Tuesday, December 17, 2013

රොබින් හුඩ් අය්යලා



රොබින් හුඩ් අය්යලා
දැන් සටන අතහැරලා
ගල්ගුහාවකට වෙලා
බුම්මගෙන ඉන්නවලු

ආරංචියේ හැටියට
ජනතාව දැන් හරි වෙනස්ලු
ඉස්සරවගේ ඒ ගොල්ලොන්ට
සපොර්ට් එක දැන් නෑලු

නොටින්හැම් බලකොටුවෙ
හැමදාම නත්තල්ලු
රෑට රෑට හැමදාම
මල් වෙඩි පෙන්නනවාලු

ගිස්බන් ගෙනුත් දැන් කරදරයක් නෑලු
සිරියාව බේරෙන්න හිනාවෙන්නත් දන්නවලු
බබාලත් වඩා ගන්නව්ලු ඉඳ හිට
හැබැයි තාමත් එහේ එල්ලලා මරණවාලු

ඒ උනාට ජනතාව
ප්‍රීතියෙන් ඉන්නවලු
මහ රජාත් ළඟදි
එහේ ඇවිත් ගිහින් ලු

රොබින් හුඩ් අය්යලා
දැන් සටන ඇතහැරලා
කණ්ඩායමට බැඳෙන්න ගිය මං
ෂර්වුඩ් කැලේ තනි වෙලා

Sunday, December 1, 2013

හතුරෙකු ගේ මළ ගම




අදින් පසු මට
කෙනෙක් නැති වේවි
මතක් වෙන විටත්
තරහ යන

තරහ හිත තබාගෙනම
ආවෙමි ඔබේ මළගෙදර
ඔබත් මාත් හැර කිසිවෙකුත්
නොදන්නා ගානයි
ඔබ හා මම අමනාප බව

ඉතින් ඔබ මිය ගොස්ය
පරණ තරහ ඉතිරි කර
ඔබ යන්නට ගොහින්

මග තොටේ විටෙක
හැදුවා නොවෙද ඔබ
කතා කරන්නට මා සමග
කතා නොකළෙමි ඔබට
මම තරහා බැවිනි

ඉතින් දැන් කා සමග
තරහෙන් ඉන්නද මම
හිස් බවෙන් මිරිකෙමි
වේදනාවෙන් තැවෙමි

පරණ තරහ ඉතිරි කර
ඔබ මියගොසිනි.

Saturday, November 30, 2013

ඒ බල්ලා








ඒ වල් බල්ලා
හැරිලාවත් බැලුවෙ නෑ
මං දැම්ම ඉස්පංචි කෑල්ල දිහා
කෑල්ලක් නොදී මං
දෙන්නද ඔක්කෝම
මංවත් නොකා
නැත්තං අනික් කඩෙන්
ප්‍රයිඩ් රයිස්  අරං
පිං පිණිස දෙන්නද ඌට

උපන්නා නම් වල් බලු ගොඩේ
ඉන්නට ඕනෑ ඒවිදිහට
දෙන දෙයක් කාලා
අගුපිලේ බුදියලා
තනියම හොරි කසාගෙන
ලොරියට බස් එකට අඩ තියා
වැලිගම්පිටි යන්ඩෝන
අන්න එහෙමයි
උඹලා ඉන්ඩෝන

හිතන්නැති අර
තඩි විසාල ගේට්ටුවෙන්
හොම්බ දාගෙන බුරන
සුපිරි බල්ලා වගේ කියලා


මතක තියාගන් මේටික
බල්ලෙක් වුනත් පෙට් කෙනෙක්
හැබැයි උඹ බල්ලෙක් සදහටම
නිකන් නෙමෙයි
වල් බල්ලෙක්

Friday, November 22, 2013

ගස් කැච් ඔට්ටුයි

හැන්දෑවෙ හතරට
එකා දෙන්නා ඇදෙනවා  පාරට
කඩේ බංකුව විකට් එක
බැට්ස්මන් ට වඩා උසයි විකට් එක

අර්ජුනලා අරවින්දලා හෂාන්ලා
යුනුස් ලා අක්‍රම්ලා
ලාරලා ඩොනල්ඩ් ලා
මේ ඔක්කොම හිටියා අපි එක්ක

ගස් කැච් ඔට්ටුයි
බලු වත්තට ගියොත් අවුට්
හුඹහට උඩින් හතරයි
හයක් ගැහුවොත් වීරයෙක්

ලොකු අය්යලා ගේ බෝල් 
සැරවැඩියි හැමදාම
වැඩිය එන්නැති පොඩි මල්ලිලා
හැමදාම ලාස්ට් මෑන්

දැන් නම් පාරටත් තාර වැටිලා
වටේටම තාප්ප බැඳිලා
ගස් කැච් ඔට්ටු කල පොල් ගස්
ඉඳ හිට බලනවා අපි දිහා