Tuesday, May 5, 2015

බාප්පට සීනි හැදිලා



දන්න කාලේ ඉඳලා
කෑමට බීමට රුසියා
සේරම චණ්ඩි කං නැවතිලා
බාප්පට දැන් සීනි හැදිලා

කාලෙකට පස්සේ ගෙදර ආදා
විස්කෝතුවක් විතරයි කෑවේ
කේක් කෑල්ලට අත තිබ්බාම
එරෙව්වා පුංචි අම්මා

උදේට දුවනවා
හවසට පයින් එනවා
සීනි නැති තේ කෝපි
දඬුවමද විඳිනවා

පාටියක් දවසේ කාලා පැණිරස වගයක්
අතිජාත මිතුරෙක් ගින්න දීලා ගෙදරට
පහුවදා ඉඳලා නෝපාටි  පණවලා
කූපන් ක්රමයටලු දැන් කෑම ලැබෙන්නේ

බලපන් පුතේ මෙහෙමත් කරුමයක්
පොඩි එකා කනවා අයිස්ක්රීම් පෙන්න පෙන්නා
දැන් ඉඳලාම උඹලත් හිතට ගනිල්ලා මේ ටික
කනවා බොනවා වාගේම එක්සයිස් කරපියව්

උදේ දුවනවා
හවසට පයින් එනවා
කරවිලයි කොතලහිඹුටුයි හොයනවා
බාප්පට සීනි හැදිලා

Wednesday, November 26, 2014

හිතේ තියෙන ගඟ



හිතේ තියෙන ගඟ
සොයන්නෙමි බොහෝ කල්

තුරු වදුලක සැඟව සිට
තාලයට ගලාවිත්
සිත අද්දරින් බැස යයි
ඒ හිතේ තියෙන ගඟ

නෙත නොදුටු සාංකාවෙන්
සොයමි මම හිතේ තියෙන ගඟ

නෙත අද්දරින් ගලා යයි ගඟක්
ඒ හිතේ ඇඳි ගඟ නොවේ
කොහිද ඒ හිතේ තියෙන ගඟ

මහ වැසි ඇද වැටුනු දා හැන්දෑවක
හිරුගේ අවසන් සිතුවම තවරගෙන
ගලා යයි නෙත අද්දරින් ගඟ
තාලයට සීරුවට

ඉතින් නුඹමවෙයි අද පටන්
හිතේ තියෙන ගඟ

Monday, August 4, 2014

පුංචි ගිණිකූරු වෙළෙන්දිය








පුංචි ගිණිකූරු වෙළෙන්දිය

තවමත් මගේ හිත අද්දර

හිම මිදෙන සීතලේ

අන්තිම ගිණි කූරත් දල්වා

උණුසුම් වෙන්න හැදුව



රස බොජුන් කුස් පුරවන

උණුසුම් අවන්හල් ඉදිරිපිට

ඈ සිටින්නී

හිස්වූ කුසින්

මැලවුනු වතින්



පුංචි ගිණි කූරු වෙළෙන්දිය

හිම මිදෙන සීතලේ

මැදියම් රැය තෙක්ම

ගිණිකූරු විකුණන්න හැදුව



කාමරය උණුසුම්ය

රස බොජුන් මේස මත

බැබළෙන විදුලි එළි සමග

සියල්ල සූදානම්ය



ජනේලයට එපිටින් ඈ සිටින්නී

සීතලේ ගැහෙමින්

හිස්වූ කුසින්

ඒ දෑස මහ හැර

සාදය අරඹන්න

Tuesday, July 1, 2014

අබිලිං මාමේ




ඉක්මනින් ගෙනැවිත් දීපං
ගම්මුන්ගෙන් ගත්ත ණය තුරුස්
අතින් වියදං කරං
පිං කං කලත්
ඒ පිං මදිලු
උඹේ ණය හිලව්වට

පිරිත් කොටු ගැහුවාට
පිං කං කලාට
බණ පදයක් ඇහුවාද
මතක ඇති කාලයක

නොදැන හිටියේ ඒකයි උඹ
බීමත් කමේ ආදීනව

උඹ ඉන්න හින්දද කොහෙද
පිචර් එක දිව්වෙත් නෑ හරියට
ගැලපෙන්නෑ ඕවා මෙහාට
සේකරත් ඇඬුවාලු අන්තිමට

අහසට වඩා ලොකු උඹේ හිත
ඊටත් වඩා ලොකු ණය කන්ද
උඹ නැති පාලුව දරාගෙන
අතීතයෙන් ගඟ ගලා බසී තවම

Monday, April 21, 2014

අන්තිම නවාතැන



කෙනෙක් ඉඳ ගිය පසු
අන්න තව කෙනෙක් ඇවිදින්

කෙමෙන් පියවෙන නෙත් දෙස
බලා හිඳීවි සිවිලිම
අවසන් සුසුම් පොද උරා ගෙන
තව තවත් දැඩි වේවි බිත්තිය
හැකි ලෙස ඔබව රැකගනිමි
පිටත ඇති සීතලෙන්

ඉතින් පවසන්න මට ඔබේ කතාවත්
නිසසලව අසා සිටින්නෙමි
අවසානයේ කවුළුව හැර තබමි
පිටව යන්නට ඔබට
අවහිරයක් නොමැතිව

Sunday, January 26, 2014

සිත්තර පෙම්වතිය

සුදු පාට කැන්වස් තලය මත
කටු සටහනින් ඇඳි
මගේ කලු සුදු රූපය
නුඹ බියපත් කරයි
නුඹ බොහෝ බිය වෙයි

පින්සලෙන් පින්සල ගෙන
නේක වර්ණ තවරා
යුහුසුලුව මතු කරන්නී
වර්ණවත් රූපයක්
දහඩිය ද හෙළමින්
තුටු වන්නී

ඉතින් මෙන්න නුඹ
බලන් කෙතරම් හැඩද දැන්
සැනසුම් සුසුමක් හෙලන්නී
කෙතරම් බියකරුද අර
කලු සුදු රූපය

Tuesday, December 17, 2013

රොබින් හුඩ් අය්යලා



රොබින් හුඩ් අය්යලා
දැන් සටන අතහැරලා
ගල්ගුහාවකට වෙලා
බුම්මගෙන ඉන්නවලු

ආරංචියේ හැටියට
ජනතාව දැන් හරි වෙනස්ලු
ඉස්සරවගේ ඒ ගොල්ලොන්ට
සපොර්ට් එක දැන් නෑලු

නොටින්හැම් බලකොටුවෙ
හැමදාම නත්තල්ලු
රෑට රෑට හැමදාම
මල් වෙඩි පෙන්නනවාලු

ගිස්බන් ගෙනුත් දැන් කරදරයක් නෑලු
සිරියාව බේරෙන්න හිනාවෙන්නත් දන්නවලු
බබාලත් වඩා ගන්නව්ලු ඉඳ හිට
හැබැයි තාමත් එහේ එල්ලලා මරණවාලු

ඒ උනාට ජනතාව
ප්‍රීතියෙන් ඉන්නවලු
මහ රජාත් ළඟදි
එහේ ඇවිත් ගිහින් ලු

රොබින් හුඩ් අය්යලා
දැන් සටන ඇතහැරලා
කණ්ඩායමට බැඳෙන්න ගිය මං
ෂර්වුඩ් කැලේ තනි වෙලා