Friday, December 22, 2017

චිත්‍ර ප්‍රදර්ශනය



පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් සාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි මේ සැරෙත් චිත්‍ර ටික ඔක්කොම ප්‍රදර්ශනේට තියනවා. පොඩි උන්ගේ සතුටනේ. ඔක්කොටම තෑගි දෙනව කිව්වම සෑහෙන්න උනන්දුවෙන් කට්ටිය චිත්‍ර ඇන්දා. බලමු මොනාද මේ සැරේ කියල. "අපි පංසල් යනවා." කවුද මේ ....දිනිදු උදාර . 3 වසර. ආ..පවුලම පංසල යනවා. ඈතින් චෛත්‍ය පෙන්නෙ. පස්සෙන්ම දිනිදුලගෙ බල්ලත් යනවා. දිනිදු අඳින ඕනම චිත්‍රයක කොහෙන් හරි මේ බල්ලත් ඉන්නවා. එක පාරක් දිනිදු "බුදු වීම" ඇඳල තිබ්බ. සිදුහත් බෝසතාණෝ බුදුවෙන තැන පැත්තක දිනිදුගෙ බල්ලත් ඉන්නව. එහෙම තමයි ඉතින් පොඩි උන්ගෙ ලෝකෙ.

 මේ මොකද්ද? යුද්ධයක් වගේ. "හමුදාවෙ මාමලයි කොටි මාමලයි යුද්ධ කරපු හැටි". මොකක් යකෝ..කොටි මාමල..? හිහි. මමත් ගුටි කනව මේ මාතෘකාව දැම්මොත්..කමක් නෑ "යුද්ධය" කියල මාතෘකාව නම් වෙනස් කරන්න බැරියැ. කවුද මේ ආටිස්ට් ?. පසන් තාරක.. ආ පසන් ගෙ මාමා කෙනෙක් ඉන්නෙ හමුදාවෙනෙ. මිනිහට ටිකක් ආමි උණ.. ඒකයි.

ඊළඟට චේතන ගෙ "රොකට් එක". රොකට් එක ඇතුලෙ චේතන ඉන්නවා. හිනා වෙවී. පොඩි එවුන්ගෙ ලෝකෙ මොන තරම් නිදහස් ද? හිතෙන දේ අඳිනවා. ඒත් මේකා මේ හැම එකේම ඇමෙරිකන් කොඩිය ගහන්නෙ මොකෝ. අපේ කොඩිය ඇඳපන්කො පුතේ.

මේ කවුද? හොල්මනක් ද?. "මනමාලී". පබසරා දිලිනි ගෙ චිත්‍රෙ. නිකන් ලේ බීල වගේ. හික්.. මගුල් ඇඳුමත් හෙන විච්චූර්ණයි. පොඩි එකී සෑහෙන්න මහන්සි වෙලා තියෙනව මගුල් ඇඳුම අඳින්න. පාට පාට. ඒකිට හිතෙන හැටි නෙ. ලොකු උනාම බියුටි සැලෝන් එකක් වත් දාන්නෙ නැතෑ.

ඊළඟට "තාත්තා බැංකුවට යනවා". දෙව්මිණි ගේ චිත්‍රෙ. තාත්තා කාර් එකේ වැඩට යනවා. දෙව්මිණී ගෙ ගෙදර අය සේරම "ටටා" කියනවා එළියෙ ඉඳන්. දරුවා හැඩතල සහ වස්තූන් හොඳට අඳුන ගෙන තියෙනවා. වර්ණ සංකලනයත් හොඳයි. තව දියුණු වෙන්න පුලුවන් දරුවෙක්.

 මේ මොකද්ද? නුග ගහ. සඳුන් තිසර. 4 වසර. පුදුමයි. මේ වයසෙ සාමාන්‍ය ළමයෙකුට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්. බලන්න නුග ගහේ තියෙන අපූරු හැඩ තල මතුකරගෙන තියෙන විදිහ. පරිසරයෙන් නුග ගහ කැපිල පේන විදිහට වර්ණ පාචිචි කරල තියෙන හැටි. අපූරුයි දරුවෝ.! මට ඉතින් ඕන තරම් කාලයක් පොඩි එවුන්ගෙ චිත්‍ර එක්ක ගත කරන්න පුලුවන්. හරිම අව්‍යාජ ලෝකයක් තියෙන්නෙ. තව චිත්‍ර මිටියක් ම තියෙනවා බලන්න.

 බලමු මෙකත්. "අපේ චිත්‍ර සර්"..හෑහ්. මෙන්න මාව ඇඳල. අපොයි මගේ හැටි !. හෙන බඩක් දාල. මට ටයි එකකුත් දාල.  කවුද මේක ඇන්දේ?..තත්සරණි පෙරේරා. අපොයි දුවේ මං මෙච්චර කැතද? හි හි හී. පොල්මුඩ්ඩක් වගේ රැවුලකුත් තියෙනවා. ප්‍රදර්ශනෙන් පස්සෙ මේක මං තියා ගන්නවා.

 මේ මොකද්ද? වෙස්සන්තර කතාවෙ ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දීමද? නෑ. "තාත්තා අම්මට ගහනවා. මල්ලීයි මායි අඬනවා".. අපොයි..කවුද මේ දරුවා?...දිළිණි අප්සරා... මගේ පිට දිගේ හීන් දාඩියක් මතුවෙනවා වගේ. මේ යකෙක් වගේ ඇඳල තියෙන්නෙ තාත්තාද?. අම්ම බිම වැටීගෙන ඔලුව අල්ලගෙන ඉන්නව. දිළිණි අප්සරයි මල්ලියි මේ පැත්තක අඬනවා. පුටු පෙරළිලා.වලං පිඟන් බිම වැටිලා.මං හීනයක් දකිනවද?  "තාත්තා අම්මාට ගහනවා . මල්ලියි මායි අඬනවා". නෑ මේ මගේ අතේ තියෙන්නෙ චිත්‍රෙ.දිළිණි අප්සරා.. 3 වසර.අපොයි දෙය්යනේ මේ චිත්‍රෙ මගේ අතට ආවෙ ඇයි? මොකටද මට මෙහෙම ප්‍රදර්ශනයක් තියන්න හිතුනෙ ?. මගෙ ඔලුව කැරකෙනවා වගේ. පොඩි එවුන් ගෙ චිත්‍ර හරිම අව්‍යාජම තමයි. මෙච්චර වෙලා මට තිබ්බ සතුට කොහේද? පපුවෙ මහා බරක් දැනෙනවා.එක්කෝ දිළිණිගෙ චිත්‍රෙ අයින් කරනවා.ඒත් එහෙම හොඳද? නෑ. චිත්‍රෙට සායම් හැලුනා කියනවා. කියල වෙන එකක් ඇඳල දෙන්න කියනවා. ඒත් කෙල්ල මේකම ඇන්දොත්..නෑ. එහෙම වෙන එකක් නෑ. කෙල්ල වෙන මොනව හරි අඳියි. ඔව් එහෙමවත් කරනවා. මට යාන්තම් හුස්මක් වැටෙනවා වගේ. මේ චිත්‍රෙ මං පරිස්සම් කරල තියා ගන්නවා.

"තාත්තා අම්මාට ගහනවා. මල්ලියි මායි අඬනවා".දිළිණි අප්සරා, 3 වසර.

1 comment:

මලී said...

පුංචි උන්ගේ ලෝකය අපි හිතනවාට වඩා සංකීර්ණයි. අපි නොහිතන දේවල් නොහිතන විදිහට ඒ අයගේ හිත් වලට කාවදිනවා.අපූරුයි ලියවිල්ල!