Sunday, February 5, 2012

මකර පොරය


මකරු ගොරවති දස අත
කා ගනිති උනුන් හා අහස් කුස
ගිණි සැරයෙන් වැටී ඇස් ගිණිකන
දනෝ තෝරති තම මකර තෙම

හදාදී පුදසුනක් රුවනින්
සදා කැවිලිද පෙවිලි රස බර
තබා දරු කැල පුද වට්ටි මත
පුදා ඉල්ලති සියලු සුර සැප

මකර තෙම ඉන් බොහෝ සැනහී
බුදා පුද දුන් බොජුන් රසකර
යොදා ගෙන දරු රථය ඇදුමට
යෙහෙන් වැජඹෙයි අරා නුබ ගැබ

කැවිලි සැදුමට නොමැත තව සවි
ලැබුනු සුර සැප කෙමෙන් වියැකී
රථය ඇදි දරු ගතින් දුබලව
හිස් ව අත මිට හිඳී සෝකව

මේ මකර තෙම ඉදින් වයසයි
ඒ නිසයි මේ සියලු දොම්නස්
යොවුන් මකරෙක් සොයා ගෙන අපි
යදිමු සැමගේ දෝස නැසුමට

මකර උතුමෝ අති කාරුණික
අවැසිය අපට මේ රන් දෙවොල
නව මකර තෙම ගෙනත් තැබුමට
බැස යන්න සොඳ හිටි මකර රජ


ඇසී දන ගේ මේ යැදුම් හඬ
කිපී ඝෝරව හිටි මකර තෙම
උනා සලු පිලි පැන අහස් කුස
පිඹී ගිණි සැර දනෝ හිස් මත

සොරෙන් ගෙන්වා නව මකර තෙම
යවා සවි දී මකර පොරයට
ඉවත විසි වන ගිණි පුපුරු මැද
දනෝ සවි දෙති මකර කුමරුට

ලද නිසා සවි මකර කුමරුන්
ජය ලබා ගෙන මකර පොරයෙන්
උදම් වී ජය ප්‍රීති ගොස මැද
වඩී දෙවොලට අසිරි ලබමින

ඉතින් යළි දන සදා කැවිලිද
සොයා ගෙන පුද පඬුරු කාසිද
ඉතිරි දරු කැල පුදා සතොසින
යදිති දෙන ලෙස යළිත් සුර සැප

Sunday, November 6, 2011

එය එසේමයි......


එකත් එකටම නුඹ
සරන්නැති දැන හෝ නොදැන
නුඹට හිමි නැති ඉසව්වක
අසන්නට ඇති පොඩි කමට
සරන්නට ඇති අයිතිය අහස් කුස
උපතින්ම හිමි සියොතුනට

කොහේ දෝ බෑවුනු අකුණක්
සියලු පව් බාර ගත් නිසා
සෝදා ගන්න ඇති වැසිදියෙන්
ලේ ගඳ ගසන උන්ගේ නිය සහ හොට

ඉතින් කවුරුත් පිළිගනිති
එය එසේමයි කියා
දිළිසෙන නිසා තවමත්
තියුණු නිය සහ හොට

Monday, September 12, 2011

ගමනාන්තය

කිසිවෙක් නොගිය මාවතක
යමු ඔහේ අපි ඇවිදගෙන
මුලින් ගිය උන් නැති නිසා
නැති වේවි මග ලකුණු
අසන්නට කෙනෙක් වත්...
දකින්නට දෙයක් වත්

ඉතින් බිය කුමකටද
නවතිමු කැමති තැන
කැමති ලෙස
එතනයි ගමනාන්තය

Monday, July 4, 2011

මෙගා සහ රියල්


කොම්පැණි දෙක තුනක
මහපුටුව දරාසිට

දුවගේ පෙම්වතාට ගේම ප්ලෑන් කර
සැප රියෙන් ගෙදර එන තාත්තා නොව
හෙට දවසෙ බර හිසින් දරා
බස් රියේ තෙරපී හෙම්බත්ව ගෙදර එන තාත්තාය

ගේදොර කටයුතු කිසිවක් නැතිව
දවසම හතරවටේ ගෝරි දාගන්න
අවුරුදු 10 න් විවාහ වුනු අම්මා නොව
උදේ හිට රෑ වෙනතුරුම
ලිග් ගල් වළං මැද ජීවිතය දිය කරන
වයසට වඩා වයස ගිය අම්මාය

එයාද මෙයාද ගෙදරින් කියන අරයද
සියළුම කටයුතු නවතා දවසේම හිතන
අය්යවත් අක්කවත් නැත
උපාධියට ජීවිතය බොඳවුනු
වට රවුමේ ඉතිරි කාලය ගෙවන
අය්යලාය අක්කලාය

දැන් දැන් සමහර පොඩි එවුන්
රාත්‍රියේ නින්දට පෙර
දසමාසේ උද්දිකාරෝ කියන්නෙත් හොරටලු

Wednesday, May 4, 2011

උඹේ කවිය සහ මගේ කවිය

උඹේ කවිය සහ
මගේ කවිය මැද්දෙන්
ගසා ගෙන තඩි ඉරි
සොයා ගෙන වෙනස්කම්
ඒ රසය මේ රසය අතර
...හදා ගෙන මහ පටලැවිල්ලක්
උන් අදිති එහෙටත් මෙහෙටත්

සීතලද මිදී ගිය රාත්‍රියක
හදවත කෙනිත්තූ හැඟුමන්
පෑන්තුඩකින් ලියා තැබු බව
නොකියා නිහඬවීමි

හැන්දැකරේ උඹ ඇවිත්
ඉල්ලගෙන බලෙන්ම ඒ කව
දෙතුන් විට කියවා බලා
ඇවිද ගොස් මා සමඟ වෙරළට
බැස යන හිරු දෙසට
දිගු කර සුරත
"අන්න අර අතන උඹේ ඊළඟ කවිය"
පවසා එලෙස මෘදුව
නිහඬව පියනගයි ඉවතට

Thursday, April 14, 2011

මහ ගසකි එවන් වූ


මියගියා යැයි සිතා
උදුරා විසි කල පුංචි පැලෑටිය
විහිදුවා මුල් දස අත
අසීරුවෙන් උරාගෙන පෝෂණය
මහ ගසක් වී කදිමෙට

විඩාපත් දනන් හට
සෙවණ දෙයි සැතපෙන්න
උදුරා විසිකල උන්ටද
කිසි වෙනසක් නැතිවම

Thursday, February 24, 2011

උඹ දැන් හරි වෙනස් මචං

ඉස්සර වගේ නෙවෙයි
උඹ දැන් හරි වෙනස් මචං
ගැන්සියටම තේරිලා
උඹ දැන් හරි අමුතු බුවෙක්

සෙට් වෙන්නත් වැඩිය
උවමනාවක් නෑ වගේ
හුදෙකලාවත් එක්කම ෆිට් වෙලා
ගැන්සියම දැන් ඈත් කරලා

කවි පොත් කිහිපයක්
නිතරම උඹ අතේලු
උඹව හමුවෙච්ච අපේ එකෙක් කිව්වා
පත්තරේකත් තිබ්බලු උඹේ කවියක්
ජීවිතේට කවි නොකියවපු අපේඋනුත් බලලා

පිහාටුවක් වගේ සැහැල්ලුවෙන්
පාව යනවාලු උඹ
තිබ්බාලු ඒ කවියේ උඹම ලියලා
ඒත් අපි නම් තාම
කට්ට කනවා මචං ජීවිතෙත් එක්කම
ඒත්ඉඳලා හිටලා සෙට් වෙනකොටත්
උඹ දැන් නෑ අපි එක්ක