Sunday, July 7, 2024

කවි දෙකක්

 හිස්තැන

ඒ හිස්තැන
හරිම හිස්තැනක්
වේදනාබර
වදකාර හිස් තැනක්

ඉරහඳ ගෙනැවිත් තැබූයෙමි
මහ මුහුද   කෙත් වතු මල් උයන්
හිතමිතුරු ගොනුවේ බොහෝ අයද
සුලඟද අල්වාගෙන තැබූයෙමි එහි
ඒත් තවමත් හිස් තැනක්

කවීන්ගේ කවිකම්
දෙවියන්ගේ ස්ත්‍රෝත
කොතෙක් එහි රැව්දුනද
ඒත් තවමත් හිස්තැනක්

හිස් කමින් පමණක් පිරවෙන
වේදනාබර හිස්තැනක් 

04/07/2024





ගඟ අසබඩ සිටින වියපත් මිනිසාගේ කවිය

ගඟක් අසබඩ හුදෙකලා නිවෙසකි
තරමින් කුඩාය
දියුණු යැයි සම්මත පෙනුමක් නොමැති
එහි වසන මිනිසා මම වෙමි.
වියපත් මිනිසෙක්ද වෙමි.

අර පෙනෙන පාලමට එපිටින්
ඇත මහා නගරයක්
උස්වූ ගොඩනැගිලි වල හිඳ
තව මිටි වූ නිවෙස් වලද හිඳ
ගඟ දෙසට නෙත් යොමන මිනිසුන්

මේ කුඩා නිවසේ කවුරුන් වෙත් ද
කොතෙක් නම් එහි සනීපද
අපිටත් තිබුනානම් එහි ඉන්න
සිතන බව නොරහසක්...

සැබැවින්ම මම මෙහි සනීපෙන් වසමි
සුවසේ නිදමි
සැහැල්ලුව සිතමි
මරණයද ළඟ බව දනිමි
....
එක්වරක් හෝ ඔබ මෙහි එන්න
ජීවිතය විඳින්න
මහ ගොඩක් නුවුමනා බව
දැනගන්න...

ඉතිං  ප්‍රිය  සබඳ    මේලියා ඇත්තේ  කවියක්...
බිල ගෙවා දැන් යායුතුය නැවතත්
මා පැමිණි නගරයට
නිම නොවූ කටයුතු  එහි බොහෝ ඇත තව 

15/06/2024

2 comments:

මයියා said...

ලස්සනයි.දිගටම ලියමු

Litseeker said...

බොහෝ දේ සිතන්නට පොළඹවන කවි දෙකක්. Castaway on the Moon කොරියන් චිත්‍රපටය මතක් උනා.