Saturday, November 12, 2022

මං ඒ සුවඳට ආස ඇයි?

 

“උඹ දන්නවද මං ඔය ටර්පන්ටයින් සුවඳට හරි ආසයි බං…” දවසක් මම මගේ යාළුවෙකුට එහෙම කිව්වා.
"ඒ මචං උඹ කුඩ්ඩෙක්ද?" යාළුව නෝන්ඩියට වගේ මගෙන් එහෙම ඇහුවා. එදා ඒ යාළුවට කියපු නැති කතාවක් ඔයාලට කියන්නම්. මෙන්න මේකයි ඇත්තම සිද්ධිය.

1987- 1989 කාලෙ අපි එතකොට හිටියේ මත්තේගොඩ නිවාස සංකීර්ණයෙ  ගෙදරක. උඩ තට්ටුවේ තිබ්බ කාමර දෙකින් එකක අපෙ අම්මා චිත්‍රයක් ඇඳ ඇද හිටියා. මට අදටත් හොඳට මතකයි ඒ ඇඳ ඇඳ හිටියෙ දිය ඇල්ලක්. එයා ළඟ තිබුණා දුඹුරු පාට ප්ලාස්ටික් පෙට්ටියක දාපු oil painting ටියුබ් වගයක්. ඒ පෙට්ටියේ oil painting වලට අමතරව තව පුංචි වීදුරු බෝතල් දෙකක් තිබුණා.    ඒ බෝතල් වලින් ආවෙ ඔන්න ඔය කියන ටර්පන්ටයින් සුවඳ. මං එදා මොකද කළේ දන්නවාද? පැත්තක තිබ්බ පින්සලක් අරගෙන එක පාරටම අර දියඇල්ලෙ තැනක පාට වගයක් ගෑවා. "අන්න ..මොකද්ද ඔයා ඒ කලේ?" අම්මා ඇහුවා. ඊට පස්සේ අම්මා එයාගේ චිත්‍ර කලා හැකියාව පාවිච්චි කරලා ඒ මම පාට කරපු තැන කැත මැකෙන්න එතන පොඩි ගල් පර්වතයක් වගේ ඇන්දා. මේ සිද්දිය වෙන්නෙ අදට අවුරුදු 33-34 කට විතර කලින්.  ටර්පන්ටයින් සහ ඔයිල් පේන්ටිං තියෙන තැනකින් එන ඒ සුවඳත් එක්ක ඕනෙම වෙලාවක මට ඒ මතකයට රිංගන්න පුලුවන්.


අපේ අම්මට චිත්‍ර අඳින්න තිබුනු හැකියාව ගැන මට තිබුනේ සමහර විට ඉරිසියාවක් වෙන්න පුලුවන්. අම්මා හේවුඩ් ඉගෙන ගත්ත කෙනෙක්. අදත් මම චිත්‍රයක් අදින කොට හිත ඇතුලෙන් එයාගෙ හැකියාවට සමාන වෙන්න හෝ අභිබ්වා යන්න හෝ උත්සාහ කරනවා කියලා මට හිතෙනවා . ඇත්තටම මම චිත්‍ර අඳිනවා කියලා කරන්නේ ඔන්න ඔය පැරණි මතකයන් ඇතුළට යන්න පාරක් හදාගන්න එක. oil painting එක්ක කලවම් වෙලා එන ටර්පන්ටයින් සුවඳත් එක්ක මම යන්නේ අපූරු නිර්මාණ පිරිච්ච ලෝකෙකට. ඒ ලෝකය හරිම නිහඬයි. හුදෙකලා ලෝකයක්. ඒත් පාළුවක් දුකක් නෑ.

 පොඩි canvas එකක් උඩ මට ඕනේ දෙ ඇඳ  ගන්න මම තවමත් සෑහෙන්න දුක් විඳිනවා. මේ වෙනකන් ඇඳපු කිසිම චිත්‍රයක් ඇතුලේ මම තෘප්තිමත් වුණේ නෑ. ඒ හැම චිත්‍රයක්ම අම්මා වගේ අඳින්න දරපු අසාර්ථක උත්සාහයක් කියලයි මට හිතෙන්නේ. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම චිත්‍ර අඳිනවා. විශේෂයෙන්ම පොඩි උන් දෙන්නට පේන්න. මම චිත්‍ර අඳිනවා දකින පුතා සේරම වැඩ නවත්තලා එයත් චිත්‍රයක් අඳින්න පටන් ගන්නවා. එයාට තාම අවුරුදු හතයි. අම්මාගෙන් මට ලැබුන ඒ ආභාෂය  මගේ දරුවන්ටත් ලබා දෙන්නයි මට අවශ්‍ය.කොයිතාක් දුරකට ඒ අය මේ කලාව ප්‍රගුණ කරයිද කියල මම කියන්න දන්නෙ නෑ.  කඩදාසියකුයි පාට ටිකකුයි දීලා ඇඳපං  චිත්‍රයක් කියලා කියනවට වඩා එයාලට පේන්න එහෙම නැත්තං එයාලත් එක්ක චිත්‍ර අඳිද්දි එයාල ගොඩාක් සතුටු වෙනවා වගේම motivate  වෙනව කියල මම දන්නවා.  තවත් දෙයක් තියෙනවා. අපිත් වයසට යනවනෙ . ජීවිතේ කවදාහරි හොඳටම හුදෙකලා වේවි. එදාටත් පුළුවන් විදිහට චිත්‍රයක් අඳින එක තමයි මගේ බලාපොරොත්තුව.. මිනිස්සු හුදෙකලාවට බයයි. අවංකවම කියන්න මම නම් කැමතියි. මොකද මට ඕනෙතරම් හිනාවෙන්නත් පුලුවන් අඬන්නත් පුලුවන්

මගේ ජීවිතයට මගේ අම්මාගේ කලා හැකියාවන් කොච්චර බලපෑවද කියලා එයාවත් දන්නෙ දන්නෙ නැතිව ඇති..

Thursday, April 28, 2022

සීයපප්පා විසින් (අද වෙනකන්) හදා නොදුන් රොකට් එක....

සීයපප්පා, ඒ නම හැදුනේ කොහොමද යන්න අදටත් ගැටලුවකි. සීයා+පප්පා = සීයපප්පා. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව එළඹියහැකි නිගමනය එයයි. සීයපප්පා මගේ අම්මාගේ තාත්තාය. සීයපප්පා රත්නායක රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ රස්සාවක් කල  බව මට යාන්තමට මතකයි. සීය පප්පා අපිව බලන්න එනකොට ගෙනා වැදගත්ම දෙය නම් ඉස්පංචි ය. ඔස්ට්‍රේලියාවෙ නම් මෙම ආහාරයට කියන්නේ කප් කේක් කියාය. කප්කේක් වල හා ඉස්පංචි වල මා දකින ලොකුම වෙනස, කප් කේක් වල උඩ පැතලිවන අතර (අයිසිං නැතුව ) ඉස්පංචි වල උඩ පොඩ්ඩක් ඉදිමී තිබීම වෙයි.. කෙසේ හෝ සීයපප්පා අය්යාටද මටද ඉස්පංචි අනිවාර්යයෙන්ම ගෙනා බව සහතික කරමි.


ඒ 1987-1989  කාලයයි. මම එකල 1 වසරේ නැත්තං දෙක වසරේය. පදිංචිය 8B/ 72 -X මත්තේගොඩ නිවාස සංකීර්ණය, මත්තේගොඩය.  ටීවි එකේ ළමා නාට්‍යයක ළමුන් පිරිසක් රොකට් එකක් හදාගෙන හඳට යන දර්ශනයක් පෙන්නපු දවසේ සිට මටද රොකට් පිස්සුව තදින්ම හැදුනේය. බත් කන්න හොර (කේක් පැටිස් මාලුපාන් භක්ෂක මා ) මට බත් එලවලු කැවීමට අම්මා දුක් විඳිද්දී දවසක් සීයපප්පා මාව දමනය කලේ උඩ යන රොකට් එකක් හදා දෙනවා කියා පොරොන්දු කරගෙනය. ඉතින් මම බත් කෑවෙමි.

එතැන් පටන් මම රොකට් එකේ සිහිනයෙන් නොමිදුනෙමි. සීයපප්පා කියූ පරිදි එයා වැඩ කරන තැන රොකට් වලට අවශ්‍ය කොටස් නිපදවන අතර එයා වැඩට ගොස් එන විට එම කොටස් මට එකින් එක ගෙනත් දෙනවාය. හැබැයි හඳට යෑමට නම් බත් එලවලු කෑම අනිවාර්යය අතර නැත්නම් හඳේදි ජීවත් විය නොහැකිය. සීයපප්පාගේ විද්‍යාත්මක න්‍යාය එයයි. හැමදාම සීයපප්පා ගෙදර එන දිනක රොකට් එකේ කොටසක් කඩදාසියක ඔතාගෙන ගෙන ආවේය. "සීය පප්පා මේ කෑල්ල මොකටද?" මම අසමි. "ඔය රොකට් එකේ සයිඩ් එක.ඕක හෙන ගණන්. හෙන අමාරුවෙන් මම හදාගෙන ආවෙ". සීය පප්පා බැරෑරුම් ලෙස පවසයි. මගේ සතුට දෙගුණ තෙගුණ වෙයි. රොකට් එක කොටස් වශෙයෙන් එකලස් වෙමින් පවතී. ඉතා ඉක්මනින් මම හඳට යමි. ඔය ආකාරයට, රොකට් එකේ වීදුරුව, රොකට් එකේ හෝස් එක, වෑල් එක ආදී එකී නොකී වැදගත් කොටස් රාශියක් අපේ ගෙදර මගේ සෙල්ලම් බඩු පෙට්ටියට ආවේය.


1988 වසරේ එක්තරා දිනක අප්පච්චී අය්යාටද මටද ඇහැරවා"සීය පප්පා මැරිලා..ඔයාලයි අම්මයි දැන් එහේ යනවා." කියා කියූ හැටි මට තවම මතකය. ඊට පස්සෙ ඉතින් අපි අත්තම්මලා හිටි අරංගල පැත්තේ ගෙදර ගියෙමු. මළගෙදරක් යනු කුමක් ද? වෙන්නේ කුමක්ද යන්න ගැන මට හරි අවබෝධයක් නැත. දවසකට පමණ පසු සීයපප්පාගේ මිනිය සාලයේ තබා තිබුනි. නෑදෑයෝ හඬමින් සිටිති. දැන් ඉතින් කවුද මගෙ රොකට් එක හදන්නේ? ඔන්න මට තිබ්බ ප්‍රශ්න!. කෙසේ හෝ මළගෙදරද මට විනෝද ආකරයකි. නෑදෑයෝ හැටහුටාමාරකි. පොඩි පොඩි උන්ද හෙනට හිටි නිසා මට රොකට් එක ගැන දුක් වෙන්න වෙලාවක් තිබුනේ නැත. එකම බය හිතෙන සිදුවීම වුනේ කෝට්ටෙ ශාන්ත තෝමස් විද්‍යාලයේ ළමයි පිරිවරාගෙන බ්‍රදර් ෆිලීශියන් මළගෙදර එන දර්ශනය දැකීමයි. මගේ අම්මා එකල එම විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියයි. බ්‍රදර් ෆිලීශියන් යනු ඉතා සැර ගුරුවරයෙකි. "වේවැලත් අරං එනවද දන්නෙ නෑ?" මම සෙනග අතරින් රිංගා දිව්වෙමි. කුස්සිය පැත්තේ බොරුවට කැරකෙමින් සිටි මාව සොයාගෙන ආවේ අම්මාය. "මේ මෙහෙ එන්න අන්න ඕගොල්ලන්ගෙ ටීචත් ඇවිල්ල!" කියා මාවත් ඇදගෙන සාලය දෙසට ගියාය. චන්ද්‍රලතා ටීච මට ඉතා හොඳින් කතා කලාය. "මළගෙදර නිසා අතපසු වෙන හෝම්වර්ක් ටික දීල යන්න වෙන්ඩැති" ඒ මගේ සිතුවිලිය. ඒ චන්ද්‍රලතා ටීචත් ඇයගේ පුත්‍රයාත් අනූ ගනන් වල මහරගම පුපුරාගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත්වූහ.


කෙසේ හෝ මගේ රොකට් එක සාදාදීමට කලින් සීයපප්පා මියගියේය. එදා ඒ රොකට් එකේ කෑලි යැයි අපේ නිවසට පැමිණ තිබෙන්නේ කුඩ මිටි, පරණ කණ්නාඩි කාච, පීවීසී පයිප්ප කෑලි, සරණේරු කෑලි සහ කැඩිච්ච ස්ටෙප්ලර් මැශින් බව මට අවබෝධ වෙන්නේ තවත් කාලයකට පසුවය.


Friday, February 25, 2022

දිවි මකුළු විෂ

 

"සිසිල"  මංගල කලාපයේ පලවූ කෙටි කතාව. (2021 සැප්තැම්බර් )

අනුෂ්ක තිලකරත්න


"අත්තම්මේ, මේං බූල් තියෙන ලොකු මකුළුවෙක්, මේ" මම උළුවස්සේ සිටි අත්භූත භයානක පෙනුමැති සත්වයා පෙන්වමින් කෑ ගැසුවෙමි.

අත්තම්මා කොස්සත් රැගෙන දුව ආවේ මගේ බිය මුසු සතුට දෙගුණ තෙගුණ කරමිනි.

"කෝ බලන්න, හානේ දිවි මකුළුවෙක්, එහාට වෙන්න."

"දිවි මකුළුවෙක්!" මා ඒ නම ඇසුවේ ප්‍රථම වතාවට ය.

අත්තම්මා අත තිබූ කොස්සෙන් උළුවස්සට ඇන්නේ දිවි මකුළුවාට නොවදින්නට ය. පහරේ කම්පනයට ඌ බිමට පැන ඉන්පසු මිදුලේ උඳුපියලිය ගාල වෙත දිව ගියේ ය.

මම දිවි මකුළුවා පස්සේ දිව්වෙමි. මට ඌ හොඳින් බලා ගැනීමට වුවමනා විය.

"හා, හා, ඔයා යන්නෙ නෑ!" අත්තම්මා කෑ ගැසුවා ය.

-----------------------------------------------------------------------------------

"බලනව අයිසෙ, මොනාද තමුසෙ මේ කරල තියෙන්නෙ? දැන් මේ කීවෙනි පාරටද මේ රිපොර්ට් එක හැදුවෙ? ආය් වැරදියි. තමුසෙ සිහියෙන් නෙමෙයිද වැඩ කරන්නෙ? කී පාරක් කියන්නද?" ආයතන ප්‍රධානියාගේ ගෝරනාඩුව කාමරය තුළ දෝංකාර දෙයි.

"ස්ස්සොරි සර් මම ඒක ෆික්ස් කරන්නම් ඉක්මනට" මම අමාරුවෙන් වචන ගලපා කියා ගතිමි.

ප්‍රධානියා ඉවත්ව ගියේය. මම ආයෙත් ඉතා අවධානයෙන් පරිගණක තිරය කියවීමි.හදිසියේම මගේ එක් සපත්තුවක් තුළ යම් වෙනසක් දැනෙන්නට විය. මම වහාම සපත්තුව ගලවා දැමුවෙමි.

"මේ දිවි මකුළුවා නේද?" කලු පාට අඬු පඬු දිග හරිමින් මගේ සපත්තුවෙන් එළියට ආ දිවි මකුළුවා වේගයෙන් ගොස් වෙනත් මේසයක් යටට රිංගා ගත්තේ ය.

ඌ මට දෂ්ට කළා වත්ද? කොහෙද ඌ හැංගුණේ? වෙන කාට හරි දෂ්ට කරාවිද? මට දැනුණේ භයක් ද නැත්නම් ගුප්ත සතුටක් ද යන්න මට නොතේරේ. ඒ අර අත්තම්මලගේ ගෙදර සිටි දිවිමකුළුවා ම ය.

--------------------------------------------------------------------------------

"අත්තම්මේ, මට නිදා ගන්න බෑ නෙ. අර හරක කෑ ගහනවා!"

ඇත්තටම හරකාගේ කෑ ගැසීමෙන් මට හානියක් නැතත් නිදා ගැනීමෙන් ගැලවීමට ඇති එකම විසඳුම මෙලෙස එක එක පැමිණිලි කිරීම බව මම අත්දැකීමෙන් දනිමි.

ඉන්පසු අත්තම්මා මාවත් එක්කගෙන කොහේදෝ යාමට එළියට බැස්සා ය. අත්තම්මා යන්නේ රාළහාමිලාගේ ගෙදරට ය. හරකා රාළහාමිලාගේ ය.

දැන් අත්තම්මා රාළහාමිට දොස් කියනු ඇත. ඉන්පසු රාළහාමි සහ අත්තම්මා රණ්ඩුවුණොත්? කොහොම තියෙයිද? මේ මගේ සිතුවිලි ය.

මගේ වයසේ පොඩි එකෙකුට වැඩිහිටියන්ගේ පුංචි පහේ රණ්ඩුවක ද තිබුණේ එක්තරා විනෝදයකි.

-------------------------------------------------------------

"මට දැන් තමුසෙට කියවලම ඇති වෙලා තියෙන්නෙ! මොනාද හලෝ මේ කරල තියෙන්නෙ? මේ මම එකක් කියන්නම්. මෙතන පිළිවෙළට වැඩ කරන්න බැරි නම් යනව වෙන කොහේ හරි!"

ප්‍රධානියා එක දිගට මට බැණ වදී. මම අමාරුවෙන් වචන බලපා ගැනීමට උත්සාහ කරමි. හදිසියේම ජනේලයෙන් යම් චලනය වන ඡායාවක් දිස්වෙයි.

මේ දිවි මකුළුවා නේද? අම්මෝ දැන් උගේ ලොකු! පාපන්දුවක් තරමට විශාල වී සිටින දිවි මකුළුවා පැද්දෙමින් උත්සාහ කරන්නේ ප්‍රධානියා වෙතට කඩා පනින්න නේද? අපොයි, ඌ මේ මනුස්සට දෂ්ට කරයි ද? අන්න ඌ පැන්න.

"සර්, සර්, ඔන්න, ඔන්න" මම කෑ ගසමින් ආයතන ප්‍රධානියා ඉවතට තල්ලු කර දැම්මෙමි. ඒ ඔහුව දිවි මකුළුවාගෙන් බේරා ගැනීමට ය.

-----------------------------------------------------------------

"මට ඔයාගෙ තත්වය තේරෙනවා. ඒත් මේ වගේ කන්ඩිෂන් එකක් තියාගෙන මේ ආයතනයෙ වගකිවයුතු රාජකාරියක් කරන්න බෑ කියන එක තේරුම් ගන්න. මම නිවාඩු අනුමත කරල දෙන්නම්. ට්‍රීට්මන්ට් කරල ගොඩ දාගන්න බලමු. අපරාදෙනෙ නැත්තං. හොඳයි, අර පහරදීමට තැත් කිරීම එහෙම දෙයක් නෙමෙයි කලබලය නිසා අසිහියෙන් සිදු වූ දෙයක් කියල මම භාර ගන්නම්. මට ඇත්තටම තේරුම් ගන්න බෑ මෙහෙම මේ මනුස්සය වෙනස් උණේ ඇයි කියන එක! එහෙනම් දැන් ඔයා හොස්පිටල් එකට යන්න හස්බන්ඩ්ව බලන්න. හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ මනුස්සයෙක් මෙයා. හොඳයි බලමු."

මගේ බිරිඳ රෝහලට පැමිණීමට පෙර මගේ සේවා ආයතනයට ගොස් ප්‍රධානියාව මුණගැසී ඇත.

---------------------------------------------------------------------------------------

මම ලොකු මාමාත් සමග කඩේ යාමට සූදානම් වෙමි. ඒ ගමනට මම බොහෝ කැමති වෙමි. එක අතකින් එය කොහේ හෝ ඇවිදීමට ලැබෙන අවස්ථාවකි. අනෙක, මාමා කෙනෙක් සමග කඩේ ගියොත් ටොපියක් සීනි බෝලයක් අනිවාර්යයෙන් ම ලැබේ. ගුරුපාර දිගේ සැලකිය යුතු දුරක් ගිය විට කඩය තිබේ. ගුරුපාරදිගේ යන ගමනට මම බොහොම ප්‍රිය කරමි. පාර දෙපස කුඩා කුරුඳු ගස්, දං ගස් සහ බෝවිටියා ගස් ඇත. දං ගෙඩි නම් කිසිදු දිනක මගෙන් සැඟවෙන්නට අපොහොසත් ය.

එය ප්‍රමාණයෙන් කුඩා කඩයකි. කඩේ සිටින්නේ මැදි වයසේ කාන්තාවක් සහ පිරිමි ළමයෙකි. ඒ ළමයා මට වඩා තරමක් වැඩිමහල් ඇති. පාසැල් යා යුතු මේ ළමයා මේ කඩේ මොනා කරනවා ද? ආපහු යන ගමන් ලොකු මාමා ගෙන් අහල දැන ගන්න ඕනෙ. හදිසියේ ම පිරිමි ළමයා කිරමින් සිටි හාල් ටික තරාදියෙන් බිම හැළුණි. “අය්යෝ, ඔන්න කළා වැඩක් ඉතින්” අර කාන්තාව කීවාය. ඒ කාන්තාව ළමයාට ගහයි ද? අර නාට්ටිවල වගේ? නමුත් ඇය සිනාසෙමින් හාල් ඇහිඳීමට සහාය වූ නිසා මම සතුටු වීමි. ළමයා ගුටි කෑවේ නැහැනෙ? ටොපියක් සීනිබෝලයක් වෙනුවට මට ලැබුණේ චොකලට් බිස්කට් එකකි. යළි ගෙදර එන්නේ ද අර චමත්කාරජනක වටපිටාව මැදිනි .

අද ද ඇස් පියාගත් විට මට ඒ මාවතේ යළි ඇවිද යා හැකි ය. බෝවිටියා, කුරුඳු, දං ගස් වගේම රබර් වතු අසලින් යන විට දැනෙන සුවඳ ද විඳිය හැකි ය.

-----------------------------------------------------------------------------------

රෝහල් කාර්ය මණ්ඩලය මට ඉතා කාරුණික ව සලකති. මට ලබා දී ඇති ඇඳේ හාන්සි වී මම ඉතා සැහැල්ලුවෙන් සිවිලිම දෙස බලා සිටිමි.

හදිසියේම මගේ ඇඳේ වම් පැත්තෙන් මවිල් පිරි දිගු පාද හතරක් මතු විය. ඉන්පසු පාපන්දු බෝලයක් තරම් වූ උගේ ගෝලාකාර කඳ ද ක්‍රමක්‍රමයෙන් ඉතිරි පාද ද මතු විය. ඒ මගේ දිවි මකුළුවා ය. බිය වීමට අවශ්‍යය වුවද මට බිය විය නොහැකි විය. උගේත් මගේත් වූයේ මිත්‍රත්වයකි. ඌ මගේ ළමා කල මිතුරෙකි. ඇතැම්විට මගේ සමස්ත ජීවිතයම කියවාගත් මගේ ආත්මය හොඳින් ම තේරුම් ගත් මේ මිහිමත සිටින එකම ජීවියා විය හැකිය. ඉතින් ඌට මම බිය නොවෙමි. දැන් මම ඌට ආදරය කරමි. ඉතින් ඌ මට දෂ්ට කරපුවාවෙ. ඔව්. උගේ විෂ මේ දැනුදු මගේ ශරීරයට ඇතුළුවෙනු දැනේ. මගේ වම් බාහුවේ වැලිමිටට ආසන්න තැනකින් ඌ උගේ විෂ මට ඇතුල්කර ඇත. ඒ විෂ මගේ නහර වැල් දිගේ මගේ ශරීරය පුරා පැතිරෙනු දැනේ. එනමුදු මම බිය නොවෙමි.

දැන් ඇඳිරි වැටීගෙන එයි. තව මොහොතකින් අත්තම්මලාගේ ගෙදර පහන් දැල්වෙනු ඇත. මම ඒ නිවසේ වැට අසලට වී නිවස දෙස බලා සිටිමි. නිවස දෙසින් මාමලාගේ හා පුංචි අම්මලාගේ සිනා හඬ ඇසේ. වැට අසල ඇති ගාර්ඩීනියා ගසේ මල් වලින් මා කවදත් ප්‍රිය කරන ඒ ගුප්ත වූ සුගන්ධය හමා එයි.

ඒ මා ප්‍රිය කරන ජීවිතයයි. මට අවශ්‍ය ඕනෑම මොහොතක එම අතීත ලෝකයේ අතරමං විය හැකි ය.

ඉතින් කවර නම් ඖෂධයකට මා ගලවා ගත හැකිද? ඒසේ ගලවා ගැනීමට සැබැවින්ම අවශ්‍යද? දිවි මකුළුවා ඌට ඕනෑම මොහොතක මා වෙත පැමිණ මා සමග එම චමත්කාර ජනක ජීවිතය ගත කරනු ඇත. ඌ නවතාලීමට කිසිවෙකුටහෝ හැකිවේයැයි මම නොසිතමි.

අනුෂ්ක තිලකරත්න





Wednesday, February 16, 2022

පොඩි ගුරුන්නාන්සෙ

ඈතින් පෙනෙන කබරගල කන්ද ආයෙමත් මීදුමින් වැහීගෙන එනව. අදත් හිරි කෝඩෙ වගෙ. මේ දවස් ටිකම එහෙමයි. හරිම කම්මැලියි. සුරංග එහෙම හිතුවා. 

"ආ..පොඩි ගුරුන්නාන්සෙ...උදෙන්ම හම්බෙච්ච එක හොඳයි...." නාලකය ඈත ඉඳගෙනම එහෙම කියාගෙන සුරංගට කිට්ටු කලා. "අනේ සුරංග මට පොඩි වැඩක් කරගන්න තියේ...."? නාලකය කට හඬ බාල කරල එහෙම කිව්ව. 

“මොකද්ද?” සුරංග එහෙම ඇහුවෙ කුතුහලයන්. "පොඩි වශියක් කර ගන්නඕනෙ සුරංග"..... "

මොකක්....?" සුරංග හිනා වෙන ගමන් ඇහුව..... 

“විහිළු නෙමෙයි සුරංග....අර ගුරු ගෙදර.....සසඳි අන්න එයා.....මට එයාගැන සෑහෙන්න ලව් එකක් තියෙන්නෙ සුරංග....අනේ මට වශියක් කර ගන්නම ඕනෙ....දන්නවනෙ..කෙල්ල හෙන ආඩම්බරකාරි. ඔව්ව ඉතින් මොනාද රතුගම ගුරුන්නාන්සෙගෙ පුතාට නේ...අනේ කරල දෙන්න ඕනෙ හරී.."

සුරංග මුවින් නොබැන හිටියා. "හා බලමු....හැබැයි ඉතින්...අනේ මංද නාලකය..උඹ කෙලින්ම අහපංකො..." සුරංග එහෙම කිව්වෙ නාලකගෙ අදහස වෙනස් වෙයි කියල හිතාගෙන. "පිස්සුද සුරංගය.....? ආපෝ....මට ගමේ වසන්න වෙන්නෑ.....නිකමට හරි කෙල්ල බෑහ් ගෑවොත්..ඊට හපං ඊට පස්සෙ ගුරු ගෙදර මහ බවලතා අපේ ගෙදරටම එයි...මං ඉවරයි...දන්නවනෙ උන්දැගෙ කට...අනේ සුරංග කරල දෙන්ඩ ඕනෙ..හරී..ඔව්ව මොනාද රතුගම පරම්පරාවට......මතකනෙ අර අලි ජේමිසාට වෙච්ච දේ...බීගෙන කුණුහරුපෙන් බැන්න සුරංග ඉස්සරහ..ගෙදර යන්න හම්බුනේ නෑ....වැටිල හොම්බ කට කැඩුනෙ....මැහුම් දාන්නම....අන්න පවර්ස්...අනේ සුරංග කරල දෙන්ඩ හොඳේ...." නාලක දිගටම කියෙව්වා.

නාලකගෙ කතාවට සුරංගගෙ හිතේ කිසිම ආඩම්බරයක් වත් සතුටක් වත් ඇති වුනේ නෑ. නාලක කිව්ව අලිජේමිස් සම්බන්ද සිද්ධිය සුරංගට මතක් වුනා.අලි ජේමිස් බීගෙන ගෙදර යද්දි සුරංග ඉස්සරහ කුණුහරුප කිව්ව.ඊට පස්සෙ වැටිල මූණ කට තුවාල වුනා.එච්චරයි.ඇයි මේ මිනිස්සු හිතන්නෙ සුරංග ගුරුකමක් කලා කියල? ඇයි තවත් දවසක උක්කුං මාමලගෙ හරක නැති වෙලා.රතුගම ගෙදරට උක්කුං මාම ඇවිත් හරක හොයල දෙන්න කියල තාත්තට,ඒ කියන්නෙ රතුගම ලොකු ගුරුන්නාන්සෙට කියල ගෙදර යද්දි පාලම ළඟ හරක ඉඳල හම්බෙලා! ඉතින් එහෙම වෙන්න බැරිද? ඇයි මිනිස්සු හිතන්නෙ රතුගම මන්තර බලයෙන් හරකව ලැබුනා කියල. රතුගම ගුරුන්නාන්සෙ කලොත් ඉතින් ආයෙ වැඩක් වරදින්නෙ නෑ. ඒ ශිල්පෙ ඒ විදිහටම පොඩි ගුරුන්නාන්සෙ.සුරංගටත් පිහිටල තියෙනව. ගමේ අය එහෙමයි හිතුවෙ.

දැන් ඉතින් නාලකයටත් මොනා හරි කරල දෙන්න එපැයි. තාත්තට කියන්න ඕනෙ නෑ. මමම කරනව මේක. සුරංග එහෙම හිතල ගෙදර ගියා. ගෙදර ගිහින් ගත්තා ගෙදර තිබ්බ මොකද්දෝ හිසේ ගාන සුවඳ තෙල් බෝතලයක්. ඒකෙන් ටිකක් වෙන කුප්පියකට දැම්මා. "රාජා හෝ මාහෝ ගංගා හෝ..රාජාහෝ මාහෝ සසඳි හෝ..රාජා හෝ මාහෝ සසඳි හෝ..ඒස්වා හඃ කෙල විලාමපලයං...මාව මේ කරදරෙන් බේරපං...." එහෙම කියල මැතිරුවා. හරියටම වශියක් කරන්න ඒ දෙන්නගෙ නම් දෙක ඕනෙ. තව පුලුවන්නම් ඇඳගෙන ඉන්න ඇඳුමෙ නුල් කෑල්ලක් ඕනෙ. තාත්තා නම් ඕක හරියටම කරනව. දවස් තුනක්,පහක්,හතක් වගේ තියාගෙන ජීවම් කරල දෙනව. හැබැයි ඉතින් ගානක් ගන්නව. නාලකය මේක සුරංගට කියල කරගන්නෙ යාළුකමට නොමිලේ නැත්තම් අඩු ගානට කර ගන්න. මොකෝ නාලකය සල්ලි කාරයෙක් යැ. ඒත් සුරංගට හිතුනෙ මහ අමුතු විදිහට. මට ඕන්නෑ පොඩි ගුරුන්නාන්සෙ වෙන්න. විභාගයක් පාස් උනත් ඒක ගුරු කමකින්, ලස්සන ගෑනු ළමයෙක් එක්ක කතා කලොත් ඒක වශියක්, කොටින්ම ගෑනු ළමයි සුරංග එක්ක කතා කරන්න බයයි. ගමේ කාගෙ හරි හොම්බ කට සමතලා උනොත් හරි වැලිගම්පිටි ගියොත් හරි සමහර වෙලාවට ඒකත් රතුගම ගුරුන්නාන්සෙගෙ වැඩක්. ඔන්න ඕකයි තත්වෙ. දවස් තුනක් විතර මේ කුප්පිය ගෙදර තියාගෙන ඉඳල නාලකයට ගිහින් දෙන්න ඕනෙ. සුරංග වශී තෙල් කුප්පිය පොත් රාක්කෙ මුල්ලෙන් තිබ්බා. ඔන්න පහුවදා ආයෙම නාලකය සුරංගට මුණ ගැහෙනවා. "පොඩි ගුරුන්නාන්සෙ .වැඩේ පටන් ගත්තද? අන්න දැන්ම ප්‍රතිඵල ලැබෙනවා...සසඳි මට හිනා වුනා නෙ....ඔවූ..කවදාවත් නැතුව පුදුමයි....කොහොමද...පොඩි ගුරුන්නාන්සෙ ගෙ පවර්ස් තමයි..මතුරන්න ගත්ත විතරයි තාම නෙ...දැනටමත් රිසාල්ට් එනව..අනේ මේ..වැඩේ කරල දෙන්න හොඳේ.... දැනටම මෙහෙම නම් වැඩේ ඉවර කලාම කොහොමද? අනිවාර්යයෙන් හරියනවනෙ..මං දන්නැද්ද රතුගම පොඩි ගුරුන්නාන්සෙ ගැන..." 

"අනේ මේ නාලකය උඹ ඔව්ව අතන මෙතන කියෝනව හෙම නෙමෙයි..හරිය." සුරංගට කියවුනේ කේන්තියෙන්. මේ මොකද්ද බොලේ මේ වෙන්නෙ? මම මැතිරුවෙත් බොරුවට!සුරංගට එහෙම හිතුනට කිව්වෙ නෑ.

හවස කොල්ලො කට්ටිය ම සෙල්ලම් කරන්න පිට්ටනියට එන බව සුරංග දන්නවා. සුරංගත් නිකන් ඉන්න බැරි කමට පිට්ටනිය පැත්තට ගෑටුවා. නාලකය, එතකොට වජිර, රසික, බිනර හෙවත් බෝගල සවුන්දිරිස් ඔය ඔක්කොම ඇවිත් අද සම්බෝල කඩනවා. සුරංගත් ගිහින් කට්ටියට එකතු වුනා. "අඩේ අද පොඩි ගුරුන්නාන්සෙත් ඉන්නව..මරු.." කට්ටියම සුරංගව පිළිගත්තෙ සතුටින්. සුරංගත් කට්ටිය අතරෙ දැන් එහෙ මෙහෙ දුවනව. ඔන්න එකෙකුට බෝලෙ අහුවෙනව..ඒකෙන් අනික් එකාගෙ පිට මැද්දට චටාර් ගාල රබර් බෝල පාර වදිනව. වැදුනු එකා පිට අතගගා දුවනව. බෝලෙ ආයෙත් එකෙක් අහුල ගන්නව ඌ ළඟම ඉන්න තව එකෙක්ට ගහනව. අනික් උන් තමුන්ට වදියි කියල හිතාගෙන පිටවල් අකුල ගෙන ඈතට දුවනව. ඕකයි සෙල්ලම. සුරංගටත් බෝලෙ අහුවුනා. දමල ඇරිය බිනරයගෙ පිටට. ඊළඟට බෝලෙ අහු වුනේ නාලකයට. ළඟම හිටියෙ සුරංග. සුරංග තමුන්ට වදියි කියල හිතාගෙන පිටත් අකුලගෙන ඈතට දිව්ව. දුවන ගමන් ඇස් කොනෙන් දැක්ක,නාලකය තමුන්ට ගහන්න ගිහින් ඌට එහෙම ගහන්න හොඳටම පුලුවන් කම තියෙද්දි ඈත දුවපු වෙන එකෙකුට ගැහුව. බෝල පාර වැරදුනා. සුරංගත් බෝලෙ ගන්න දිව්ව. ඒ සැරේ එක අහු වුනේ රසිකට. ඌත් ළඟම හිටපු සුරංගට ගැහුවෙ නෑ. සුරංගට ගහන්නත් හදල නිකන් බයාදු විදිහට හිනාවෙලා....ටිකක් ඈතින් හිටපු බෝගල සවුන්දිරිස් ට ගැහුව. සුරංග ආයෙත් ඒ පස්සෙ දිව්ව. සවුන්දිරිස බෝලෙ අරං රසිකට ගැහුව. රසික නාලකට ගැහුව. සුරංග නිකන් පස්සෙන් දුවන විතරයි. එක පාරටම තමුන්ගෙ කකුල් පණ නැති වේගෙන යනව වගේ සුරංගට දැනුන. අවට පරිසරයේත් මහා නිහඬ කමක් තිබුනෙ. සුරංග දිවිල්ල නතර කලා. අනික් කට්ටියම දැන් එක පොරේට පිට්ටනිය අනික් පැත්තෙ. සුරංග විතරක් මේ පැත්තෙ. 

"යකුනේ ගහපියව් ඕකෙන් මගේ පිටටත් තොපි...." සුරංග එහෙම කෑ ගහපු සද්දෙ කබරගල කන්දෙ හැපිල දෝංකාර දුන්න. 

අනුෂ්ක තිලකරත්න