මියගියා යැයි සිතා
උදුරා විසි කල පුංචි පැලෑටිය
විහිදුවා මුල් දස අත
අසීරුවෙන් උරාගෙන පෝෂණය
මහ ගසක් වී කදිමෙට
විඩාපත් දනන් හට
සෙවණ දෙයි සැතපෙන්න
උදුරා විසිකල උන්ටද
කිසි වෙනසක් නැතිවම
ඉස්සර වගේ නෙවෙයි
"සමාධි...තව වෙලා යයි ද? "
මාලින්ද ඇහැව්වෙ වර්ණ එන්න පොරොන්දු වෙච්ච වෙලාවට වඩා දැන් සෑහෙන්න පරක්කු වෙච්ච නිසා.
"ම්ම්..තව ටිකක් ඉමු. ෆොරිනස් ල වගයක් ආව කිව්වනෙ හදිස්සියෙම..".
සමාධි උත්තර දුන්නෙ එතරම් තැකීමක් නැතිව.
"හ්ම්ම්" .
"ෂහ්..මෙතනට මේ කඳු පංතිය පේන ලස්සන. ඊසල් එකත් තියාගෙන අඳින්න ඇත්නම්." මාලින්දට එහෙම හිතුනා.
"මාලින්ද අර කඳු ටික හරි ලස්සනයි නේද? බලන්නකො පර්ස්පෙක්ටිව් එක. නැචුරල් කලස්. අනේ..බලන්න." සමාධි එහෙම කිව්වෙ මාලින්දෙගෙ සිතුවිලි දැනගෙන වගෙයි.
මාලින්දට පුදුමත් හිතුනා."සමාධි මගේ හිත කියවනවද?" මාලින්දට හිනා ගියා.
“ඇයි ඔයා හිනා වෙන්නෙ?” සමාධි ඇහැව්වෙ තරහින් වගේ.
"නෑ. මේ දැන් මම ඒගැන හිතුවා විතරයි. අ නදර් ටෙලිපති එක්ස්පීරියන්ස්"
"හම්".
ඒ හඬෙහි තිබුනේ වේදනාවක් ද සතුටක් ද කියලා හිතා ගන්න මාලින්දට බැරි වුනා. මාලින්ද ඇස්කොනින් සමාධි දිහා බැලුවා. ඇය අද පැමිණියේ ඇගේ පෙම්වතාව මුණ ගැහෙන්න. වර්ණ..ප්‍රසිද්ධ චිත්‍ර හා මූර්ති ශිල්පියා. ඔහු ඇකඩමියට පැමිණි දිනවල ඇයට වෙන කටයුත්තක් නැහැ. ඔහු යන යන තැන පස්සෙන් යෑම හැර. ඒ දිනවල මිතුරු මිතුරියන් අතරේද ඇය හැසිරෙන්නේ වෑයමෙන් සඟවාගත් ආඩම්බරයක්ද ඇතිව. එක් අතකට වර්ණ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ පෙම්වතිය වෙන්න කවුද අකැමති. තමා තවමත් සමාධි ගැන මෙතරම් උනන්දුවීම ගැන මාලින්දට තිබුනේ තමන් ගැනම තරහක්. ඇය තමාගේ කවුද? ඇය තමාව ප්‍රතික්ෂේප කලා නොවේද? තමන්ට ඇය උරුම නැති බව දැන දැනම තමා තවමත් ඇය ගැන මෙතරම් වද වෙන්නේ ඇයි. අද ඇය හා මේ ගමන පැමිණීමම අනවශ්‍ය දෙයක් නොවේද? කමක් නැහැ. ආදරය කියන්නෙම පරිත්‍යාගයක්. මාලින්ද එහෙම හිතුවා.
"මාලින්ද...අපරාදෙ නේද අද ඔයාගෙ දවස...ඉන්න මම වර්ණ ආව හැටියෙම ඔයාව රිලීස් කරන්නම්.ඔයා මං නිසා කරදර වෙනවා ගොඩාක්."
සමාධි එහෙම කිව්වෙ ඇත්තටම තමා ගැන අනුකම්පාවෙන්ද නැත්නම් වර්ණව මුණගැසීමට ලැබෙන ප්‍රීතිය නිසාදැයි මාලින්දට හිතා ගන්න බැරිවුනා.
"නෑ කමක් නෑ. මම වර්ණ ආවම යන්නම්. දෙන්නට ඉතින් කතා කරන්න දේවල් නැතුවයැ."
සමාධි බිම බලාගෙන හිනා වුනා.
"ඉතින් දැන් කොයි කාලෙද වෙඩින් එක ගන්න ඉන්නෙ?".
මාලින්ද එහෙම ඇහැව්වෙ සිතේ මතුවෙමින් ආ වේදනාවක් යටපත්කරගැනීමේ අසීරු උත්සාහයක යෙදෙමින්.
“තවම තීරණයක් නැහැ මාලින්ද. දන්නවනෙ වර්ණ ගෙ හැටි. එයාගෙ මුලු ලෝකෙම චිත්‍රයි මූර්තියි. වෙන දෙයක් ගැන කතා කරන්න අල්ල ගන්න හරි අමාරුයි. ලෝකෙ ගැන එයාගෙ අදහස් හරිම වෙනස්.”
සමාධි කියවන්නෙ අර සඟවාගත්ත ආඩම්බරෙන් කියලයි මාලින්දට හිතුනේ. ඒකනෙ බිම බලාගෙන තනියම හිනාවෙන්නෙ.
“ආ අර එන්නෙ...ඇති යාන්තම්.”
සමාධි ඈත එන වර්ණ දිහා බලාගෙන කිව්වා.
අම්මෝ දැක්ක විතරයි ගෑනිගෙ මූණට ආපු එළිය. මාලින්දට සියුම් ඉරිසියාවක් ඇතිවුනා.
වර්ණ ළඟට එන්න කලින් සමාධි ඉදිරියට දුවගෙන ගියා.
මං මොකටද ඒ දෙන්නට බාධා කරන්නෙ. මාලින්ද බංකුවෙ වාඩිවෙලාම හිටියා.
ඒත් විටින් විට මාලින්ද වර්ණත් සමාධිත් කතා කරන දිහා බැලුවා. විනාඩි පහකින් විතර වර්ණ ආපහු හැරිලා ගොඩනැගිල්ල දිහාවට යනවා මාලින්ද දැක්කා. බිම බලාගෙන මැලවුනු මූණකින් සමාධි ආපහු මාලින්ද ඉඳ සිටි බංකුව වෙත ආව. හැබැයි ගියාට වඩා හරිම හිමින්. සමාධි ගේ ඇස්වල කඳුලු.
"ඇයි මුකුත් අවුලක් ද? මොකෝ අර හදිස්සියෙන් ආයෙත් දිව්වෙ?"
සමාධි මුකුත් නොකියා බංකුවේ වාඩි වුනා.
"ඇයි සමාධි මොකද්ද ප්‍රශ්නෙ? මට කියන්න සුදුසුනම් විතරක් කියන්න " .
මාලින්ද එහෙම කිව්වට සිදුවුනදේ දැන ගන්න ලොකු වුවමනාවක් නොතිබුනාම නෙමෙයි. සමාධි තව විනාඩි කිහිපයක් නිහඬවම හිටියා. ඒමුලු කාලෙම මාලින්දගේ ඇස් සමාධි ගේ ඇස් වෙත යොමුවී තිබුනා.
"එයාට අර ෆොරින් ආටිස්ට් ලා ලන්ච් වලට ඉන්වයිට් කලාලු. මාව එක්කගෙන යන එක හරි නැහැල්ලු. බලන්න මාලින්ද? මාස ගානකට පස්සෙ මට එයා මුණ ගැහුනේ. එදාටවත් එයාට මං වෙනුවෙන් වෙලාව නැහැ. එයා ඒ කට්ටියත් එක්ක ඩෙන්මාර්ක් යනවලු අනිද්දා.ඒකවත් මට කලින් කිව්වෙ නැහැ. එන්නෙ මාස 4කට පස්සෙලු. අනේ බලන්න මාලින්ද? මං.. මං අද ආවෙ එයා දවසම මා එක්ක ඉඳී කියල හිතාගෙන."
මාලින්ද මුකුත් නොකියා ඈත කඳු පංතිය දිහා බලාගෙන හිටියා. කඳු පංතිය, මාලින්ද සහ සමාධි අතර කාලය මිදිලා තිබුනා .
"සමාධි".
මාලින්ද බොහෝ වේලාවකට පසු නිහඬතාවය බින්දා.
"අපි යමු."
මාලින්ද බංකුවෙන් නැගිට්ටා.
සමාධිත් බිම බලාගෙන නැගිට්ටා.
"මාලින්ද"
“ ඇයි”
“ අර කඳු පංතිය...ඒක හරි ලස්සනයි නේද?”
මාලින්ද ජීවිතයේ පළමුවෙනිපාර ඒ කඳු පංතිය දිහා බලනවා වගේ බලාගෙන හිටියා. දැන් ඒමත හිරු රැස් වැටී ඇති විදිහ කලින් තිබුනාට වඩා ලස්සනයි කියා මාලින්දට හිතුනා.
"ඔව්. හරි ලස්සනයි. "

ඉතා හුරු පුරුදු ගීයක හඬ ඇහෙන්න පටන් ගත්ත නිසා මම මගේ මිතුරා නිදා සිටින ඇඳ දෙස බැලුවා. දැන් රෑ මැදියමටත් කිට්ටු ඇති. ගීය ඇහෙන්නෙ ඔහු ගේ ජංගම දුරකථනයෙන්.
මුලු ලොවම නිදි ගත් මොහොතක නිසා ඒ අයට බාධාවක් වේ යැයි සිතාගෙන වගේ මගේ මිතුරා හැකිතරම් හඬ අඩු කරගෙන ගීය අහනවා. ඔහුගේ දෙනෙත් ජනේලයෙන් එපිට අහසේ අනන්තයටම යොමු වී ඇතිබව මට අඩ අඳුරේම පේනවා. මේ ගීතය උඹේ හදවතේ පතුළම ස්පර්ෂ කරනවා ඇති. මේ වගේ ගීතයක් උඹේ ආත්මීය ගීතය බවට පත්වෙන බව ගැන නිනව්වක් වත් නැතිව ඇය හා ගෙවූ කාලය උඹට මතක් වෙනවා ඇති. ජීවිතය මහ පුදුමාකරයි තමයි. ළඟටම වෙලා හිටිය සිහින එක පාරටම ඈතට ගහගෙන යනවා. නුඹ වෙනුවෙන් මේ කවි පෙල ලියා තබන්නම්.
තාරුකා පිරීගිය මුත් මේ අහස් කුස
කෙතරම පාළුවක් දරන්නේදැයි
මුලු ලොවම නොදන්නා වුවද
මිතුර නුඹ එය දනියි
පැතුම් පිරී ඉතිරෙන ලොවට
බිඳුනු හදවතකින් සුභ පැතීමත්
අසීරුයි මිතුර
හදවත අන්තැනක තබා
දිවි ගෙවන්නා වාගෙයි
කැළඹුනු විල් දිය මත
සුපැහැදිලි රූ දකින්නට
නෙත් යුග උත්සුක වුවද
හදවත අකීකරු නොවෙද
දකිනා නිසාවෙනි මිතුර,සත්‍යය