ ඒක කිව්වෙත් ටිකක් හයියෙන්. අනිත් ළමයින්ටත් ඇහෙන්න වෙන්න ඇති. අර, සමහර ළමයි බිම බලාගෙන හිනාවෙනවා!

 

මලිත්, ඕන්නම් ගිහින් එන්න!” සිංහල ටීච‍ර් එහෙම කිව්වෙ ඇත්තටම අනුකම්පාවෙන්. “මං ඉක්මනින් එන්නම් ටීච‍!” වාක්‍යය කියල ඉවර වෙන්නත් කලිනුයි මං පංතියෙන් එළියට ආවෙ. ඉක්මනට යන්න ඕනෙ, පොඩි මාමා ඉස්කෝලෙ ඇතුළට එන්න කලින්

 

ගේට්ටුවෙ මුර අංකල් සුපුරුදු විදිහට හිනාවේගෙන ඉන්නෙ. “ඔව් මලිත්, ඔන්න අදත් ඇවිත්. එහෙනම් කතා කරල එන්න!” කාරුණික මුර අංකල් එහෙම කියල මහ ගේට්ටුවට යාබද පුංචි ගේට්ටුව ඇරියා.

හරියට හරි. පොඩි මාමා අදත් ඉන්නව මල් පොකුරක් අරගෙන.

 

ආ මොකද පරක්කු? මේ තෑගි ටිකයි මල් ටිකයි එහෙනම් උපේක්ෂාට දෙන්න. වරද්දන්නෙපා!” පොඩි මාමා එහෙම කියල අතේ තිබ්බ තෑගි ටික ඔක්කොම මට දුන්න.

පොඩි මාමා! කවද්ද ආවෙ? කොහෙද ඉන්නේ? අපේ ගෙදර එන්නැද්ද?” අව්වට කලු වෙලා, රැවුල වැවිල, වයසට වඩා වයසක පෙනුමක් ගත්ත පොඩි මාමාගෙ මූණ දිහා බලන්නත් දුකයි. ඒ පැහිච්චකං ඔයාට මොකටද? කිව්ව වැඩේ කරනවා. උපේක්ෂාට කියනවා මං ලබන පාර මීට වඩා තෑගි ගේනව කියලා. එයා ඉස්කෝලෙ ඉන්නවනෙ. දැන් උගන්වනව ඇති. පත්වීම හම්බුනානෙ මේ ඉස්කෝලෙට! ඇයි මොකෝ පුදුමෙන් වගේ මං දිහා බලන්නෙ? ගිහින් ඔය තෑගි ටික දෙනවා. මං යනවා.”

පුළුන් වලා රොදේ.. පුළුන් වලා රොදේ.. ඈතින් ඈතට..” පොඩි මාමා එයාගෙ සුපුරුදු සිංදුවත් කියාගෙන ඉක්මනට ඈතට ගියා.

මගේ අතේ තිබුණෙ පොඩි මාමා උපේක්ෂාට දීපු තෑගි. පරණ සිගරට් පෙට්ටියක්, හිස් බීම පැකට් මිටියක්, කඩදාසි මල්ලක දාල. ඒත් එක්කම කැලෑ මල් මිටිය. තෑගි ටික කුණු ගොඩට දාල මං මල් මිටියෙන් පූජ කරන්න සුදුසු මල් ටික විතරක් ඉස්කෝලෙ බුදු මැදුරෙන් තිබ්බ

 

අනේ පව් පොඩි මාමා, හොඳටම කෙට්ටු වෙලා!” දුකෙන් වගේම ලැජ්ජාවෙන් මං හිස නවාගෙනම පංතියට ආව. සිංහල ටීචර් සුපුරුදු විදිහටම පාඩම කරගෙන ගියා.

 

මොකද බං, පොඩිමාමා ආයෙත් ඇවිත් තියෙන්නෙ? ආයෙ පැනල ඇවිල්ල ද?” රුවන්ටත් ඕනැ නැති දෙයක් නෑ. “මං දන්නෑ බං!” මං එහෙම කියල නිහඬ වුණේ කතාව දිග්ගස්සන්න අකැමැති නිසා.

 

මේ හඳ පායන දවස්වල උඹලගෙ පොඩි මාමාටත් පිස්සු තද වෙනවා කියන්නෙ ඇත්තද බං?” දමිත් එහෙම අහපු දවසෙ තමයි උගෙයි මගෙයි යාලුකම් ඉවර වුණෙත්, උගෙ ඇහැ ළඟ නිල් වුණෙත්. ඌටයි මටයි දෙන්නට ම ප්‍රින්සිපල් ළඟට යන්න වුණත් ඌව තියාගෙන ප්‍රින්සිපල් මාව පංතියට යැව්වා

 

උපේක්ෂා නැන්ද අද හිටිය නං එයත් මේ වෙනකොට අපේ ඉස්කෝලෙ උගන්වනවා. මං එයාට උපේක්ෂා නැන්ද කිව්වෙ මාමා යාළුවෙලා ඉන්න කාලෙ ඉඳන්මයි. “ආ නැන්දේ!” කියල මං ඈතට දුවද්දි එයා සමහර වෙලාවට මට ගහන්න පන්නනවා. “තාම එහෙම කියන්න ඔට්ටු නෑ හොඳේ!” එයා එහෙම කියන්නෙ තරවටු කරන්න ම නෙමෙයි.

 

පුළුන් වලා රොදේ.. පුළුන් වලා රොදේ.. ඈතින් ඈතට..” ඒ සිංදුව සමහර වෙලාවට පාර දිහාවෙන් ඇහෙනවා. ඒ පොඩි මාමා ලියමින් හිටපු සිංදුවක්. ඒ සිංදුව එයාට ලියල ඉවර කරන්න බැරි වුණා. අම්මා එහෙම ළඟ පාතක හිටියොත් “මාමා නේද?” කියල පාර දිහාවට යනව බලන්න. හැබැයි කවදාවත් මාමා අපේ ගෙදරට ආවෙ නෑ

 

ප්‍රෑං!” කන පිටිපස්සෙන් නළා සද්දෙ ඇහෙනකම් මම ඉන්නෙ පාරෙ කියල දැනුණෙ නෑ. ඒ ගියේ ලොරියක් නේද? එදා උපේක්ෂා නැන්දා තැපැල් කන්තෝරුවෙ ඉඳන් ගෙදර යද්දිත් කල්පනා කර කර ගියා ද? ඇයි ලොරිය නොපෙනුණේ? වෙන්න බෑ. ලොරියනෙ පිටිපස්සෙන් ඇවිත් හප්පල තියෙන්නෙ! එයා මොනා කරන්න ද

 

අවුරුදු ගාණක් වෙනව. අදටත් මේ වංගුවෙන් යද්දි මට මතක් වෙන්නෙ එදා හැන්දෑව.

කොච්චර සෙනග පිරුණද? ටිකක් එහායින් වැටිල තිබ්බෙ උපේක්ෂා නැන්දගෙ කුඩේ. සෙනග වට වෙලා හිටපු තැනට එන්න නොදී කවුද වැඩිහිටියෙක් මාව එලෙව්ව, ගෙදර යන්න කියල. එතකොටත් කොහොම හරි උපේක්ෂා නැන්දව ඉස්පිරිතාලෙ ගෙනිහින්. පාර හරහට් ගිහින් ලයිට් කණුවකුත් හප්පගෙන ගිය නිල්පාට ලොරිය තිබුණෙ ඉස්සරහ රෝදෙ කාණුවට ගිහින් ඇලවෙලා.

 

ඒ කල්පනාවෙන් ම මං ගෙදර ළඟටම ආව. අම්මා ගේට්ටුව ගාව ඉන්නවා. එකත් එකටම පොඩි මාමා පාරෙ යන්න ඇති

 

 “ඇයි අම්මෙ? මාමා ආවද?”

 

හ්ම්. ආවෙ නෑ. ඔය පාරෙ ගියේ!” අම්මා සුපුරුදු හීන් වේදනාබර ස්වරයෙන්ම කිව්වා.

 

පුළුන් වලා රොදේ.. පුළුන් වලා රොදේ.. ඈතින් ඈතට..” ගොඩාක් ඈතින් යාන්තමට වගේ මාමාගෙ අසම්පූර්ණ, එයාම ලියපු සිංදුව ඇහුණා, එයාගෙම හඬින්.

 

අනුෂ්ක තිලකරත්න

[සිසිල සඟරාව - ජනවාරි]


Saturday, November 12, 2022

මං ඒ සුවඳට ආස ඇයි?

 

“උඹ දන්නවද මං ඔය ටර්පන්ටයින් සුවඳට හරි ආසයි බං…” දවසක් මම මගේ යාළුවෙකුට එහෙම කිව්වා.
"ඒ මචං උඹ කුඩ්ඩෙක්ද?" යාළුව නෝන්ඩියට වගේ මගෙන් එහෙම ඇහුවා. එදා ඒ යාළුවට කියපු නැති කතාවක් ඔයාලට කියන්නම්. මෙන්න මේකයි ඇත්තම සිද්ධිය.

1987- 1989 කාලෙ අපි එතකොට හිටියේ මත්තේගොඩ නිවාස සංකීර්ණයෙ  ගෙදරක. උඩ තට්ටුවේ තිබ්බ කාමර දෙකින් එකක අපෙ අම්මා චිත්‍රයක් ඇඳ ඇද හිටියා. මට අදටත් හොඳට මතකයි ඒ ඇඳ ඇඳ හිටියෙ දිය ඇල්ලක්. එයා ළඟ තිබුණා දුඹුරු පාට ප්ලාස්ටික් පෙට්ටියක දාපු oil painting ටියුබ් වගයක්. ඒ පෙට්ටියේ oil painting වලට අමතරව තව පුංචි වීදුරු බෝතල් දෙකක් තිබුණා.    ඒ බෝතල් වලින් ආවෙ ඔන්න ඔය කියන ටර්පන්ටයින් සුවඳ. මං එදා මොකද කළේ දන්නවාද? පැත්තක තිබ්බ පින්සලක් අරගෙන එක පාරටම අර දියඇල්ලෙ තැනක පාට වගයක් ගෑවා. "අන්න ..මොකද්ද ඔයා ඒ කලේ?" අම්මා ඇහුවා. ඊට පස්සේ අම්මා එයාගේ චිත්‍ර කලා හැකියාව පාවිච්චි කරලා ඒ මම පාට කරපු තැන කැත මැකෙන්න එතන පොඩි ගල් පර්වතයක් වගේ ඇන්දා. මේ සිද්දිය වෙන්නෙ අදට අවුරුදු 33-34 කට විතර කලින්.  ටර්පන්ටයින් සහ ඔයිල් පේන්ටිං තියෙන තැනකින් එන ඒ සුවඳත් එක්ක ඕනෙම වෙලාවක මට ඒ මතකයට රිංගන්න පුලුවන්.


අපේ අම්මට චිත්‍ර අඳින්න තිබුනු හැකියාව ගැන මට තිබුනේ සමහර විට ඉරිසියාවක් වෙන්න පුලුවන්. අම්මා හේවුඩ් ඉගෙන ගත්ත කෙනෙක්. අදත් මම චිත්‍රයක් අදින කොට හිත ඇතුලෙන් එයාගෙ හැකියාවට සමාන වෙන්න හෝ අභිබ්වා යන්න හෝ උත්සාහ කරනවා කියලා මට හිතෙනවා . ඇත්තටම මම චිත්‍ර අඳිනවා කියලා කරන්නේ ඔන්න ඔය පැරණි මතකයන් ඇතුළට යන්න පාරක් හදාගන්න එක. oil painting එක්ක කලවම් වෙලා එන ටර්පන්ටයින් සුවඳත් එක්ක මම යන්නේ අපූරු නිර්මාණ පිරිච්ච ලෝකෙකට. ඒ ලෝකය හරිම නිහඬයි. හුදෙකලා ලෝකයක්. ඒත් පාළුවක් දුකක් නෑ.

 පොඩි canvas එකක් උඩ මට ඕනේ දෙ ඇඳ  ගන්න මම තවමත් සෑහෙන්න දුක් විඳිනවා. මේ වෙනකන් ඇඳපු කිසිම චිත්‍රයක් ඇතුලේ මම තෘප්තිමත් වුණේ නෑ. ඒ හැම චිත්‍රයක්ම අම්මා වගේ අඳින්න දරපු අසාර්ථක උත්සාහයක් කියලයි මට හිතෙන්නේ. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම චිත්‍ර අඳිනවා. විශේෂයෙන්ම පොඩි උන් දෙන්නට පේන්න. මම චිත්‍ර අඳිනවා දකින පුතා සේරම වැඩ නවත්තලා එයත් චිත්‍රයක් අඳින්න පටන් ගන්නවා. එයාට තාම අවුරුදු හතයි. අම්මාගෙන් මට ලැබුන ඒ ආභාෂය  මගේ දරුවන්ටත් ලබා දෙන්නයි මට අවශ්‍ය.කොයිතාක් දුරකට ඒ අය මේ කලාව ප්‍රගුණ කරයිද කියල මම කියන්න දන්නෙ නෑ.  කඩදාසියකුයි පාට ටිකකුයි දීලා ඇඳපං  චිත්‍රයක් කියලා කියනවට වඩා එයාලට පේන්න එහෙම නැත්තං එයාලත් එක්ක චිත්‍ර අඳිද්දි එයාල ගොඩාක් සතුටු වෙනවා වගේම motivate  වෙනව කියල මම දන්නවා.  තවත් දෙයක් තියෙනවා. අපිත් වයසට යනවනෙ . ජීවිතේ කවදාහරි හොඳටම හුදෙකලා වේවි. එදාටත් පුළුවන් විදිහට චිත්‍රයක් අඳින එක තමයි මගේ බලාපොරොත්තුව.. මිනිස්සු හුදෙකලාවට බයයි. අවංකවම කියන්න මම නම් කැමතියි. මොකද මට ඕනෙතරම් හිනාවෙන්නත් පුලුවන් අඬන්නත් පුලුවන්

මගේ ජීවිතයට මගේ අම්මාගේ කලා හැකියාවන් කොච්චර බලපෑවද කියලා එයාවත් දන්නෙ දන්නෙ නැතිව ඇති..

Thursday, April 28, 2022

සීයපප්පා විසින් (අද වෙනකන්) හදා නොදුන් රොකට් එක....

සීයපප්පා, ඒ නම හැදුනේ කොහොමද යන්න අදටත් ගැටලුවකි. සීයා+පප්පා = සීයපප්පා. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව එළඹියහැකි නිගමනය එයයි. සීයපප්පා මගේ අම්මාගේ තාත්තාය. සීයපප්පා රත්නායක රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ රස්සාවක් කල  බව මට යාන්තමට මතකයි. සීය පප්පා අපිව බලන්න එනකොට ගෙනා වැදගත්ම දෙය නම් ඉස්පංචි ය. ඔස්ට්‍රේලියාවෙ නම් මෙම ආහාරයට කියන්නේ කප් කේක් කියාය. කප්කේක් වල හා ඉස්පංචි වල මා දකින ලොකුම වෙනස, කප් කේක් වල උඩ පැතලිවන අතර (අයිසිං නැතුව ) ඉස්පංචි වල උඩ පොඩ්ඩක් ඉදිමී තිබීම වෙයි.. කෙසේ හෝ සීයපප්පා අය්යාටද මටද ඉස්පංචි අනිවාර්යයෙන්ම ගෙනා බව සහතික කරමි.


ඒ 1987-1989  කාලයයි. මම එකල 1 වසරේ නැත්තං දෙක වසරේය. පදිංචිය 8B/ 72 -X මත්තේගොඩ නිවාස සංකීර්ණය, මත්තේගොඩය.  ටීවි එකේ ළමා නාට්‍යයක ළමුන් පිරිසක් රොකට් එකක් හදාගෙන හඳට යන දර්ශනයක් පෙන්නපු දවසේ සිට මටද රොකට් පිස්සුව තදින්ම හැදුනේය. බත් කන්න හොර (කේක් පැටිස් මාලුපාන් භක්ෂක මා ) මට බත් එලවලු කැවීමට අම්මා දුක් විඳිද්දී දවසක් සීයපප්පා මාව දමනය කලේ උඩ යන රොකට් එකක් හදා දෙනවා කියා පොරොන්දු කරගෙනය. ඉතින් මම බත් කෑවෙමි.

එතැන් පටන් මම රොකට් එකේ සිහිනයෙන් නොමිදුනෙමි. සීයපප්පා කියූ පරිදි එයා වැඩ කරන තැන රොකට් වලට අවශ්‍ය කොටස් නිපදවන අතර එයා වැඩට ගොස් එන විට එම කොටස් මට එකින් එක ගෙනත් දෙනවාය. හැබැයි හඳට යෑමට නම් බත් එලවලු කෑම අනිවාර්යය අතර නැත්නම් හඳේදි ජීවත් විය නොහැකිය. සීයපප්පාගේ විද්‍යාත්මක න්‍යාය එයයි. හැමදාම සීයපප්පා ගෙදර එන දිනක රොකට් එකේ කොටසක් කඩදාසියක ඔතාගෙන ගෙන ආවේය. "සීය පප්පා මේ කෑල්ල මොකටද?" මම අසමි. "ඔය රොකට් එකේ සයිඩ් එක.ඕක හෙන ගණන්. හෙන අමාරුවෙන් මම හදාගෙන ආවෙ". සීය පප්පා බැරෑරුම් ලෙස පවසයි. මගේ සතුට දෙගුණ තෙගුණ වෙයි. රොකට් එක කොටස් වශෙයෙන් එකලස් වෙමින් පවතී. ඉතා ඉක්මනින් මම හඳට යමි. ඔය ආකාරයට, රොකට් එකේ වීදුරුව, රොකට් එකේ හෝස් එක, වෑල් එක ආදී එකී නොකී වැදගත් කොටස් රාශියක් අපේ ගෙදර මගේ සෙල්ලම් බඩු පෙට්ටියට ආවේය.


1988 වසරේ එක්තරා දිනක අප්පච්චී අය්යාටද මටද ඇහැරවා"සීය පප්පා මැරිලා..ඔයාලයි අම්මයි දැන් එහේ යනවා." කියා කියූ හැටි මට තවම මතකය. ඊට පස්සෙ ඉතින් අපි අත්තම්මලා හිටි අරංගල පැත්තේ ගෙදර ගියෙමු. මළගෙදරක් යනු කුමක් ද? වෙන්නේ කුමක්ද යන්න ගැන මට හරි අවබෝධයක් නැත. දවසකට පමණ පසු සීයපප්පාගේ මිනිය සාලයේ තබා තිබුනි. නෑදෑයෝ හඬමින් සිටිති. දැන් ඉතින් කවුද මගෙ රොකට් එක හදන්නේ? ඔන්න මට තිබ්බ ප්‍රශ්න!. කෙසේ හෝ මළගෙදරද මට විනෝද ආකරයකි. නෑදෑයෝ හැටහුටාමාරකි. පොඩි පොඩි උන්ද හෙනට හිටි නිසා මට රොකට් එක ගැන දුක් වෙන්න වෙලාවක් තිබුනේ නැත. එකම බය හිතෙන සිදුවීම වුනේ කෝට්ටෙ ශාන්ත තෝමස් විද්‍යාලයේ ළමයි පිරිවරාගෙන බ්‍රදර් ෆිලීශියන් මළගෙදර එන දර්ශනය දැකීමයි. මගේ අම්මා එකල එම විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියයි. බ්‍රදර් ෆිලීශියන් යනු ඉතා සැර ගුරුවරයෙකි. "වේවැලත් අරං එනවද දන්නෙ නෑ?" මම සෙනග අතරින් රිංගා දිව්වෙමි. කුස්සිය පැත්තේ බොරුවට කැරකෙමින් සිටි මාව සොයාගෙන ආවේ අම්මාය. "මේ මෙහෙ එන්න අන්න ඕගොල්ලන්ගෙ ටීචත් ඇවිල්ල!" කියා මාවත් ඇදගෙන සාලය දෙසට ගියාය. චන්ද්‍රලතා ටීච මට ඉතා හොඳින් කතා කලාය. "මළගෙදර නිසා අතපසු වෙන හෝම්වර්ක් ටික දීල යන්න වෙන්ඩැති" ඒ මගේ සිතුවිලිය. ඒ චන්ද්‍රලතා ටීචත් ඇයගේ පුත්‍රයාත් අනූ ගනන් වල මහරගම පුපුරාගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත්වූහ.


කෙසේ හෝ මගේ රොකට් එක සාදාදීමට කලින් සීයපප්පා මියගියේය. එදා ඒ රොකට් එකේ කෑලි යැයි අපේ නිවසට පැමිණ තිබෙන්නේ කුඩ මිටි, පරණ කණ්නාඩි කාච, පීවීසී පයිප්ප කෑලි, සරණේරු කෑලි සහ කැඩිච්ච ස්ටෙප්ලර් මැශින් බව මට අවබෝධ වෙන්නේ තවත් කාලයකට පසුවය.


Friday, February 25, 2022

දිවි මකුළු විෂ

 

"සිසිල"  මංගල කලාපයේ පලවූ කෙටි කතාව. (2021 සැප්තැම්බර් )

අනුෂ්ක තිලකරත්න


"අත්තම්මේ, මේං බූල් තියෙන ලොකු මකුළුවෙක්, මේ" මම උළුවස්සේ සිටි අත්භූත භයානක පෙනුමැති සත්වයා පෙන්වමින් කෑ ගැසුවෙමි.

අත්තම්මා කොස්සත් රැගෙන දුව ආවේ මගේ බිය මුසු සතුට දෙගුණ තෙගුණ කරමිනි.

"කෝ බලන්න, හානේ දිවි මකුළුවෙක්, එහාට වෙන්න."

"දිවි මකුළුවෙක්!" මා ඒ නම ඇසුවේ ප්‍රථම වතාවට ය.

අත්තම්මා අත තිබූ කොස්සෙන් උළුවස්සට ඇන්නේ දිවි මකුළුවාට නොවදින්නට ය. පහරේ කම්පනයට ඌ බිමට පැන ඉන්පසු මිදුලේ උඳුපියලිය ගාල වෙත දිව ගියේ ය.

මම දිවි මකුළුවා පස්සේ දිව්වෙමි. මට ඌ හොඳින් බලා ගැනීමට වුවමනා විය.

"හා, හා, ඔයා යන්නෙ නෑ!" අත්තම්මා කෑ ගැසුවා ය.

-----------------------------------------------------------------------------------

"බලනව අයිසෙ, මොනාද තමුසෙ මේ කරල තියෙන්නෙ? දැන් මේ කීවෙනි පාරටද මේ රිපොර්ට් එක හැදුවෙ? ආය් වැරදියි. තමුසෙ සිහියෙන් නෙමෙයිද වැඩ කරන්නෙ? කී පාරක් කියන්නද?" ආයතන ප්‍රධානියාගේ ගෝරනාඩුව කාමරය තුළ දෝංකාර දෙයි.

"ස්ස්සොරි සර් මම ඒක ෆික්ස් කරන්නම් ඉක්මනට" මම අමාරුවෙන් වචන ගලපා කියා ගතිමි.

ප්‍රධානියා ඉවත්ව ගියේය. මම ආයෙත් ඉතා අවධානයෙන් පරිගණක තිරය කියවීමි.හදිසියේම මගේ එක් සපත්තුවක් තුළ යම් වෙනසක් දැනෙන්නට විය. මම වහාම සපත්තුව ගලවා දැමුවෙමි.

"මේ දිවි මකුළුවා නේද?" කලු පාට අඬු පඬු දිග හරිමින් මගේ සපත්තුවෙන් එළියට ආ දිවි මකුළුවා වේගයෙන් ගොස් වෙනත් මේසයක් යටට රිංගා ගත්තේ ය.

ඌ මට දෂ්ට කළා වත්ද? කොහෙද ඌ හැංගුණේ? වෙන කාට හරි දෂ්ට කරාවිද? මට දැනුණේ භයක් ද නැත්නම් ගුප්ත සතුටක් ද යන්න මට නොතේරේ. ඒ අර අත්තම්මලගේ ගෙදර සිටි දිවිමකුළුවා ම ය.

--------------------------------------------------------------------------------

"අත්තම්මේ, මට නිදා ගන්න බෑ නෙ. අර හරක කෑ ගහනවා!"

ඇත්තටම හරකාගේ කෑ ගැසීමෙන් මට හානියක් නැතත් නිදා ගැනීමෙන් ගැලවීමට ඇති එකම විසඳුම මෙලෙස එක එක පැමිණිලි කිරීම බව මම අත්දැකීමෙන් දනිමි.

ඉන්පසු අත්තම්මා මාවත් එක්කගෙන කොහේදෝ යාමට එළියට බැස්සා ය. අත්තම්මා යන්නේ රාළහාමිලාගේ ගෙදරට ය. හරකා රාළහාමිලාගේ ය.

දැන් අත්තම්මා රාළහාමිට දොස් කියනු ඇත. ඉන්පසු රාළහාමි සහ අත්තම්මා රණ්ඩුවුණොත්? කොහොම තියෙයිද? මේ මගේ සිතුවිලි ය.

මගේ වයසේ පොඩි එකෙකුට වැඩිහිටියන්ගේ පුංචි පහේ රණ්ඩුවක ද තිබුණේ එක්තරා විනෝදයකි.

-------------------------------------------------------------

"මට දැන් තමුසෙට කියවලම ඇති වෙලා තියෙන්නෙ! මොනාද හලෝ මේ කරල තියෙන්නෙ? මේ මම එකක් කියන්නම්. මෙතන පිළිවෙළට වැඩ කරන්න බැරි නම් යනව වෙන කොහේ හරි!"

ප්‍රධානියා එක දිගට මට බැණ වදී. මම අමාරුවෙන් වචන බලපා ගැනීමට උත්සාහ කරමි. හදිසියේම ජනේලයෙන් යම් චලනය වන ඡායාවක් දිස්වෙයි.

මේ දිවි මකුළුවා නේද? අම්මෝ දැන් උගේ ලොකු! පාපන්දුවක් තරමට විශාල වී සිටින දිවි මකුළුවා පැද්දෙමින් උත්සාහ කරන්නේ ප්‍රධානියා වෙතට කඩා පනින්න නේද? අපොයි, ඌ මේ මනුස්සට දෂ්ට කරයි ද? අන්න ඌ පැන්න.

"සර්, සර්, ඔන්න, ඔන්න" මම කෑ ගසමින් ආයතන ප්‍රධානියා ඉවතට තල්ලු කර දැම්මෙමි. ඒ ඔහුව දිවි මකුළුවාගෙන් බේරා ගැනීමට ය.

-----------------------------------------------------------------

"මට ඔයාගෙ තත්වය තේරෙනවා. ඒත් මේ වගේ කන්ඩිෂන් එකක් තියාගෙන මේ ආයතනයෙ වගකිවයුතු රාජකාරියක් කරන්න බෑ කියන එක තේරුම් ගන්න. මම නිවාඩු අනුමත කරල දෙන්නම්. ට්‍රීට්මන්ට් කරල ගොඩ දාගන්න බලමු. අපරාදෙනෙ නැත්තං. හොඳයි, අර පහරදීමට තැත් කිරීම එහෙම දෙයක් නෙමෙයි කලබලය නිසා අසිහියෙන් සිදු වූ දෙයක් කියල මම භාර ගන්නම්. මට ඇත්තටම තේරුම් ගන්න බෑ මෙහෙම මේ මනුස්සය වෙනස් උණේ ඇයි කියන එක! එහෙනම් දැන් ඔයා හොස්පිටල් එකට යන්න හස්බන්ඩ්ව බලන්න. හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ මනුස්සයෙක් මෙයා. හොඳයි බලමු."

මගේ බිරිඳ රෝහලට පැමිණීමට පෙර මගේ සේවා ආයතනයට ගොස් ප්‍රධානියාව මුණගැසී ඇත.

---------------------------------------------------------------------------------------

මම ලොකු මාමාත් සමග කඩේ යාමට සූදානම් වෙමි. ඒ ගමනට මම බොහෝ කැමති වෙමි. එක අතකින් එය කොහේ හෝ ඇවිදීමට ලැබෙන අවස්ථාවකි. අනෙක, මාමා කෙනෙක් සමග කඩේ ගියොත් ටොපියක් සීනි බෝලයක් අනිවාර්යයෙන් ම ලැබේ. ගුරුපාර දිගේ සැලකිය යුතු දුරක් ගිය විට කඩය තිබේ. ගුරුපාරදිගේ යන ගමනට මම බොහොම ප්‍රිය කරමි. පාර දෙපස කුඩා කුරුඳු ගස්, දං ගස් සහ බෝවිටියා ගස් ඇත. දං ගෙඩි නම් කිසිදු දිනක මගෙන් සැඟවෙන්නට අපොහොසත් ය.

එය ප්‍රමාණයෙන් කුඩා කඩයකි. කඩේ සිටින්නේ මැදි වයසේ කාන්තාවක් සහ පිරිමි ළමයෙකි. ඒ ළමයා මට වඩා තරමක් වැඩිමහල් ඇති. පාසැල් යා යුතු මේ ළමයා මේ කඩේ මොනා කරනවා ද? ආපහු යන ගමන් ලොකු මාමා ගෙන් අහල දැන ගන්න ඕනෙ. හදිසියේ ම පිරිමි ළමයා කිරමින් සිටි හාල් ටික තරාදියෙන් බිම හැළුණි. “අය්යෝ, ඔන්න කළා වැඩක් ඉතින්” අර කාන්තාව කීවාය. ඒ කාන්තාව ළමයාට ගහයි ද? අර නාට්ටිවල වගේ? නමුත් ඇය සිනාසෙමින් හාල් ඇහිඳීමට සහාය වූ නිසා මම සතුටු වීමි. ළමයා ගුටි කෑවේ නැහැනෙ? ටොපියක් සීනිබෝලයක් වෙනුවට මට ලැබුණේ චොකලට් බිස්කට් එකකි. යළි ගෙදර එන්නේ ද අර චමත්කාරජනක වටපිටාව මැදිනි .

අද ද ඇස් පියාගත් විට මට ඒ මාවතේ යළි ඇවිද යා හැකි ය. බෝවිටියා, කුරුඳු, දං ගස් වගේම රබර් වතු අසලින් යන විට දැනෙන සුවඳ ද විඳිය හැකි ය.

-----------------------------------------------------------------------------------

රෝහල් කාර්ය මණ්ඩලය මට ඉතා කාරුණික ව සලකති. මට ලබා දී ඇති ඇඳේ හාන්සි වී මම ඉතා සැහැල්ලුවෙන් සිවිලිම දෙස බලා සිටිමි.

හදිසියේම මගේ ඇඳේ වම් පැත්තෙන් මවිල් පිරි දිගු පාද හතරක් මතු විය. ඉන්පසු පාපන්දු බෝලයක් තරම් වූ උගේ ගෝලාකාර කඳ ද ක්‍රමක්‍රමයෙන් ඉතිරි පාද ද මතු විය. ඒ මගේ දිවි මකුළුවා ය. බිය වීමට අවශ්‍යය වුවද මට බිය විය නොහැකි විය. උගේත් මගේත් වූයේ මිත්‍රත්වයකි. ඌ මගේ ළමා කල මිතුරෙකි. ඇතැම්විට මගේ සමස්ත ජීවිතයම කියවාගත් මගේ ආත්මය හොඳින් ම තේරුම් ගත් මේ මිහිමත සිටින එකම ජීවියා විය හැකිය. ඉතින් ඌට මම බිය නොවෙමි. දැන් මම ඌට ආදරය කරමි. ඉතින් ඌ මට දෂ්ට කරපුවාවෙ. ඔව්. උගේ විෂ මේ දැනුදු මගේ ශරීරයට ඇතුළුවෙනු දැනේ. මගේ වම් බාහුවේ වැලිමිටට ආසන්න තැනකින් ඌ උගේ විෂ මට ඇතුල්කර ඇත. ඒ විෂ මගේ නහර වැල් දිගේ මගේ ශරීරය පුරා පැතිරෙනු දැනේ. එනමුදු මම බිය නොවෙමි.

දැන් ඇඳිරි වැටීගෙන එයි. තව මොහොතකින් අත්තම්මලාගේ ගෙදර පහන් දැල්වෙනු ඇත. මම ඒ නිවසේ වැට අසලට වී නිවස දෙස බලා සිටිමි. නිවස දෙසින් මාමලාගේ හා පුංචි අම්මලාගේ සිනා හඬ ඇසේ. වැට අසල ඇති ගාර්ඩීනියා ගසේ මල් වලින් මා කවදත් ප්‍රිය කරන ඒ ගුප්ත වූ සුගන්ධය හමා එයි.

ඒ මා ප්‍රිය කරන ජීවිතයයි. මට අවශ්‍ය ඕනෑම මොහොතක එම අතීත ලෝකයේ අතරමං විය හැකි ය.

ඉතින් කවර නම් ඖෂධයකට මා ගලවා ගත හැකිද? ඒසේ ගලවා ගැනීමට සැබැවින්ම අවශ්‍යද? දිවි මකුළුවා ඌට ඕනෑම මොහොතක මා වෙත පැමිණ මා සමග එම චමත්කාර ජනක ජීවිතය ගත කරනු ඇත. ඌ නවතාලීමට කිසිවෙකුටහෝ හැකිවේයැයි මම නොසිතමි.

අනුෂ්ක තිලකරත්න