Tuesday, September 8, 2026

කවි දෙකක්

 ප්‍රියාවිය,

නෙළුම්, මහනෙල් මල් පිපුණු වැව් තලය,

පොහොය දින ඈතින් පෙනෙන දාගැබ,

කොපමණ සුන්දර ද?


අතිනත පටලවා වැව් කණ්ඩිය මතින්

ඇවිද යන්නට සිහින දකිමි.

ඒ දුර බැහැර පෙදෙසේ ගුරු දිවිය

කෙසේදැයි පවසන්න.


පෙම්වත,

වැව් කණ්ඩිය මතින් ඇවිද යන

කෙසඟ මිනිසුන් දකිමි.

කුස අඩකටත් වඩා අඩුවෙන් සනහන

දූ දරු කැලකට ශිල්ප දෙමි.


අද දවසේ දුක් විඳින ඔබ සැමට

හෙට දවස සුබ යැයි කියමි.

මගේම හදවතට බොරු කරමි.


අමාවක දිනත්

වැව් තලය සුන්දර යැයි

පිළිතුරු කවක් ලියමි.


අනුෂ්ක විජේකෝන්

08/09/2026

No comments: