Friday, February 25, 2022

දිවි මකුළු විෂ

 

"සිසිල"  මංගල කලාපයේ පලවූ කෙටි කතාව. (2021 සැප්තැම්බර් )

අනුෂ්ක තිලකරත්න


"අත්තම්මේ, මේං බූල් තියෙන ලොකු මකුළුවෙක්, මේ" මම උළුවස්සේ සිටි අත්භූත භයානක පෙනුමැති සත්වයා පෙන්වමින් කෑ ගැසුවෙමි.

අත්තම්මා කොස්සත් රැගෙන දුව ආවේ මගේ බිය මුසු සතුට දෙගුණ තෙගුණ කරමිනි.

"කෝ බලන්න, හානේ දිවි මකුළුවෙක්, එහාට වෙන්න."

"දිවි මකුළුවෙක්!" මා ඒ නම ඇසුවේ ප්‍රථම වතාවට ය.

අත්තම්මා අත තිබූ කොස්සෙන් උළුවස්සට ඇන්නේ දිවි මකුළුවාට නොවදින්නට ය. පහරේ කම්පනයට ඌ බිමට පැන ඉන්පසු මිදුලේ උඳුපියලිය ගාල වෙත දිව ගියේ ය.

මම දිවි මකුළුවා පස්සේ දිව්වෙමි. මට ඌ හොඳින් බලා ගැනීමට වුවමනා විය.

"හා, හා, ඔයා යන්නෙ නෑ!" අත්තම්මා කෑ ගැසුවා ය.

-----------------------------------------------------------------------------------

"බලනව අයිසෙ, මොනාද තමුසෙ මේ කරල තියෙන්නෙ? දැන් මේ කීවෙනි පාරටද මේ රිපොර්ට් එක හැදුවෙ? ආය් වැරදියි. තමුසෙ සිහියෙන් නෙමෙයිද වැඩ කරන්නෙ? කී පාරක් කියන්නද?" ආයතන ප්‍රධානියාගේ ගෝරනාඩුව කාමරය තුළ දෝංකාර දෙයි.

"ස්ස්සොරි සර් මම ඒක ෆික්ස් කරන්නම් ඉක්මනට" මම අමාරුවෙන් වචන ගලපා කියා ගතිමි.

ප්‍රධානියා ඉවත්ව ගියේය. මම ආයෙත් ඉතා අවධානයෙන් පරිගණක තිරය කියවීමි.හදිසියේම මගේ එක් සපත්තුවක් තුළ යම් වෙනසක් දැනෙන්නට විය. මම වහාම සපත්තුව ගලවා දැමුවෙමි.

"මේ දිවි මකුළුවා නේද?" කලු පාට අඬු පඬු දිග හරිමින් මගේ සපත්තුවෙන් එළියට ආ දිවි මකුළුවා වේගයෙන් ගොස් වෙනත් මේසයක් යටට රිංගා ගත්තේ ය.

ඌ මට දෂ්ට කළා වත්ද? කොහෙද ඌ හැංගුණේ? වෙන කාට හරි දෂ්ට කරාවිද? මට දැනුණේ භයක් ද නැත්නම් ගුප්ත සතුටක් ද යන්න මට නොතේරේ. ඒ අර අත්තම්මලගේ ගෙදර සිටි දිවිමකුළුවා ම ය.

--------------------------------------------------------------------------------

"අත්තම්මේ, මට නිදා ගන්න බෑ නෙ. අර හරක කෑ ගහනවා!"

ඇත්තටම හරකාගේ කෑ ගැසීමෙන් මට හානියක් නැතත් නිදා ගැනීමෙන් ගැලවීමට ඇති එකම විසඳුම මෙලෙස එක එක පැමිණිලි කිරීම බව මම අත්දැකීමෙන් දනිමි.

ඉන්පසු අත්තම්මා මාවත් එක්කගෙන කොහේදෝ යාමට එළියට බැස්සා ය. අත්තම්මා යන්නේ රාළහාමිලාගේ ගෙදරට ය. හරකා රාළහාමිලාගේ ය.

දැන් අත්තම්මා රාළහාමිට දොස් කියනු ඇත. ඉන්පසු රාළහාමි සහ අත්තම්මා රණ්ඩුවුණොත්? කොහොම තියෙයිද? මේ මගේ සිතුවිලි ය.

මගේ වයසේ පොඩි එකෙකුට වැඩිහිටියන්ගේ පුංචි පහේ රණ්ඩුවක ද තිබුණේ එක්තරා විනෝදයකි.

-------------------------------------------------------------

"මට දැන් තමුසෙට කියවලම ඇති වෙලා තියෙන්නෙ! මොනාද හලෝ මේ කරල තියෙන්නෙ? මේ මම එකක් කියන්නම්. මෙතන පිළිවෙළට වැඩ කරන්න බැරි නම් යනව වෙන කොහේ හරි!"

ප්‍රධානියා එක දිගට මට බැණ වදී. මම අමාරුවෙන් වචන බලපා ගැනීමට උත්සාහ කරමි. හදිසියේම ජනේලයෙන් යම් චලනය වන ඡායාවක් දිස්වෙයි.

මේ දිවි මකුළුවා නේද? අම්මෝ දැන් උගේ ලොකු! පාපන්දුවක් තරමට විශාල වී සිටින දිවි මකුළුවා පැද්දෙමින් උත්සාහ කරන්නේ ප්‍රධානියා වෙතට කඩා පනින්න නේද? අපොයි, ඌ මේ මනුස්සට දෂ්ට කරයි ද? අන්න ඌ පැන්න.

"සර්, සර්, ඔන්න, ඔන්න" මම කෑ ගසමින් ආයතන ප්‍රධානියා ඉවතට තල්ලු කර දැම්මෙමි. ඒ ඔහුව දිවි මකුළුවාගෙන් බේරා ගැනීමට ය.

-----------------------------------------------------------------

"මට ඔයාගෙ තත්වය තේරෙනවා. ඒත් මේ වගේ කන්ඩිෂන් එකක් තියාගෙන මේ ආයතනයෙ වගකිවයුතු රාජකාරියක් කරන්න බෑ කියන එක තේරුම් ගන්න. මම නිවාඩු අනුමත කරල දෙන්නම්. ට්‍රීට්මන්ට් කරල ගොඩ දාගන්න බලමු. අපරාදෙනෙ නැත්තං. හොඳයි, අර පහරදීමට තැත් කිරීම එහෙම දෙයක් නෙමෙයි කලබලය නිසා අසිහියෙන් සිදු වූ දෙයක් කියල මම භාර ගන්නම්. මට ඇත්තටම තේරුම් ගන්න බෑ මෙහෙම මේ මනුස්සය වෙනස් උණේ ඇයි කියන එක! එහෙනම් දැන් ඔයා හොස්පිටල් එකට යන්න හස්බන්ඩ්ව බලන්න. හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ මනුස්සයෙක් මෙයා. හොඳයි බලමු."

මගේ බිරිඳ රෝහලට පැමිණීමට පෙර මගේ සේවා ආයතනයට ගොස් ප්‍රධානියාව මුණගැසී ඇත.

---------------------------------------------------------------------------------------

මම ලොකු මාමාත් සමග කඩේ යාමට සූදානම් වෙමි. ඒ ගමනට මම බොහෝ කැමති වෙමි. එක අතකින් එය කොහේ හෝ ඇවිදීමට ලැබෙන අවස්ථාවකි. අනෙක, මාමා කෙනෙක් සමග කඩේ ගියොත් ටොපියක් සීනි බෝලයක් අනිවාර්යයෙන් ම ලැබේ. ගුරුපාර දිගේ සැලකිය යුතු දුරක් ගිය විට කඩය තිබේ. ගුරුපාරදිගේ යන ගමනට මම බොහොම ප්‍රිය කරමි. පාර දෙපස කුඩා කුරුඳු ගස්, දං ගස් සහ බෝවිටියා ගස් ඇත. දං ගෙඩි නම් කිසිදු දිනක මගෙන් සැඟවෙන්නට අපොහොසත් ය.

එය ප්‍රමාණයෙන් කුඩා කඩයකි. කඩේ සිටින්නේ මැදි වයසේ කාන්තාවක් සහ පිරිමි ළමයෙකි. ඒ ළමයා මට වඩා තරමක් වැඩිමහල් ඇති. පාසැල් යා යුතු මේ ළමයා මේ කඩේ මොනා කරනවා ද? ආපහු යන ගමන් ලොකු මාමා ගෙන් අහල දැන ගන්න ඕනෙ. හදිසියේ ම පිරිමි ළමයා කිරමින් සිටි හාල් ටික තරාදියෙන් බිම හැළුණි. “අය්යෝ, ඔන්න කළා වැඩක් ඉතින්” අර කාන්තාව කීවාය. ඒ කාන්තාව ළමයාට ගහයි ද? අර නාට්ටිවල වගේ? නමුත් ඇය සිනාසෙමින් හාල් ඇහිඳීමට සහාය වූ නිසා මම සතුටු වීමි. ළමයා ගුටි කෑවේ නැහැනෙ? ටොපියක් සීනිබෝලයක් වෙනුවට මට ලැබුණේ චොකලට් බිස්කට් එකකි. යළි ගෙදර එන්නේ ද අර චමත්කාරජනක වටපිටාව මැදිනි .

අද ද ඇස් පියාගත් විට මට ඒ මාවතේ යළි ඇවිද යා හැකි ය. බෝවිටියා, කුරුඳු, දං ගස් වගේම රබර් වතු අසලින් යන විට දැනෙන සුවඳ ද විඳිය හැකි ය.

-----------------------------------------------------------------------------------

රෝහල් කාර්ය මණ්ඩලය මට ඉතා කාරුණික ව සලකති. මට ලබා දී ඇති ඇඳේ හාන්සි වී මම ඉතා සැහැල්ලුවෙන් සිවිලිම දෙස බලා සිටිමි.

හදිසියේම මගේ ඇඳේ වම් පැත්තෙන් මවිල් පිරි දිගු පාද හතරක් මතු විය. ඉන්පසු පාපන්දු බෝලයක් තරම් වූ උගේ ගෝලාකාර කඳ ද ක්‍රමක්‍රමයෙන් ඉතිරි පාද ද මතු විය. ඒ මගේ දිවි මකුළුවා ය. බිය වීමට අවශ්‍යය වුවද මට බිය විය නොහැකි විය. උගේත් මගේත් වූයේ මිත්‍රත්වයකි. ඌ මගේ ළමා කල මිතුරෙකි. ඇතැම්විට මගේ සමස්ත ජීවිතයම කියවාගත් මගේ ආත්මය හොඳින් ම තේරුම් ගත් මේ මිහිමත සිටින එකම ජීවියා විය හැකිය. ඉතින් ඌට මම බිය නොවෙමි. දැන් මම ඌට ආදරය කරමි. ඉතින් ඌ මට දෂ්ට කරපුවාවෙ. ඔව්. උගේ විෂ මේ දැනුදු මගේ ශරීරයට ඇතුළුවෙනු දැනේ. මගේ වම් බාහුවේ වැලිමිටට ආසන්න තැනකින් ඌ උගේ විෂ මට ඇතුල්කර ඇත. ඒ විෂ මගේ නහර වැල් දිගේ මගේ ශරීරය පුරා පැතිරෙනු දැනේ. එනමුදු මම බිය නොවෙමි.

දැන් ඇඳිරි වැටීගෙන එයි. තව මොහොතකින් අත්තම්මලාගේ ගෙදර පහන් දැල්වෙනු ඇත. මම ඒ නිවසේ වැට අසලට වී නිවස දෙස බලා සිටිමි. නිවස දෙසින් මාමලාගේ හා පුංචි අම්මලාගේ සිනා හඬ ඇසේ. වැට අසල ඇති ගාර්ඩීනියා ගසේ මල් වලින් මා කවදත් ප්‍රිය කරන ඒ ගුප්ත වූ සුගන්ධය හමා එයි.

ඒ මා ප්‍රිය කරන ජීවිතයයි. මට අවශ්‍ය ඕනෑම මොහොතක එම අතීත ලෝකයේ අතරමං විය හැකි ය.

ඉතින් කවර නම් ඖෂධයකට මා ගලවා ගත හැකිද? ඒසේ ගලවා ගැනීමට සැබැවින්ම අවශ්‍යද? දිවි මකුළුවා ඌට ඕනෑම මොහොතක මා වෙත පැමිණ මා සමග එම චමත්කාර ජනක ජීවිතය ගත කරනු ඇත. ඌ නවතාලීමට කිසිවෙකුටහෝ හැකිවේයැයි මම නොසිතමි.

අනුෂ්ක තිලකරත්න