Friday, February 7, 2020

සුන්දරම මතකය



අයිසෙ බලනවා..මගෙ මේ අත කෙලින් බලනවා..මොකද්ද පේන්නෙ!.. මන්දිරය..මොන මන්දිරයද..විලියම්ස් මන්දිරය...බාගෙට ගරා වැටිච්ච විලියම්ස් මන්දිරය...තමුසෙට කියන්න මට නියම කතාවක් තියෙනව...අහගන්නවකො.. මේක සිද්ධවුනේ ඔය මන්දිරේ මුලයිතිකාරය ටෙඩ් විලියම්ස්ගෙ කාලෙ..මට එතකොට අවුරුදු දහයක් දොළහක් ඇති.. මතකනෙ ටෙඩ් විලියම්ස් ?..ලෝකප්‍රකට බේස්බෝල් කාරය..ඔය ඉතින් තියෙන්නෙ එයාගෙ මන්දිරය...

අපිට ටෙඩ් විලියම්ස්ව මතකනෑ.. හැබැයි එයාගෙ පුතා ඔය දැන් බංකොලොත් වෙලා ඉන්න විලියම්ස් ජුනියර්ව නම් දන්නව..අපිට ඔහේතරම් වයස නෑ නෙ..

ඇත්තනෙ. තමුසෙල ඔක්කොම පස්සෙනෙ  මේ පලාතට ආවෙ..

ඉතින් කියනවකෝ..මොකද්ද ටෙඩ් විල්ලියම්ස් ගෙ කාලෙ උනෙ..

තමුසෙල පිළිගන්නවද එයා මං එක්ක බේස්බෝල් ගැහුව කියල...?

පුහ්..ඒක නම් කෙප්පයක්..තමුසෙයි මායි ගහපු බේස් බෝල්..අනික මං දන්න විදිහට ඔය විලියම්ස් ලා හෙන උද්දච්ඡ මිනිස්සු. උඩඟුයි. මේඅපි වගේ මිනිස්සු එක්ක බේස්බෝල් ගහනව තියා කතාකරන්නෙ වත් නෑ. ඉතින් තමුසෙ කියනව බේස් බෝල් ගැහුවලු!. කොහොමද පිළිගන්නෙ..කමක් නෑ කතාව කියනවකො..මංඅහගෙනඉන්නම්.

ඒක වුනේ මෙහෙමයි. මං පුංචිකාලෙදි පුදුම ආසාවකින් උන්නෙ ඔය විලියම්ස් මන්දිරේ ඇතුලට යන්න. අඩුම ගානෙ අර මහ විශාල වත්ත අස්සට වත්. ඒත් වටේම වැටවල් තාප්ප..මං වෙලාවක් එනකල් බලන් උන්නෙ. ඉතින් විශ්වාස කරනවකො! දවසක් මගෙ වාසනාව පෑදුන..තමුසෙ අහගෙනද ඉන්නෙ? මං දැක්ක දවසක් ඔය විලියම්ස් මන්දිරේ වැටේ එක තැනක ලීයක් කැඩිලතියෙනව. මම ගිහින් මුරකාරයට කිව්ව...වැටේ ලීයක් කැඩිල මං කැමතියි නොමිලේම ඒක හදල දෙන්න කියල. මුරකාරය මාව පන්න ගන්න හැදුවෙ!. බලනවකො අයිසෙ වෙලාව කියන්නෙ එතකොටම එතන්ට ආවනෙ ටෙඩ්..ඔව්..ටෙඩ් විලියම්ස් එතනට ආව. මේ තමුසෙ අහගෙන නේද ඉන්නෙ ?

ඔව් ඔව් ඉතින් කියනවකො!.

විලියම්ස් මගෙන් ඇහුව ඇත්තටම නොමිලේමද හදන්නෙ.. වැඩ ඔය ළමයට පුලුවන්ද කියල..මට අදහගන්නත් බෑ අයිසෙ..ටෙඩ් විලියම්ස් මා එක්ක කතා කලා..

ඉතින් ඉතින්..

මං ගත්කටටම  පුලුවන් ..මගෙ සීය හොඳින් මට වැඩ උගන්නල තියෙන්නෙ කිව්ව.. මෙන්න අයිසෙ ටෙඩ් විලියම්ස් මට ගේට්ටුව ඇරල වත්ත ඇතුළට එන්න කිව්ව..

අදහන්න බෑ අයිසෙ..ඔය ටෙඩ් විලියම්ස් කවදාවත් මේ ගමේ මිනිහෙක් එක්ක කතා බස් කලා කියල මංහිතන්නෑ. තමුසෙ ඇත්තමද ඔය කියන්නෙ?

ඇත්ත තමයි අයිසෙ...මං ගිහින් වැටේ ලීය බොහොම හොඳට හදල දුන්න. වැඩේඉවර වෙනකොට ටෙඩ් විලියම්ස් එතන. මගෙන් ඇහුව මොනාද ඕනෙ කියල! මංකිව්ව..ඔයා බේස් බෝලෙකට ගහනව බලන්න ආසයි කියල.....අහනවකො..එතන එයාගෙ ලස්සන නෝනත් හිටිය...මගෙත් එක්ක හිනා උනහැටි මට අද වගේ මතකයි..

කෙප්ප,,මේ නම් අමූලික කෙප්ප..ඔය කියන ගෑනිත් හෙන ආඩම්බරකාර ගෑණියෙක්..එහෙමයි මං අහල තියෙන්නෙ!

නෑ අයිසෙ..තමුසෙ පිළිගන්නවකො..ටෙඩ් විලියම්ස් බේස්බෝල් පිත්තයි බෝලෙයි අරං ආව..මට කිව්ව පුලුවන් විදිහකට බෝලෙ දාන්න කියල. මාත් ඉතින් දන්න විදිහට බෝලෙ විසි කලා මිනිහගෙ දිහාට..ටෙඩ් විලියම්ස් දුන්නනෙ මරු පාරක්..කියල වැඩක් නෑ අයිසෙ..මට අදවගේ මතකයි..අම්මෝ බෝලෙ ගිය දුර..පුදුම ලස්සන බලගතු පහරක් අයිසෙ ඒක.. තමුසෙ හිතා ගන්නවකො ඉතින්.. විලියම්ස් නෝන අත්පුඩි ගැහුව මට අද වගේ මතකයි..

දැන් එතකොට තමුසෙ ටෙඩ් විලියම්ස් එක්ක බේස්බෝල් ගැහුව! විලියම්ස් ගෑණි එතන බලාගෙන හිටිය. තව අප්පුඩිත් ගැහුව..මරු කතාව අයිසෙ..මරේ මරු..

ඔව්. තමුසෙට මාව විශ්වාස නෑ..කමක් නෑ අයිසෙ. සිද්ධිය මම මතක් නොකරපු දවසක් නෑ.. මේජීවිත කාලෙම. ඒක පුදුම අත්දැකීමක් අයිසෙ. පුදුම මතකයක්. මං හිතන්නෑ මැරුනත් මට ඒක අමතක වෙයි කියල. ලෝකප්‍රකට ශ්‍රේෂ්ඨ ටෙඩ් විලියම්ස් මගෙත් එක්ක..මේ පොඩි වඩු බාස් කොල්ලත් එක්ක බේස්බෝල් ගැහුව..ඔව්.ඉතින් තමයි මගෙ සුන්දරම මතකය.  තමුසෙට ඉතින් විහිළු !.

බලනව. විලියම්ස් මන්දිරය ගරා වැටිල. හරියට මේ මං වගේ..ඒත් ඒත්..අර මතකය..ඒක තාමත් ඒවගේමයි  අයිසෙ.මං අදත් ඔනැම වෙලාවක මතකය ඇදල ගන්නව

ටෙඩ් විලියම්ස් මගෙත් එක්ක බේස්බෝල් ගැහුව අයිසෙ. තමුසෙල පිළිගත්තත් නැතත්.

No comments: