Monday, December 13, 2021

හිස් අහස


"මෝයා..මෝයා..දැන්වත් මේ දොර ඇරපං ළමයො......එළියට වරෙන්කො....කී දවසක් ද දැන් ඔහොම.....නොකා නොබී ..කවද වෙනකන් ඔහොම ඉන්නද? හාමතේ නහින්න හදන්නෙ..මහා බලසම්පන්න දෙවියන්ගෙ අණ නෙ බං..අපියි කියල මක්ක කොරන්නද? "

අකාටි මැහැල්ල ගේ කට හඬ මෝයාගෙ පැල්පත ඉදිරියෙන් ඇසෙන්නේ දැන් විසි වෙනි නැත්නම් තිස්වෙනි පාරට විය යුතුය.

 මෝයාගේ දෙනෙත ජනේලයෙන් එපිට වූ අහස වෙත යොමු වී තිබේ. ඒ හිස් අහසකි. කුරුල්ලෙක් වත් පියාඹන්නෙ නැතුවද අහසෙ? රාජාලියෙක් වත්? ඉස්සර කොයෝටේ කොච්චර ආසද රාජාලියො බලන්න....

"අම්මේ..රාජාලියාට වඩා ඉහලින් පියාඹන කිසිම කුරුල්ලෙක් නෑ නේද? එයා නේද තේජවන්තම...."....කොයෝටේ ,මෝයා ගෙන් ඉස්සර නිතරම අහන් දෙයක්.

කොයෝටේ කුඩා කල සිටම ගෝත්‍රෙයේ අනෙක් සම වයස් දරුවන්ට වඩා වෙනස් ගති ගුන ඇත්තෙක් විය. ඔහු නිතර කල්පනා කරයි. වැස්ස ඇතිවෙන්නෙ කොහොමද? ඇතැම්විට අහසේ පුරා ඇඳෙන දීප්තිමත් ක්ෂණික ආලෝකයන් මොනවාද? කොයෝටේ මේ ගැටලු තම මවගෙනුත් ගමේ ඇතැම් වැඩි හිටියන් ගෙනුත් අසා දැන ගැනීමට මහත් උනන්දුවක් දැක්වීය. මහ පොළව පාලනය කරන දෙවියන්, අහසේ බලය පතුරවන දෙවියන්, එලිය අඳුර පාලනය කරන දෙවියන් ව්ගේම ලෙඩ රෝග සාදන ලෙඩ රෝග සුව කරන සුවහසක් වූ මහා බලසම්පන්න දෙවිවරුන් ගැන කොයෝටේ දැන ගත්තේ ගමේ ප්‍රධාන පූජක තැන ගෙනි. තමා මෙම සියලු දෙවි වරුන්ගේ එකම නියෝජිතයා ලෙස තමාම හඳුන්වා ගන්නා ප්‍රධාන පූජකතැන  ගෝත්‍ර නායකයාටත් වඩා මහා බලසම්පන්න අයෙකු විය. ඔහුගේ අණට කවුරුත් අවනත විය.

"ශ්‍රේෂ්ඨ ටොනාටිඋ (හිරු දෙවි ) ගේ බලයෙන් අප සැමගේ කටයුතු සාර්ථක වේවා..." යැයි ප්‍රධාන පූජක තැන යාතිකා කරමින් සිටි තැනට ගිය කොයෝටේ මෙසේ ඇසුවේය.
 "ස්වාමීනී.. ටොනාටිඋ ට එච්චර බලයක් කොහින්ද?"... .
කොයෝටේ දෙස රවා බැලූ ප්‍රධාන පූජක තැන...
" මෙතන දේව උදහසට ලක් නොවී දුවපන්"...යැයි ගුගුලේය.

"ස්වාමීනී..ගින්නෙන් රස්නය ලැබෙනවා නෙ. අන්න එහෙම ගිනි ගන්න තැනක් විතරක් වෙන්න බැරිද ඔය ?"
"ටොනාටිඋ....දෙවියෙක් නෙමෙයි..නිකන්ම්ම ගිනි ගොඩක්!"..

ප්‍රධාන පූජක තැන කෝපයෙන් වෙව්ලා ගියේය. "අහෝ...ශ්‍රේෂ්ඨ ටොනාටිඋ දෙවියනි...මේ සාපලත් දරුවාගෙන් අප ගලවා ගන්න. අපිට දඬුවම් කරන්න එපා..අපිට සමා වන්න..අහෝ".... හිරු දෙසට දෑත් දිගු කරමින් කන්නලව් කල ප්‍රධාන පූජක තැන වහාම ගෝත්‍ර නායකයා හමු වීමට දිව ගියේය.

  හැන්දෑවේ ගම මැද විශේෂ රැස්වීමකි. ප්‍රධාන පූජක තැන වගේම ගෝත්‍ර නායකයාත් කෝපයෙන් දැවෙමින් උන්හ.
"මෝයා..උඹේ මේ නැහැදිච්ච කොල්ලා අපිව විනාස කරන්නද යන්නෙ...හිරු දෙවියන්ට අපහාස කරල මුලුගමටම සාප කරගන්නද හදන්නෙ....මොකද්ද මේකෙ තේරුම....? මූට වසක් විසක් කැවිලද? වහාම පූජක තැන ඉදිරියේ දණින් වැටිලා සමාව ගනින්...." ගෝත්‍ර නායකයා ගුගුලේය.

බියෙන් වෙව්ලා ගිය මෝයා ගෝත්‍ර නායකයා ඉදිරියේ දණින් වැටුනාය..."නායක තුමනි..මේ නොදරුවාට සමා වෙන්න..තරමක් මුරණ්ඩුයි..මම හදා ගන්නම්..අනේ යුද්ධෙන් මිය ගිය දරුවාගේ පියාගේ නාමයෙන් ඔහුට සමාව දෙන්න..අනේ ස්වාමීනී..."

"ටොනාටියු..මේකට දඬුවම් දෙනවා..දෙනවාමයි....පුහ්..ගිනි බෝලයක් ලු..අපේ ශ්‍රේෂ්ඨ දෙවිඳුන්....බලමුකො...." ප්‍රධාන පූජක තැන දොඩවමින් දෙවොල දෙසට ගියේය.අනෙකුත් ගම් වැසියෝ බියෙන් සැකෙන් කසු කුසු ගාමින් වහ වහා විසිර ගියහ. ඒ එක සිද්ධියක් පමණි.

ඇයි තව දිනක !....ඒ ටියලොක්...(වැහි දෙවිඳුන්) ගේ දිනය විය. ප්‍රධාන පූජක තැන මහ හඬින් යාතිකා කරමින් නිසි කලට වැසි ලබා දෙන ලෙස ටියලොක් දෙවියන් ගෙන් ඉල්ලා සිටියේය.  යාතිකාව අවසානයේ සුපුරුදු පරිදි ප්‍රධාන පූජක තැන ආවේශ වී සිහිසුන්ව වැටුනේය. ගෝත්‍රික මිනිසුන් ටියලොක් ගේ ආශීර්වාදය තමුන්ට මෙවරත් ලැබෙන බව දැනගෙන සතුටින් විසිර ගියහ. බිම වැටී සිටි පූජකයා අසල ඔහුගේ සහායක දරුවන් කිහිපදෙනෙක් ද විය. එතනට ගිය කොයෝටේ..."අපරාදෙනෙ  ඔච්චර මහන්සි වෙන්නෙ..අහසෙ වලාකුලු තෙරපෙනවෙලාවට කොහොමත් අපිට වැස්ස ලැබෙනවා ...." යැයි අනෙක් දරුවන්ට පවසා සිටියේය. සිහිසුන්ව සිටි පූජකයා හොරෙන් එක් ඇසක් ඇර බැලීය... "

".මේ අර කොල්ල නේද?" ටියලොක් දඬුවම් කරනවා කරනවාමයි..මූට.."   දත්මිටිකමින් තමාටම
පවසා ගත් ප්‍රධාන පූජක තැන තවත් බොහෝ වේලාවක් සිහි මුර්ජාවී පසුවීය.

ඉතින් ඔහොම සිද්ධි තව කොච්චර නම් සිදු වුනාද?
 
ගමට මහා නරක කාලයක් උදා විය. එක දිගට වැස්ස නොමැතිව මහා දිග කාලයක් ගතවිය. ඒ මදිවාට වසංගතයක්ද ආරම්භ විය.

"අනේ ශ්‍රේෂ්ඨ වූ දෙවියනි ..අනුකම්පා කරන්න....මේ නොදරුවෙක් නේද? උන්ගෙ පියාත් යුද්ධයෙන් මැරුණා....අනේ අනුකම්පා කරන්න....." මෝයා ප්‍රධාන පූජක තැන සහ ගෝත්‍ර නායක ඉදිරියේ මහ හඬින් කන්නලව් කලාය.

"ඔව් මට මතකයි  ඔහු රණ ශූරයෙක්.....පේන්නෙ නැත්ද මේ සාප ලත් කොල්ලා උගේ පියාටත් අවනම්බුවක්....." ගෝත්‍ර නායකයා ස්ථිර හඬින් කියා සිටියේය.

"මෝයා....ශ්‍රේෂ්ඨ වූ ටොනාටියු වගේම ටියලොක් දෙවියොත් මට සිහිනයෙන් පෙනී අණ කලා..පේන්නෙ නැත්ද? දැනටමත් උන් වහන්සේලා උදහස් වෙලා..මේ මුළු ගමම දැවිලා යාවි..අපි ඔක්කොම සාගතයෙන් මැරේවි...ඒ සේරම මේ කොල්ලා
නිසා....දෙවියන්ගේ අණ කඩ කරන්නට බැහැ.....තීන්දුයි ඉස්තිරයි..මේක දෙවියන්ගේ අණ"
...." ප්‍රධාන පූජක තැන ගාම්භීර හඬකින් කියා සිටියේය.

"මෝයා...අපිට බෑ මැරෙන්න උඹේ මේ කොල්ල නිසා.....එකෙක් නිසා මුළු ගමම විනාස වෙන්න දෙන්න පුලුවන්ද? මෙහෙමත් සාපයක්....දෙවියන්ගේ තීරණය බාරගනින්. "  ගම්මුද එක හඬින් කියා සිටියහ.

ඉතින් දෙවියන්ගේ අණ ඉටු කිරීමටම සිදු විය.

එදා...හුඟ කාලෙකට පස්සෙ අහස කලු වලාකුලු එක් රැස් වෙමින් තිබුනි. ඈතින් අකුණු පුපුරණ හඬ ඇසෙන්නට විය. ගම්මු බියෙන් තැතිගත් මුහුණු වලින් යුක්තව ලහි ලහියේ වධක භූමියේ සිට ආපසු සිය නිවෙස් බලා යමින් සිටියෝය.

මෝයා පමණක් නිසොල්මන්ව බිම වාඩිවී සිටියාය. ඇගේ දෙනෙත එල්ල වී තිබුනේ තරමක් ඈත බිම ඇඳ තිබූ සුදු පැහැති කවයක් වෙතය. ඒ කවය තුළ රක්තවර්ණ රුධිරයෙන් පෙඟී නිසොල්මන්ව ඇති හිස සුන් වූ ප්‍රමාණයෙන් කුඩා කවන්ධයට තමාගේ ඇති ආත්මීය ප්‍රේමයෙහි සුවඳ යළි යළිත් විඳ ගන්නට ඇය උත්සාහ කලාය.

බිහිවූ දා පටන් ඇගේ ජීවිතය නම් තටාකය පිරවූ දිය දහරාවන් එක්වරම සිඳී ගියාක් වැන්න. එය සිදුවූ ඉක්මන!. සැබැවින්ම එය දෙවියන්ගේ ක්‍රියාවක් නොවන්නේද?

"දෙවියනි..දෙවියනි.......ඒ මගේ කොයෝටේ.." ඇගේ මුවින් පිටතට ඇසෙන්නට පිටවූ අවසාන වචන ස්වල්පය ඒ විය.

 කුටියේ ජනේලයෙන් අද   ඇය දකින්නේ  හරිම නිස්කලංක අහසක් නොවේද? ඒ නිස්කලංක බව  ලැබී තියෙන්නෙ හිස් බවකින්. ඒ කියන්නෙ ඒ ඇත්තටම හිස් අහසක්.


අනුෂ්ක තිලකරත්න
29/10/2021

4 comments:

දේශකයා said...

ඒ දවස් වල මේ වගේ කතා පෙරල පෙරල හරව හරවා බලලා තේරුම් ගත්තා. කාලයේ වෙනස කියවන්නත් කම්මලි වෙලා. එබගේ උත්සාහය සාර්ථක වේවා

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchi said...

අහෝ මෙවැනි දේශකයින්!!!
මං නං මේ කතාව තුන් හතරවරක් කියෙව්වා.

නමියගේ වීදිය said...

දේශකයො, පූජකයො නිසා වරිගෙ රැකුන වගේම නැහුන වෙලාවලුත් බොහොමයි. අපූරු ලියමනක්

sandhakadapahana said...

අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!