Tuesday, September 8, 2026

කවි දෙකක්

 ප්‍රියාවිය,

නෙළුම්, මහනෙල් මල් පිපුණු වැව් තලය,

පොහොය දින ඈතින් පෙනෙන දාගැබ,

කොපමණ සුන්දර ද?


අතිනත පටලවා වැව් කණ්ඩිය මතින්

ඇවිද යන්නට සිහින දකිමි.

ඒ දුර බැහැර පෙදෙසේ ගුරු දිවිය

කෙසේදැයි පවසන්න.


පෙම්වත,

වැව් කණ්ඩිය මතින් ඇවිද යන

කෙසඟ මිනිසුන් දකිමි.

කුස අඩකටත් වඩා අඩුවෙන් සනහන

දූ දරු කැලකට ශිල්ප දෙමි.


අද දවසේ දුක් විඳින ඔබ සැමට

හෙට දවස සුබ යැයි කියමි.

මගේම හදවතට බොරු කරමි.


අමාවක දිනත්

වැව් තලය සුන්දර යැයි

පිළිතුරු කවක් ලියමි.


අනුෂ්ක විජේකෝන්

08/09/2026

2 comments:

Litseeker said...

වැව් බැම්ම මතින් පාසැලට පියනගපු අතීතය මතක් කළ කවි පෙළක්

මයියා said...

මෙය මට නම් පෙනෙන්නේ ආදර කවියකට වඩා සුන්දර සිහිනයක් සහ කටුක යථාර්ථයක් අතර ඇති පරතරය ගැන ලියැවුණු සංවේදී කවියක් ලෙසයි. පෙම්වතාට දුරින් සිට බලන ලංකාව නෙළුම්, මහනෙල්, වැව් සහ දාගැබ්වලින් පිරුණු සුන්දර දේශයක්. එහෙත් ඒ සුන්දර දසුන අතර ජීවත් වන පෙම්වතියට පෙනෙන්නේ බඩගින්නෙන් පෙළෙන කෙසඟ මිනිසුන් සහ කුස අඩක්වත් නොපුරවා පාසලට එන දරුවන්ය. ඇය ඔවුන්ට හෙට දවස සුබ වේ යැයි කියන්නේ බලාපොරොත්තුවක් දෙන්නටය. නමුත් ඒ බලාපොරොත්තුව ගැන තමන්ගේම හදවත තුළ ඇයට සම්පූර්ණ විශ්වාසයක් නැත. ඒ නිසා “මගේම හදවතට බොරු කරමි” යන පේළිය කවියේ වේදනාව තදින්ම මතු කරයි. අවසානයේ අමාවක අඳුර මැද පවා වැව් තලය සුන්දර යැයි ලියන ඇය, ඇත්තටම පිළිතුරු දෙන්නේ පෙම්වතාට පමණක් නොවෙයි—තමන්ගේම බලාපොරොත්තු සුන් නොකර ගැනීමටත්ය.