Thursday, February 17, 2011

කඳු පංතිය


"සමාධි...තව වෙලා යයි ද? "

මාලින්ද ඇහැව්වෙ වර්ණ එන්න පොරොන්දු වෙච්ච වෙලාවට වඩා දැන් සෑහෙන්න පරක්කු වෙච්ච නිසා.

"ම්ම්..තව ටිකක් ඉමු. ෆොරිනස් ල වගයක් ආව කිව්වනෙ හදිස්සියෙම..".

සමාධි උත්තර දුන්නෙ එතරම් තැකීමක් නැතිව.

"හ්ම්ම්" .

"ෂහ්..මෙතනට මේ කඳු පංතිය පේන ලස්සන. ඊසල් එකත් තියාගෙන අඳින්න ඇත්නම්." මාලින්දට එහෙම හිතුනා.

"මාලින්ද අර කඳු ටික හරි ලස්සනයි නේද? බලන්නකො පර්ස්පෙක්ටිව් එක. නැචුරල් කලස්. අනේ..බලන්න." සමාධි එහෙම කිව්වෙ මාලින්දෙගෙ සිතුවිලි දැනගෙන වගෙයි.

මාලින්දට පුදුමත් හිතුනා."සමාධි මගේ හිත කියවනවද?" මාලින්දට හිනා ගියා.

ඇයි ඔයා හිනා වෙන්නෙ?” සමාධි ඇහැව්වෙ තරහින් වගේ.

"නෑ. මේ දැන් මම ඒගැන හිතුවා විතරයි. අ නදර් ටෙලිපති එක්ස්පීරියන්ස්"

"හම්".

ඒ හඬෙහි තිබුනේ වේදනාවක් ද සතුටක් ද කියලා හිතා ගන්න මාලින්දට බැරි වුනා. මාලින්ද ඇස්කොනින් සමාධි දිහා බැලුවා. ඇය අද පැමිණියේ ඇගේ පෙම්වතාව මුණ ගැහෙන්න. වර්ණ..ප්‍රසිද්ධ චිත්‍ර හා මූර්ති ශිල්පියා. ඔහු ඇකඩමියට පැමිණි දිනවල ඇයට වෙන කටයුත්තක් නැහැ. ඔහු යන යන තැන පස්සෙන් යෑම හැර. ඒ දිනවල මිතුරු මිතුරියන් අතරේද ඇය හැසිරෙන්නේ වෑයමෙන් සඟවාගත් ආඩම්බරයක්ද ඇතිව. එක් අතකට වර්ණ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ පෙම්වතිය වෙන්න කවුද අකැමති. තමා තවමත් සමාධි ගැන මෙතරම් උනන්දුවීම ගැන මාලින්දට තිබුනේ තමන් ගැනම තරහක්. ඇය තමාගේ කවුද? ඇය තමාව ප්‍රතික්ෂේප කලා නොවේද? තමන්ට ඇය උරුම නැති බව දැන දැනම තමා තවමත් ඇය ගැන මෙතරම් වද වෙන්නේ ඇයි. අද ඇය හා මේ ගමන පැමිණීමම අනවශ්‍ය දෙයක් නොවේද? කමක් නැහැ. ආදරය කියන්නෙම පරිත්‍යාගයක්. මාලින්ද එහෙම හිතුවා.

"මාලින්ද...අපරාදෙ නේද අද ඔයාගෙ දවස...ඉන්න මම වර්ණ ආව හැටියෙම ඔයාව රිලීස් කරන්නම්.ඔයා මං නිසා කරදර වෙනවා ගොඩාක්."

සමාධි එහෙම කිව්වෙ ඇත්තටම තමා ගැන අනුකම්පාවෙන්ද නැත්නම් වර්ණව මුණගැසීමට ලැබෙන ප්‍රීතිය නිසාදැයි මාලින්දට හිතා ගන්න බැරිවුනා.

"නෑ කමක් නෑ. මම වර්ණ ආවම යන්නම්. දෙන්නට ඉතින් කතා කරන්න දේවල් නැතුවයැ."

සමාධි බිම බලාගෙන හිනා වුනා.

"ඉතින් දැන් කොයි කාලෙද වෙඩින් එක ගන්න ඉන්නෙ?".

මාලින්ද එහෙම ඇහැව්වෙ සිතේ මතුවෙමින් ආ වේදනාවක් යටපත්කරගැනීමේ අසීරු උත්සාහයක යෙදෙමින්.

තවම තීරණයක් නැහැ මාලින්ද. දන්නවනෙ වර්ණ ගෙ හැටි. එයාගෙ මුලු ලෝකෙම චිත්‍රයි මූර්තියි. වෙන දෙයක් ගැන කතා කරන්න අල්ල ගන්න හරි අමාරුයි. ලෝකෙ ගැන එයාගෙ අදහස් හරිම වෙනස්.

සමාධි කියවන්නෙ අර සඟවාගත්ත ආඩම්බරෙන් කියලයි මාලින්දට හිතුනේ. ඒකනෙ බිම බලාගෙන තනියම හිනාවෙන්නෙ.

ආ අර එන්නෙ...ඇති යාන්තම්.

සමාධි ඈත එන වර්ණ දිහා බලාගෙන කිව්වා.

අම්මෝ දැක්ක විතරයි ගෑනිගෙ මූණට ආපු එළිය. මාලින්දට සියුම් ඉරිසියාවක් ඇතිවුනා.

වර්ණ ළඟට එන්න කලින් සමාධි ඉදිරියට දුවගෙන ගියා.

මං මොකටද ඒ දෙන්නට බාධා කරන්නෙ. මාලින්ද බංකුවෙ වාඩිවෙලාම හිටියා.

ඒත් විටින් විට මාලින්ද වර්ණත් සමාධිත් කතා කරන දිහා බැලුවා. විනාඩි පහකින් විතර වර්ණ ආපහු හැරිලා ගොඩනැගිල්ල දිහාවට යනවා මාලින්ද දැක්කා. බිම බලාගෙන මැලවුනු මූණකින් සමාධි ආපහු මාලින්ද ඉඳ සිටි බංකුව වෙත ආව. හැබැයි ගියාට වඩා හරිම හිමින්. සමාධි ගේ ඇස්වල කඳුලු.

"ඇයි මුකුත් අවුලක් ද? මොකෝ අර හදිස්සියෙන් ආයෙත් දිව්වෙ?"

සමාධි මුකුත් නොකියා බංකුවේ වාඩි වුනා.

"ඇයි සමාධි මොකද්ද ප්‍රශ්නෙ? මට කියන්න සුදුසුනම් විතරක් කියන්න " .

මාලින්ද එහෙම කිව්වට සිදුවුනදේ දැන ගන්න ලොකු වුවමනාවක් නොතිබුනාම නෙමෙයි. සමාධි තව විනාඩි කිහිපයක් නිහඬවම හිටියා. ඒමුලු කාලෙම මාලින්දගේ ඇස් සමාධි ගේ ඇස් වෙත යොමුවී තිබුනා.

"එයාට අර ෆොරින් ආටිස්ට් ලා ලන්ච් වලට ඉන්වයිට් කලාලු. මාව එක්කගෙන යන එක හරි නැහැල්ලු. බලන්න මාලින්ද? මාස ගානකට පස්සෙ මට එයා මුණ ගැහුනේ. එදාටවත් එයාට මං වෙනුවෙන් වෙලාව නැහැ. එයා ඒ කට්ටියත් එක්ක ඩෙන්මාර්ක් යනවලු අනිද්දා.ඒකවත් මට කලින් කිව්වෙ නැහැ. එන්නෙ මාස 4කට පස්සෙලු. අනේ බලන්න මාලින්ද? මං.. මං අද ආවෙ එයා දවසම මා එක්ක ඉඳී කියල හිතාගෙන."

මාලින්ද මුකුත් නොකියා ඈත කඳු පංතිය දිහා බලාගෙන හිටියා. කඳු පංතිය, මාලින්ද සහ සමාධි අතර කාලය මිදිලා තිබුනා .

"සමාධි".

මාලින්ද බොහෝ වේලාවකට පසු නිහඬතාවය බින්දා.

"අපි යමු."

මාලින්ද බංකුවෙන් නැගිට්ටා.

සමාධිත් බිම බලාගෙන නැගිට්ටා.

"මාලින්ද"

ඇයි

අර කඳු පංතිය...ඒක හරි ලස්සනයි නේද?”

මාලින්ද ජීවිතයේ පළමුවෙනිපාර ඒ කඳු පංතිය දිහා බලනවා වගේ බලාගෙන හිටියා. දැන් ඒමත හිරු රැස් වැටී ඇති විදිහ කලින් තිබුනාට වඩා ලස්සනයි කියා මාලින්දට හිතුනා.

"ඔව්. හරි ලස්සනයි. "

Tuesday, February 15, 2011

කැළඹුනු විල් දිය



ඉතා හුරු පුරුදු ගීයක හඬ ඇහෙන්න පටන් ගත්ත නිසා මම මගේ මිතුරා නිදා සිටින ඇඳ දෙස බැලුවා. දැන් රෑ මැදියමටත් කිට්ටු ඇති. ගීය ඇහෙන්නෙ ඔහු ගේ ජංගම දුරකථනයෙන්.

සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තනි වුන වසන්තයේ

මුලු ලොවම නිදි ගත් මොහොතක නිසා ඒ අයට බාධාවක් වේ යැයි සිතාගෙන වගේ මගේ මිතුරා හැකිතරම් හඬ අඩු කරගෙන ගීය අහනවා. ඔහුගේ දෙනෙත් ජනේලයෙන් එපිට අහසේ අනන්තයටම යොමු වී ඇතිබව මට අඩ අඳුරේම පේනවා. මේ ගීතය උඹේ හදවතේ පතුළම ස්පර්ෂ කරනවා ඇති. මේ වගේ ගීතයක් උඹේ ආත්මීය ගීතය බවට පත්වෙන බව ගැන නිනව්වක් වත් නැතිව ඇය හා ගෙවූ කාලය උඹට මතක් වෙනවා ඇති. ජීවිතය මහ පුදුමාකරයි තමයි. ළඟටම වෙලා හිටිය සිහින එක පාරටම ඈතට ගහගෙන යනවා. නුඹ වෙනුවෙන් මේ කවි පෙල ලියා තබන්නම්.

තාරුකා පිරීගිය මුත් මේ අහස් කුස
කෙතරම පාළුවක් දරන්නේදැයි
මුලු ලොවම නොදන්නා වුවද
මිතුර නුඹ එය දනියි

පැතුම් පිරී ඉතිරෙන ලොවට
බිඳුනු හදවතකින් සුභ පැතීමත්
අසීරුයි මිතුර
හදවත අන්තැනක තබා
දිවි ගෙවන්නා වාගෙයි

කැළඹුනු විල් දිය මත
සුපැහැදිලි රූ දකින්නට
නෙත් යුග උත්සුක වුවද
හදවත අකීකරු නොවෙද
දකිනා නිසාවෙනි මිතුර,සත්‍යය


Sunday, January 30, 2011

Thursday, January 27, 2011

අරුංගල්




දුවේ ඔය අරුංගල්
නුඹේ දෙසවන් හැඩ කරන
ඔවැනිම තවත් දෙසවනක
රැඳී හැඩ කල බව කීවාද

බොහෝ කොට වෙහෙසවී
එකතුකර මුදලක්
මුදලාලිගෙනුයි ගත්තේ
කඩේට වඩා අඩුවෙන්

කැඩපත ඉදිරිපිට
සිනාපිරි මුහුණින්
අරුංගල් හැඩ බලන්නී
කැඩපතද සතුටිනි

පෙර පුරුද්දට තවමත්
පාළු කන්පෙති අතගාන
නුඹවැනිම සියුමැලි වතක් ගැන
දුවේ ඔය කැඩපත කියාවිද නුඹට

Monday, January 24, 2011

ජීවිතය ඔහේ ගලාගෙන යනවද? නැත්නම් හිතාමතා යාත්‍රා කරනවද?



ජීවිතය ඔහේ ගලාගෙන යනවද? නැත්නම් හිතාමතා යාත්‍රා කරනවද? ඉස්සරම කාලෙ දවසක (ඒ ලෙවල් කාලේ) මගේ යාළුවෙක් මට කිව්වා "ජීවිතේට ඔහේ යන්න දීපං බං" කියලා. ඒත් මට ඒක කරන්න හිතුනෙ නෑ. මොන පිස්සු වැඩක්ද? ඔහේ යන්න ඉඩ දෙන එක. මොනතරම් භයානකද? හොඳයි. නැවක කප්පිත්තෙකුට පුලුවන්ද නැවට ඔහේ යන්න ඉඩ දෙන්න. ගල් පර්වත වල හැපිලා සුණු විසුණු වෙන්න හරි එහෙම නැත්නම් කුණාටුවකට හසුවෙලා විනාශ වෙන්න ඉඩ දෙන්න. එයාට වගකීමක් නැද්ද නැව ගැන, අනෙක් නාවිකයො ගැන. මට හැමදාම ජීවිතේ ගැන හිතුනෙ ඔහොම. හැම තිස්සෙම මේක එහෙට මෙහෙට හරව හරව කුණාටුවලින් බේරෙන්නයි ගල් පර්වත වලින් බේරෙන්නයි ලොකු සටනක් ගෙනියනවා. කවදාවත් ඔහේ යන්න අරින්න හිතුනෙ නෑ. වෙලාවකට හරි වෙහෙසයි.

හැබැයි මෙහෙම දෙයකුත් නොහිතෙනවා නොවෙයි. කොච්චර දැඟලුවත් අපිට ඕනෙ අතටම නෙමෙයි මේක යන්නෙ. හිටිගමන් කුණාටුවලට හසුවෙලා ඉරිතලලා පුපුරලා යන වෙලාවලුත් තියෙනවා. ආයෙත් ලෑලි කෑල්ලක් හරි අල්ලගෙන පීනනවා. ගිලුනු උන් ගැන දුක්වෙනවා. හැබැයි ආයෙත් නැවක් හදාගෙන යාත්‍රා කරනවා. දිගින් දිගටම.


අපේ ආච්චිගේ මරණය සිදු වුනේ ගිය අවුරුද්දෙ. මිනී වල කපන තැනට මමත් ගියා. පාර දෙපැත්ත සරසන්න තව වල කපන තැන අඩු වැඩිය බලන්න ඔය කොඉ දේටත් දායක වුනා. මම කනත්ත පුරා ඔහේ ඇවිද්දා. හමුවෙන හැම සොහොන් කොතකම තිබුනු සටහන් කියෙව්වා. පින්තූර බැලුවා. ඒ අයත් කවදා හෝ දවසක ඉපදිලා මම වගේම ජීවිත නැව් පදවපු අය. දැන් නැව් අත් හැරලා.කවදා හරි මමත් මෙතනටම එනවා නේද? කියන සිතුවිල්ල ඇති නොවුනා නෙමෙයි. ඒක තමයි යථාර්තය. මරණානුස්සතිය වඩන්න ඒක හොඳ නිමිත්තක්.



මට හිටිගමන් හමුවෙලා තියෙනවා ජීවත් වීම අතහැරල දාපු මිනිස්සු. කොහේ යනවද මොනව කරනවද දන්නෙ නෑ. ඔහේ යනවා. මම දකින්නෙ ඒ අය ජීවත් වෙන අයට වඩා පවතින වස්තූන් හැටියට (ඔතන වස්තුව කිව්වෙ වටිනා කියන අර්ථයෙන් හෙම නොවෙයී ). පෞද්ගලිකව මම එහෙම මිනිසුන්ට කැමති නැහැ. මහපොළොව එක්ක ඔට්ටුවෙන ආබාධිත මිනිසුන්ව පවා මම දැකල තියෙනවා. එහෙම මිනිස්සු ඉදිරියෙ අර වගේ උන් මිනිස්සුද කියලත් මට හිතෙනවා. හැබැයි එකදෙයක් කිවයුතුයි. පවතින දේශපාලනික සමාජීය වටපිටාවත් සමහර වෙලාවට මිනිස්සුන්ව අඩපණ කරල දාන වෙලාවල් තියෙනවා. හැබැයි අර කම්මැලි අපතයන්ට නම් ඒක ගැලවීමට උත්තරයක් නෙමෙයි.

සමහර අයට ජීවත්වෙන්න ධෛර්ය දෙන්නෙ ආදරය. මගේ යාළුවෙක් හිටියා. හොඳට ඉගෙන ගත්තු. හොඳ රස්සාවක් කරන. නමුත් ඔහේ පාවෙන ජීවිතයක්. මිනිහට හිටිගමන් ආදරය කරන්න කෙල්ලෙක් හමුවුනා. එයාට ගෙදරින් හෝ ගාල ප්‍රශ්න තියෙන කෙනෙක්. මමත් මුලින් හිතුවෙ මගේ යාළුවා වැඩේ අතහැරල දායි කියල. ඒත් එහෙම උනේ නෑ. මිනිහා හෙන ධෛර්යයෙන් සියලු බාධක ජය ගනිනි
මින් දැන් රජ ගමනේ. මිනිහා හරිම නිහඬ සංසුන් කෙනෙක්.හැබැයි ඒ නිහඬ බව ඇතුලේ මහා ශක්තියක් ගැබ්වෙලා තියෙනවා කියල මට හිතෙනව.


කොහොම වුනත් මගේ අදහස තම තමන් හඳුනා ගත් සලකුණු ඔස්සේ ජීවිත නැව පදවන්න වීරිය කරන එක තමයි නුවණට හුරු. ඒක තමන්ට වගේම සමාජයටත් යහපත් අරමුණු වෙත ළඟා කරගන්න තමයි උත්සාහ කල යුත්තේ. ඔහේ අත්හැර දැමීම මිනිසත් කමට කරන ලොකු අපරාදයක් කියලයි මට හිතෙන්නේ.

Wednesday, December 22, 2010

මරණය

බොහෝ දේ සිතමින්
බොහෝ දේ කියමින්
ඔබ සමඟ මේ මග
ඇවිද ගියවුන්
ඔබ නොමැතිව
තවමත් ඇවිද යති
බොහෝ දේ සිතමින්
බොහෝ දේ කියමින්

Sunday, December 5, 2010

මගේ රන් රෝස

එන්න
ඇවිදින් රැගෙන යන්න
කාලාන්තරයක් මුළුල්ලේ
බිඳෙන් බිඳ රන් සුණු එකතු කර
ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල
මා මියෙන තුරු නොසිට
ඇවිදින් රැගෙන යන්න

හමුනොවුනා නම් ඈ යළිත්
හුදෙකලාවේ පාළම මත
ගං පතුලේ සැඟව ගිය
මතකය යළි අවදි නොකරම

ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල
පුංචි පොහොට්ටුවක් ද සමඟින්
රන් සුණු කොටසකින් නොව
ජීවිතයම වැය කර

රන් රෝස මලකට නොහැකිය කිසි දිනෙක
හදවතක උපදවන්නට ආදරය
එහිම උපදින ආදරයෙන්
රන් රෝස මල් තැනෙනු මිස

2010.12.06