Saturday, November 24, 2018

රොබින්සන් කෲසෝ වීම

රොබින්සන් කෲසෝ කියවූ කාලයේ මටද එසේ දූපතක හුදෙකලා ජීවිතයක් ගත කිරීමේ ආශාවක් විය.රොබින්සන් කෲසෝට මට ඇති කිසිම කරදරයක් නැත.විභාග, පාසැල් ගමන්, ටියුෂන්, ගෙදර වැඩ මේ මොනවත් නැත. ඒ මදිවට මිනිහ හොඳට කා බී සුවෙන් සිටියේය. මස්, මාළු එළවලු , පලතුරු පිරිසිඳු වතුර. මේ මොනවායින් වත් අඩුවක් නැත. ඒ වගේම මඩොල්දූවේ උපාලි හා ජින්නාද මේ වගේම නිදහස් ජීවිතයක් ගතකළෝය. මේ කතා කියවූ කාලයේ මම මනසින් අනන්තවත් කැලෑවල දූපත් වල ජීවත් වුනෙමි. 

මේ මම ඒ ගමන් සැලසුම් කල ආකාරයයි.

ගෙවල් වලට කිසිවක් නොකියමි. කිව්වොත් යන්න වෙන්නේ නැත. හොරෙන් යමි. ගෙනයන්න තිබෙන බඩු මුට්ටු වල ලැයිස්තුවක් සකස් කරමි. පිඟානක්, කෝප්පයක් හැඳි, ගෑරුප්පු . මේවා ප්ලාස්ටික් වන තරමට හොඳය. එවිට කැලේදී කැඩෙන්නේ නැත. පිහියා කිහිපයක් අවශ්‍යය. පොඩි පිහි, ලොකු පිහි, මන්න පිහි ඒවා සියල්ල ගමි. ගෙදර තියෙන මන්න පිහි දෙකෙන් එකක් මම ගනිමි.

වඩාත් අත්‍යාවශ්‍ය දෙය නම් තුවක්කුවකි. කෲසෝට නම් ඒවා කැඩුනු නැවෙන් ලැබුනි. උපාලි නම් පොඩි ගමරාලගෙන් ඉල්ලා ගත්තේය. මම කොහෙන්ද හොයා ගන්නෙ ? තුව්ක්කුවක් ගන්නටද තැනක්  නැත. ගත්තත් කෝ ලයිසන්? මේවා හිරේ යන වැඩය. යකඩ බටයකට ලී මිටක් සවිකර පැරණි තාලයට වෙඩි බෙහෙත් කොටා වෙඩි තැබීමට හැකි යමක් සාදා ගැනීමට මම සැලසුම් කළෙමි.

ඊළඟට අවශ්‍යම දේ බෙහෙත්. පැනඩෝල් පෙට්ටි කිහිපයක් ගමි. සිද්ධාලේප කුප්පි කිහිපයක්, වික්ස් කුප්පි කිහිපයක් අනිවාර්යයෙන් අවශ්‍යය. තව තම්බාගෙන බොන්න පේයාව, පස් පංගුව පැකට් දහයක් විතර ගනිමි. හදිසියේ බඩයෑමක් වුනොත් ගන්න ක්‍රීම් රාජ කරල් ගුලි පැකට් සහ කොන්ක්‍රීට් ටැබ්ලට් විශාල ප්‍රමාණයෙන් අවශ්යය. අසමෝදගම් බෝතල් කොහිපයක් සහ ජින්ජර් බියර් බෝතල් පුලුවන් තරම් ප්‍රමාණයක් ගෙනයමි. තුවාල වලට දමන බෙහෙත් ජාතිද අවශ්‍යය. පුලුන්, ගෝස්, බැන්ඩේජ්, ප්ලාස්ටර්, ජෙම්සන් වලයට් , සර්ජිකල් ඉස්පිරිට් බෝතල් ද අවශ්‍යය.


ඊළඟට ඇඳුම්. දැනට තියෙන ඒවාට අමතරව හොඳ වර්ගයේ අන්ඩර්වෙයාර් දුසිමක් විතර අවශ්‍යය. කැලේදී දිවීමට සහ වැල් වල එල්ලී යෑමට හොඳ අන්ඩර් වෙයාර් එකක් තිබීම අත්‍යාවශ්‍යය.  ටී ශර්ට් ටික සහ කොට කලිසම් ටික දැනට ප්‍රමාණවත් වේ.මදුරුවෝ කනකොට අඳින්න අත්දිග කමිස කිහිපයක් සහ දිග  කලිසම් කිහිපයක් අවශ්‍යය. බූට්ස් දෙකක් හොයා ගතයුතුය. ඉස්කෝලෙ දාන මේස් දැනට ප්‍රමානවත් වේ. සීත කාලයක් ආවිට ඇඳීමට ලෝම කබායක් අවශ්‍යය. සාමාන්‍ය මට්ටමේ ජම්පර් එකක් නම් ගෙදර තිබේ. කෲසෝ නම් සතුන් ගේ ලොම්වලින් ඇඳුම් හදා ගත්තද  මම නම් පුලුවන් තරම් ඇඳුම් ගෙදරින් ගෙනයාමට කල්පනා කර ගත්තෙමි.

දූපතේ දී මට බල්ලෙකු අවශ්‍යය. අපේ ගෙදර බල්ලෙකු නොසිටි බැවින් මම ගෙදර සිටි පූසාව රැගෙන යාමට තීරණය කළෙමි. එවිට ඌ සතුරන් ගෙන් මා ආරක්ෂා කරනු ඇත.

මම දූපතට විදුලි බලය ලබා ගනිමි. දියපාරක ඩයිනමෝවක් සවි කර ගැනීමෙන් මට එය කලහැකිය. එසේ නැතහොත් සුළං බලයෙන් විදිලිය ලබා ගනිමි. ඒ සඳහා ඩයිනමෝවක් සහ වයර් ගෙදරින් ගෙනයමි. මට සටහන්ලිවීමට නෝට් පොත් කීපයක් සහ ඇට්ලස් පෑන් කිහිපයක් ගෙනයමි. දූපතේ දී මට කම්මැලි සිතේ. එවිට කියවීමට මඩොල්දූව සහ රොබින්සන් කෲසෝ පොත් දෙක ගෙනයමි. පාසැල් පොත් අවශ්‍ය නැත. ඒ  දූපතේ පාසැල් නැතිබැවිනි. මම හොල්මන් වලට බය ඇත්තෙමි. බුදු පිළිමයක් සහ පිරිත් පොතක් ගෙනයෑමට අවශ්‍ය වන්නේ එබැවිනි.

ආහාර ප්‍රශ්නයක් ඇති නොවේ. මම සතුන් මරා මස් ලබා ගන්නා අතර දූපතේ එළවළු වගා කරමි. පළවෙනි දවසේ කෑමට පමණක් පාන් ගෙඩියක් සහ සීනි සම්බොල් ගෙදරින් ගෙන එමි. මිරිස්කුඩු ගම්මිරිස් කුඩු කහකුඩු ඇතුලු අනෙකුත් පහේ වර්ග කිලෝ කීපයක් බැගින් ගෙදරින් ගෙනයමි. ලුණු නම් අවශ්‍ය නැත. ඒවා මම මුහුදෙන් ලබා ගනිමි. හාල් පරිප්පු කඩල මුං ඇට ගෝනි කිහිපයක් ගෙනයමි.දූපතේ ගර ගරා ඉන්න බැරි නිසා ගල් වැලි ඉවත් කල නිපුන හාල් පමණක් ගෙනයමි.

වලන් හට්ටි මුට්ටි ආදියද අසුරා ගත යුතුය. පොඩි ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ද ගෙනයමි. මට ගල් කෑලි එකට ගටමින් සිටිය නොහැකිය. ගිණි පෙට්ටි බන්ඩල් කිහිපයක් සහ ලයිටර් දුසිමක් පමණ ගෙනයමි. ලිප් පත්තු කර ගැනීමට පරණ පත්තර මිටි කිහිපයක් ද ගෙනයමි.

මේ බඩු ඉවර වන විට යළි ගෙදර පැමිණ ආයෙමත් බඩු තොග රැගෙන යා හැකිය. මේ බඩු තොගය දූපතට ගෙනයාමට මට නැව් දෙකක් පමණ අවශ්‍ය බව වරාය අධිකාරිය මට පැවසීය.. එක අතකට ඔච්චර දුක් විඳගෙන දූපතක ඉන්නේ මොකටදැයි සිතා මම ඒ බඩු තොගය නිවසේ සිටම පාවිච්චි කළෙමි. මගේ රොබින්සන් කෲසෝ සිහිනය එතකින් නිම විය.

Tuesday, October 23, 2018

අපූරුව




බොහෝ උස් බිත්ති මත
හුදෙකලාවේ වැඩුනු පොඩි ගස්
කාක බෝ, වල් ගස්
කඩප්පුලි නම් ලද
ලද පුංචි ඉඩකිනුත්
හුස්මක් ඇද ගෙන ඉහලට
බිඳිත්තක සතුටක් විඳින්නට
වෙර දරණ අපූරුව

Friday, August 3, 2018

හොල්මනක්ද?



මොකද්දේ සද්දෙ සාලෙන් ඇහෙන? අර අර සැටියෙ ලෙදර් එක පොඩි වෙන සද්දෙ නේද? අද ගෙදර කවුරුත් නෑනෙ. මං විතරනෙ ඉන්නෙ. ඔන්න ඒ පාර කුස්සිය පැත්තෙන් ඇහෙනව. මේ ගෙදර මීයො පූසොත් නෑ. ඒ පාර නැවතුනා.

දවල් කාලෙ විවිධ වස්තූන් උරා ගන්නා ශබ්ද රාත්‍රී කාලයේ යළි පරිසරයට නිකුත්වෙනව කියල මොකක් හරි තියරියක් තියෙනවද? එහෙම දෙයක් වෙන්න බැරිද?

ඔන්න ආයෙ. නිකන් කවුද චඃ කියල කිව්ව වගේ නේද? ටීවි එකත් ඕෆ් කලා. අපරාදෙ මට තිබ්බෙ කාමරේ දොර වහගෙන නිදා ගන්න. එක පාරටම පැනල දොර වහල දානවද? දොර තියෙන්නෙ ටිකක් ඈත.


නෑ. මං කාමරේ නෑ වගේ ඉන්න ඕනෙ. මං නිදා ගන්නව. නින්ද යන්නෙත්නෑ .


ඔන්න දැන් නිකන් කාපට් එකේ ඇවිදිනවද කොහෙද? ඔහොම්මම කාමරේටත් එයිද? මං බලාගෙන ඉන්නෙ දොර දිහා. ආවොත් මොකෝ කරන්නෙ ?. ඇස් වහගෙන ඉන්න හිතෙන්නෙත් නෑ.ඇරගෙනම ඉන්නව. ඔන්න ආයෙත් නතර වුනා වගේ.


මට හොඳටම විශ්වාසයි සාලෙන් ඒ සද්ද ටික ඇහුන කියල. දැන් වෙලාව කීයට විතර ඇතිද? එකට දෙකට විතර.


ආයිත් ඔන්න කවුද "හම් " කිව්ව වගේ ඇහුන. මොන ඉලව්වද්ද මේ? මේක ටිකක් පරණ ගෙයක්. කවුද දන්නෙ ගෙට තණ්හාවෙන් මැරිච්ච කෙනෙක් හිටියද කියල?බුද්ධාගමේ කියන දේ බොරු නෙමෙයි නේ!


එළිවෙනකම්ම මෙහෙම ඉන්න වෙයිද? එක්කො එන එකෙක් එනවකො දොර ළඟට මට පේන්නම.

දැන් දැන් සුදුපාට ඇඳගත්ත කවුරුහරි කාමරේට එබෙයි. ඇවිල්ල මගේ කකුලෙන් ඇද්දොත්? කකුල් ශීට් එකෙන් වැහිල තියෙන්නෙ. ඒ හින්ද ප්‍රශ්නයක් නෑ. ඒ මොකාට හරි මාව පෙනෙයිද? මං හෙල්ලෙන්නෙ නැතුව ඉන්නව. අන්න ආයෙත් කාපට් එකේ මොකද්ද ඇතිල්ලෙන සද්දෙ.


මොකෙද්ද ලබ්බෙක් සයිලන්සරේ කඩාගෙන පාරෙ ගියා මේ අස්සෙම. ඌටත් මේ වෙලාවෙම යන්න ඕනෙනෙ උනා ගේ ඉස්සරහින්.

අන්න ආයෙත් සැටියෙ ලෙදර් එක කිටි කිටි ගෑව. ඔන්න දැන් නැගිට්ට. දැන් නම් කාමරේට එනව. මට කෙලින්ම දොර පේනව. සුදුපාට හරි අඳුරු ඡායාවක් වගේ එකක් දැන් දැන් දොරෙන් එබෙයි.

මගේ කන් අඩි වල ලේ පිරිල වගේ. හාර්ට් බීට් එක කණට ඇහෙනව.ඔන්න එනව. දැන් පෙනෙයි.

"හුහ්". මොකද්ද ඒ එළියක් ගියේ කාමරේ ඇතුලෙන්. පාරෙ වාහනයක් ගියා. ඒක මිසක්. එළිවෙනකම්ම මේ බූතයා එක්ක ඉන්නද? දැන් තුනට විතර ඇති. ඔරලෝසුවෙ තප්පර කට්ට දුවන සද්දෙත් මට ඇහෙනව.

එක්කෝ මං පාඩුවෙ නිදා ගන්නව.

මං ආනාපානසතියෙන් සිත සහ කය සැහැල්ලු කර ගන්නව.

ඉක්මනට මට නින්ද යනව නම්! නින්ද යන්නෙත් නෑ. එළි වෙන්නත් තව වෙලාව ගොඩාක් තියෙනව.

Friday, July 13, 2018

පීඩනය නිසා



විජේකලා එල්ටීටිය ඕනෙමයි කියා තිබෙන්නේ පීඩනය නිසාය. හාමුදුරුවන් විසින් පොලිස් නිලධාරියාගේ බෙල්ල මිරිකා තියෙන්නේද පීඩනයක් නිසාය. ගායිකාව මරා දමා තිබෙන්නේද පීඩනය නිසාය. මිනිස්සු දිවියා මැරුවේද බය නිසා උපන් පීඩනය නිසාය. තෙවරප්පෙරුම බිම බුදියගන්නේද පීඩනය දරාගත නොහැකිවය. මේ සිදුවීම් නිසා සමාජය ඇවිස්සෙන්නෙද පීඩනය නිසාය. ජනාධිපති තුමා රටේ කුඩු කාරයන් හිරේ ඉඳගෙන දෙන ගේම් නිසා පීඩනයට පත්වී මරණ දඬුවම යළි ගේනවා යැයි කියා තිබේ.

තත්වය මෙසේ වන අතර පීඩනය=බලය/වර්ගඵලය වේ. පීඩනය අඩු කිරීමට නම් බලය අඩුකිරීම හෝ  වර්ගඵලය වැඩි කිරීම කල යුතුය. බලය අඩු කර ගැනීමට එකෙක්වත් කැමති නොවන නිසා කෙසේ හෝ මුන්ගේ වර්ගඵලය වැඩිකර දිය යුතුය.

Tuesday, June 12, 2018

මටත් දැන් පුලුවනිය පොද වැස්සෙ තනි වෙන්න



සඳ නොමැති අහස මත
තරු රටා අමුණන්න
හිරු ගිලෙන සැඳෑවක
මුහුදු වෙරළේ තනිවෙන්න

මහ මගදි හමුවුවද
නොදුටුවා සේ ඉන්න
මතකයන් රැඳි උයන් කොන
වෙන උන්ට පවරන්න

ප්‍රේමයට වඩා ලොකු
ජීවිතය විඳ ගන්න
මටත් දැන් පුලුවනිය 
පොද වැස්සෙ තනි වෙන්න

Monday, May 28, 2018

මතක සුවඳ




කම්හලක අච්චුවක
වඩා මා අතට පත්වුන
ගිය වරත් ඇලවූ
එකම පහන් කූඩුවක
සෙවූයෙමි කාටත් හොරෙන්
යන්තමින් මතකයේ රැඳි

බට ලීයක සුවඳ

Thursday, May 24, 2018

නිලි වැස්සට තෙමීනෙන් පසුව



කත්‍යානා අමරසිංහ ගේ නිලි වැස්ස නිකුත් වී තිබෙන්නේ 2015 දීය (දෙවන මුද්‍රණය ). මම කියවන්නේ 2018 දීය. ඉතින් මේ පොත සහ  මම අතර සිදුවූ කතා බහයි..

රජ කතාවක් දැනගත් සැනින් මම සොයන්නේ වීරයන් සහ ඔවුන්ගේ සූර වීර කතාය. ඒ අතරතුර පෙම් කලාට කමක් නැත. එවිට කතාව ලස්සන වෙයි. ඒ පොත කියවන්නට පෙර මා තුල ජනිතවූ බලාපොරොත්තුවයි. ඒත් සූර වීර කම් සියල්ල අභිබවා ප්‍රේමයම ඉස්මතුවන විට? මම
බලාපොරොත්තු සිඳ ගතිමි. ඒත් කතාව දිගටම කියවමි. පොත ඉවත තැබීමට නොසිතේ. ඉදිරියේදී යමක් සිදුවනු ඇතැයි දැනෙන නිසා දිගටම කියවමි.

 කතුවරිය මා තුල මැවූ චිත්ත රූප වල අලංකාරය විස්තර කිරීමට නොයමි. එමගින් එය අවලස්සන වේ යැයි මට බියක් දැනේ. ඒ මගේ සිතේ ඇඳි රන් මැණිකාය. මා දුටු කන්ද උඩරට රජුය. රජ වාසල සහ ඒ අවට පරිසරයය.  මේ කන්ද උඩරට දේවයන් වහන්සේද මගේ සිත් ගති. සාම්ප්‍රදායික අන්තඃපුරයක සැතපෙන බඩජහරි රජෙක් වෙනුවට රාගය තුළ සියුම් හෝ ප්‍රේමයක් සොයන ඇතැම් විට ගැහැනු කම ඉදිරියේ අසරණ වෙන රජෙකි.

මදකින්ම මමද කන්ද උඩරට වාසලේ තනතුරකට පත්වෙමි. ඒට නමක් නම් නොවීය. විටෙක කන්ද උඩරට නරපතියාගේ ඉතා විශ්වාසවන්ත ආරක්ෂකයා වෙමි. විටෙක රන් මැණිකා ගේ දුක සැප සොයා බලන ඇගේ මිතුරෙකු වෙමි. කන්ද උඩරට කුමන්ත්‍රණ ගැන රජුට සැලකරන චරපුරුෂයෙකු වෙමි. කෙසේවත් මගේ වීරෝධාර දේශප්‍රේමී  නරපතියාට නරකක් වෙනවාට අකැමැත්තෙමි.

රන් මැණිකා ලන්දේසීන් හමුවීමට යන ගමනේ දී ඈ හා යමි. මදින් මද මට ඈ කෙරේ වෛරයක් හට ගනී. මේ ගැහැනිය කන්ද උඩරට රාජ්‍යට පමණක් නොව ඒ අභීත ශ්‍රේෂ්ඨ නරපතියාටද ද්‍රෝහි වනවා නොවේද? ? එක් සැනෙකින් කඩු පහර දී ඈ මරා දැමීමට මට සිතෙයි. කන්ද උඩරට රජුට, රාජ්‍යයට, සිංහල දේශයට පක්ෂපාතී වීර කාන්තාවක් මම රන් මැණිකාගෙන් බලාපොරොත්තු වීමි. නමුත් දැන් සිටින්නේ පරදේසක්කාරයෙක් හා නිදි වදින, සිත කය දමනය කර ගත් නොහැකි පහත් ගැහැණියකි.  මේ සිතුවිලි වල මූලාරම්භය කොහිද? ඇය මගේ සිතුවිලි අනුව හැසිරිය යුතු යැයි මා සිතන්නේ ඇයි? කෙසේ වුවද දැන් ඈ මගේ වෛරයට හසු වී අවසන්ය. අවස්ථාවක් ලද සැනින් මම ඇය මරා දමමි. මම කන්ද උඩරට රජුට මෙය සැල කරමි.

කන්ද උඩරට රජු ඉදිරියේ පරදේසක්කාරයාද රන් මැණිකාද මමද සිටිමු. රජු ඇගේ හිස ගසා දැමිය යුතුමය. පරදේසක්කාරයා අතර මගදී රහසේ ඝාතනය කල යුතුය. මගේ මවුබිමට ද්‍රෝහී වුනු ඔවුන්ට හිමි විය යුත්තේ එයයි.

එහෙත් මේ කන්ද උඩරට නර පතියා කුමක් කලේද? අභය දානය දී ඔවුන්ව පිටමන් කලේය. ඔවුහු අසුපිට ඉතා ප්‍රීතියෙන් ප්‍රේමයෙන් වෙලී ගමන් කලහ. අර ඈ ඒ පරදේසක්කාරයට තුරුළු වී යන අන්දම? නිලි වැස්සට තෙමෙන ඒ මුහුන සහ කට කොනක සිනහව ! මම දත් මිටි කමින් ඉවසමි. මම සිඳී බිඳී ගිය මනසින් රජවාසලට යළි පියමන් කළෙමි.

මගේ මිත්‍රයාට මා අවැසිද?. නැත. තව දුරටත් ඔහුට මා අවැසි නැති බව ඔහු දැන්වීය. මම මාළිගයෙන් පිටවීමි. රන් මැණිකා සහ ඕලන්දක්කාරයා අසු පිටින් ගමන් කල මග දිගේ ඉදිරියට පිය මැන්නෙමි. අතරමග හමු වූ මහ ගසක් යට  මම ඉඳගතිමි.

 දින කිහිපයක්ම මම ඔවුන්ගේ ප්‍රේමණීය, ඇතැම්විට ත්‍රාසජනක ජීවිත හා අතර ගත කළෙමි. රන් මැණිකා මගේ වෛරයට පාත්‍රවූයේ ඇයිදැයි මම  කල්පනා කළෙමි. ඇය මා සිතූ පැතූ ආකාරයට නොහැසිරීම හේතුවක් විය නොහැකිද? ඇයට කන්ද උඩරට රජු ඉදිරියේදී මෙන් පරදේසක්කාරයා ඉදිරියේ බියක් නොදැනෙන්නේ මන්ද? කන්ද උඩරට රජුගේ කවීත්වය වුව්ද ඇගේ බිය සැක පහ කිරීමට සමත් නොවූ හැඩයි.කන්ද උඩරට රජතුමා කෙතෙක් සාමාන්‍ය පෙම්වතෙකු ලෙස හැසීරීමට උත්සාහ කලද ඔහු අසමත්ය. ඔහුගේ රාජකීයත්වය එයට බාධාවක් වේ.

රන් මැණිකා යනු එක් අතකින් බලන කල හුදෙක්ම තම සිතිවිලි වලට යටවූ ගැහැණියකි. රජ සැප ඇයට මහත්වූ වධයක් වන්නට ඇත. රාජ නීති , සම්ප්‍රදායන්, අසීරු සිරිත් විරිත් ඇයට මහත් හිරිහැරයක් වන්නට ඇත. සිතට දම්වැල් දමා ප්‍රේම කිරීම කෙසේවත් කල නොහැක්කකි. උතුම් වූ පුරුෂාර්ථ, වගකීම් සියල්ල හැරදමා හුදෙක් තම සිතුවිලි හඹා යන එක් අතකින් බලනකල ආත්මාර්ථකාමී ගැහැණියකි. රන් මැණිකා ගැන එසේ සිතීමට මම කැමැත්තෙමි. ප්‍රේමය සහ රාජකීය වගකීම් අතර සිරවූ රජු පිළිබඳව ශෝකයක් ජනිත කිරීමට කතුවරිය සමත් ය.

සීමිත චරිත සංඛ්‍යාවකින් විචිත්‍රවත් වූ කතාවක් කීමට කතුවරිය සමත් වී ඇත. අලසබවක් නැතිව කතාව රසවිඳිය හැකි ආකාරයට චරිත සහ සිදුවීම් යොදා ගෙන තිබේ. සිනමාවකට වුව නැගිය හැකි ආකාරයේ වූ පොතේ අවසානයට මම මහත් සේ ඇලුම් කරමි.