Friday, December 22, 2017
චිත්‍ර ප්‍රදර්ශනය
පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් සාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි මේ සැරෙත් චිත්‍ර ටික ඔක්කොම ප්‍රදර්ශනේට තියනවා. පොඩි උන්ගේ සතුටනේ. ඔක්කොටම තෑගි දෙනව කිව්වම සෑහෙන්න උනන්දුවෙන් කට්ටිය චිත්‍ර ඇන්දා. බලමු මොනාද මේ සැරේ කියල. "අපි පංසල් යනවා." කවුද මේ ....දිනිදු උදාර . 3 වසර. ආ..පවුලම පංසල යනවා. ඈතින් චෛත්‍ය පෙන්නෙ. පස්සෙන්ම දිනිදුලගෙ බල්ලත් යනවා. දිනිදු අඳින ඕනම චිත්‍රයක කොහෙන් හරි මේ බල්ලත් ඉන්නවා. එක පාරක් දිනිදු "බුදු වීම" ඇඳල තිබ්බ. සිදුහත් බෝසතාණෝ බුදුවෙන තැන පැත්තක දිනිදුගෙ බල්ලත් ඉන්නව. එහෙම තමයි ඉතින් පොඩි උන්ගෙ ලෝකෙ.
මේ මොකද්ද? යුද්ධයක් වගේ. "හමුදාවෙ මාමලයි කොටි මාමලයි යුද්ධ කරපු හැටි". මොකක් යකෝ..කොටි මාමල..? හිහි. මමත් ගුටි කනව මේ මාතෘකාව දැම්මොත්..කමක් නෑ "යුද්ධය" කියල මාතෘකාව නම් වෙනස් කරන්න බැරියැ. කවුද මේ ආටිස්ට් ?. පසන් තාරක.. ආ පසන් ගෙ මාමා කෙනෙක් ඉන්නෙ හමුදාවෙනෙ. මිනිහට ටිකක් ආමි උණ.. ඒකයි.
ඊළඟට චේතන ගෙ "රොකට් එක". රොකට් එක ඇතුලෙ චේතන ඉන්නවා. හිනා වෙවී. පොඩි එවුන්ගෙ ලෝකෙ මොන තරම් නිදහස් ද? හිතෙන දේ අඳිනවා. ඒත් මේකා මේ හැම එකේම ඇමෙරිකන් කොඩිය ගහන්නෙ මොකෝ. අපේ කොඩිය ඇඳපන්කො පුතේ.
මේ කවුද? හොල්මනක් ද?. "මනමාලී". පබසරා දිලිනි ගෙ චිත්‍රෙ. නිකන් ලේ බීල වගේ. හික්.. මගුල් ඇඳුමත් හෙන විච්චූර්ණයි. පොඩි එකී සෑහෙන්න මහන්සි වෙලා තියෙනව මගුල් ඇඳුම අඳින්න. පාට පාට. ඒකිට හිතෙන හැටි නෙ. ලොකු උනාම බියුටි සැලෝන් එකක් වත් දාන්නෙ නැතෑ.
ඊළඟට "තාත්තා බැංකුවට යනවා". දෙව්මිණි ගේ චිත්‍රෙ. තාත්තා කාර් එකේ වැඩට යනවා. දෙව්මිණී ගෙ ගෙදර අය සේරම "ටටා" කියනවා එළියෙ ඉඳන්. දරුවා හැඩතල සහ වස්තූන් හොඳට අඳුන ගෙන තියෙනවා. වර්ණ සංකලනයත් හොඳයි. තව දියුණු වෙන්න පුලුවන් දරුවෙක්.
මේ මොකද්ද? නුග ගහ. සඳුන් තිසර. 4 වසර. පුදුමයි. මේ වයසෙ සාමාන්‍ය ළමයෙකුට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්. බලන්න නුග ගහේ තියෙන අපූරු හැඩ තල මතුකරගෙන තියෙන විදිහ. පරිසරයෙන් නුග ගහ කැපිල පේන විදිහට වර්ණ පාචිචි කරල තියෙන හැටි. අපූරුයි දරුවෝ.! මට ඉතින් ඕන තරම් කාලයක් පොඩි එවුන්ගෙ චිත්‍ර එක්ක ගත කරන්න පුලුවන්. හරිම අව්‍යාජ ලෝකයක් තියෙන්නෙ. තව චිත්‍ර මිටියක් ම තියෙනවා බලන්න.
බලමු මෙකත්. "අපේ චිත්‍ර සර්"..හෑහ්. මෙන්න මාව ඇඳල. අපොයි මගේ හැටි !. හෙන බඩක් දාල. මට ටයි එකකුත් දාල. කවුද මේක ඇන්දේ?..තත්සරණි පෙරේරා. අපොයි දුවේ මං මෙච්චර කැතද? හි හි හී. පොල්මුඩ්ඩක් වගේ රැවුලකුත් තියෙනවා. ප්‍රදර්ශනෙන් පස්සෙ මේක මං තියා ගන්නවා.
මේ මොකද්ද? වෙස්සන්තර කතාවෙ ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දීමද? නෑ. "තාත්තා අම්මට ගහනවා. මල්ලීයි මායි අඬනවා".. අපොයි..කවුද මේ දරුවා?...දිළිණි අප්සරා... මගේ පිට දිගේ හීන් දාඩියක් මතුවෙනවා වගේ. මේ යකෙක් වගේ ඇඳල තියෙන්නෙ තාත්තාද?. අම්ම බිම වැටීගෙන ඔලුව අල්ලගෙන ඉන්නව. දිළිණි අප්සරයි මල්ලියි මේ පැත්තක අඬනවා. පුටු පෙරළිලා.වලං පිඟන් බිම වැටිලා.මං හීනයක් දකිනවද? "තාත්තා අම්මාට ගහනවා . මල්ලියි මායි අඬනවා". නෑ මේ මගේ අතේ තියෙන්නෙ චිත්‍රෙ.දිළිණි අප්සරා.. 3 වසර.අපොයි දෙය්යනේ මේ චිත්‍රෙ මගේ අතට ආවෙ ඇයි? මොකටද මට මෙහෙම ප්‍රදර්ශනයක් තියන්න හිතුනෙ ?. මගෙ ඔලුව කැරකෙනවා වගේ. පොඩි එවුන් ගෙ චිත්‍ර හරිම අව්‍යාජම තමයි. මෙච්චර වෙලා මට තිබ්බ සතුට කොහේද? පපුවෙ මහා බරක් දැනෙනවා.එක්කෝ දිළිණිගෙ චිත්‍රෙ අයින් කරනවා.ඒත් එහෙම හොඳද? නෑ. චිත්‍රෙට සායම් හැලුනා කියනවා. කියල වෙන එකක් ඇඳල දෙන්න කියනවා. ඒත් කෙල්ල මේකම ඇන්දොත්..නෑ. එහෙම වෙන එකක් නෑ. කෙල්ල වෙන මොනව හරි අඳියි. ඔව් එහෙමවත් කරනවා. මට යාන්තම් හුස්මක් වැටෙනවා වගේ. මේ චිත්‍රෙ මං පරිස්සම් කරල තියා ගන්නවා.
"තාත්තා අම්මාට ගහනවා. මල්ලියි මායි අඬනවා".දිළිණි අප්සරා, 3 වසර.
Tuesday, December 19, 2017
නාට්‍යයේ මිය ගිය නළුවාට
මගතොටදී හමු වුවද
ඉඳ හිට සෙල්ෆියක් ගත්තද
මුහුණු පොත තුල සිටියද
ඉතින් උඹ මිය ගොසිනි
බලන හැම කොටසක
දැනෙයි උඹ නැති අඩුව
උඹ නැති ලෝකයක
පාළුව දැනෙයි හදවතට
නාට්‍යය බව දැන දැනම
අපි ඉන්නේ දුකින් මය
ඉඳගෙන හිටියත් අනෙක් පස
දැනෙන්නේ උඹ නැති බවය
හුඟ දෙනෙකුට බැහැ ඉතින්
ඔවැනි ලෙස මිය යන්න
ඊළඟ කොටසත් බලන කොට
නිසැකවම අපි දුකින්මය
Monday, December 11, 2017
අම්මාගේ චිත්‍රය
අම්මා අද චිත්‍ර අඳින්න යනවා මුහුදු වෙරළට. ඒ කියන්නෙ තවත් මම කැමතිම දවසක්. මං තමයි අම්මගෙ චිත්‍ර බඩු උස්සගෙන යන්නෙ. කියන්න කලින් මං කැමැත්තෙන්ම කරන එකම වැඩේ. මුහුදු වෙරළ කිට්ටුවෙන කොට මගේ හද ගැස්ම වැඩි වෙනවා. කී පාරක් ඇවිත් තිබුනත් හැමදාමත් එහෙම වෙනවා.
අම්මා මුහුදු වෙරළේ සුදුසු තැනක් බලලා චිත්‍රය අඳින්න ලෑස්ති උනා. ඊසල් එක හරියට හදා ගෙන කඩදාසිය අමුණගෙන පැන්සල් පින්සල් පාට ඔක්කොම හරි තැන්වල තියාගෙන ඊළඟට මට සුපුරුදු අවවාදෙ දුන්නා. "ඔයා ඈතට යන්න එපා . මට පේන්න ඉන්න." හරි. මං එයා කියන විදිහට ඉන්නවා.
මුහුද. ඒ ලස්සන ලොකු අද්භූත දෙය මං දිහා බලාගෙන ඉන්නවා. මං අම්මාගේ අවවාදය යටතේ උනත් රැල්ල පාගනවා. මගේ කකුල් යටින් වැලි හෝදගෙන යනවා දැනෙන එකට මං හරිම කැමතියි. එතකොට නොවැටී ඉන්න ලොකු දක්ෂ කමක් වගේම නිර්භීතකමක් අවශ්‍යයි.
මම විටින් විට අම්මා දිහා බලනවා. අම්මා චිත්‍රය අඳිනවා දිගටම. මටත් රැල්ල පෑගීම එපා වෙන්නෑ වගේ. මං වෙරළේ වලක් හෑරුවා. දැන් ඊළඟ රැල්ලෙන් ඒක වැහේවි.
වෙරළ කිට්ටුවෙන් අයිස් ක්‍රීම් වෑන් එක තියෙනවා. අදත් මට අයිස් ක්‍රීම් එකක් ලැබෙයි. හැබැයි අම්මත් එකක් ගන්නව නම් තමයි මම කැමති. නැත්නම් මට හිතෙන්නේ මම නරක ළමයෙක් කියලා.
අම්මා තවම චිත්‍රය ඇඳලා ඉවර නෑ. එයා සමහර විට අඳින්නෙ ප්‍රදීපාගාරය වෙන්න පුලුවන්. නැත්නම් මං වෙන්නත් පුලුවන්. මුහුදු වෙරළේ සෙල්ලම් කරන මම.
අම්මා චිත්‍ර ඇඳලා ඉවර වෙනකම් අයිස්ක්‍රීම් වෑන් එක තියේවිද?
මට පොඩි බයකුත් දැනෙනවා. ඒත් අම්මට කියන්නේ කොහොමද ඉක්මනට අඳින්න කියලා. අම්මා ඊසල් එකෙන් පොඩ්ඩක් පස්සට ගිහින් චිත්‍රය බලනවා.ඇඳලා ඉවරද?. නෑ අන්න ආයෙත් පාට ගානවා. කමක් නෑ. මම තවත් වෙලා ඉන්නම්. මම ඈත තියෙන ප්‍රදීපාගාරය දිහා බලනවා. ඔන්න මට තියෙනවා වැඩක්. කාල තුවක්කු වෙඩිල්ලකින් ප්‍රදීපාගාරය විනාශ කරන හැටි සැලසුම් කිරීම.
කාලතුවක්කුව හරි ආනතියට ගන්න ඕනෙ. ඊට පස්සෙ එක දිගට වෙඩි තියනවා බිමට සමතලාවෙනකම්.
දැන් ඒකත් ඉවරයි. ආයෙමත් මට කරන්න දෙයක් ඕනෙ. මට නම් අම්මට වගේ එක දිගට චිත්‍ර අඳින්න බෑ. එයාට පුලුවන් ලස්සන අහස , මුහුද, වෙරළ මේ ඕනෙම දෙයක් චිත්‍ර කොලයක අඳින්න. ඒත් මට බැහැ. වතාවක් මං එයා වගේ චිත්‍රයක් ඇන්දා. හැමෝම ඒකට හිනා උනා.
කකුළුවෙක් , බූවල්ලෙක් වගේ සතෙක් දැන් වෙරළට ආවොත් නම් තව සෑහෙන්න වෙලාවක් මට ඉන්න පුලුවන්.
අන්න අම්ම කතා කරනවා. යන්තම් ඇති. චිත්‍ර ඇඳල ඉවරයි. අපි දැන් යනවා. මම.ඉක්මන් කරලා අම්ම ලඟට දිව්වා.
චිත්‍ර බඩු ටික ගෙනියන්න මං එයාට උදව් කරනවා. අයිස් ක්‍රීම් වෑන් එක තාම තියෙනවා. "අම්මේ..මේ මේ..". අම්මට මං මගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා බොහෝම යාප්පුවෙන්. මගේ සතුට වැඩි කරමින් අම්මා අයිස් ක්‍රීම් දෙකක්ම ගන්නවා. එකක් එයාට.
අපි ආයෙත් දවසක මුහුදු වෙරළට එනවා චිත්‍ර අඳින්න. අම්මා අඳීවි. මම උදව්වට එනවා. අයිස් ක්‍රීමුත් ලැබේවි. එයා අඳින දේ කවදාවත් මට වැදගත් නෑ. ඒත් මං ආයෙත් එනවාමයි.
Monday, November 13, 2017
දිය කඩිත්තක් ළඟ ඒ පුංචි වනරොද
දිය කඩිත්තක් ළඟ
ඒ පුංචි වන රොද
සඟවගත් රහසක්
එහි ඇතැයි කොඳුරන
ඇවිදින්ම බලන්න
ඔබට හිමිවියයුතු යමක්
මෙහි තිබෙයි සඟවගෙන
රහසින්ම ඇවිදින්
රහසේම ගෙන යන්න
කටවත් නොකී රහසක්
මා ඔබට පවසමි
ඉතා රසවත් කතාවක්
ඔබට පමණක් කියන්නෙමි
දිය කඩිත්තක් ළඟ
ඒ පුංචි වන රොද
ළඟින් යන එන විටදි
හීන් හඬකින් කොඳුරන
Wednesday, October 25, 2017
තාල වර්ගයේ පොල් ගස
තාල වර්ගයේ පොල් ගසකි
බොහෝ ප්‍රයෝජන ගෙන දෙන
ඇට්ටියේ සිට
පොල් ගෙඩිය තෙක්
ගොක් කොලේ සිට
වියූ පොල් අත්ත තෙක්
හනසු පොල් මල් පැල මද
ඇයි තව පොල් පරාල...
නුග ගස් ඕක් ගස් මෙන්
උසස් පන්තියේ නොවන
බෝ ගස් නා ගස් මෙන්
පිං වන්ත නොවන
පොප්ලර් ගසක් මෙන්
ලෝකප්‍රකට නොවන
කොයියම් වෙලාවක හරි
ඔළුවටම හෙණ වදින
තාල වර්ගයේ පොල් ගසකි
කිසිදා කවියක් නොලියවෙන
Wednesday, September 20, 2017
මායිම් ගම්මානයේ ටීචර්
ඒ
ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද
නෙමෙයි කොහොමද?
දන්නේ
නැද්ද තවමත්
මායිමේ
ගම්මානයක් බව මේක
තාමත්
ලයිට් නැති
ඉස්සර
කොටි ගහපු
දැනුත්
අලි ගහන
සරඹ
කරගන්න පණ නැති
ළමයි
බඩගින්නෙ පාසැල් එන
එයා
විතරක් ඔච්චර
හිනා
වෙන්නේ කොහොමද?
අලි
බෙට්ටක් කිව්වත්
ගොම්
බෙට්ටක් කිව්වත්
කාක්
බෙට්ටක් කිව්වත්
හිනා
වෙනවා ටීචර්..
ටීචර්
දවසක් මං
බංකුව
කඩා ගෙන වැටුනා බිම
ඇණුනා පස්ස තරු පේන්න
(ඉතින්
ඒකටත් හිනා යනවාද එච්චර)
කතාව ඇහුවාම
ටීචර්ට
හිනා ගියා
හොඳටෝම
සිකුරාදා
දහවල් හැමදාම
ගමේ
යනකොට ටීචර්
තනිවෙනවා අපි
දුක
හිතෙනවා අපිට
ආයෙත්
ආවම සඳුදාට
හිනායන
කතා කියන්නම්
සති
අන්තයේ සිදුවෙච්ච
වැඩිය
හිනා නොගියත්
ටීචර්
ඇති තරම් හිනාවෙන්න
හිනා
වෙන්නම් අපිත් ඒ
එක්ක
Friday, June 16, 2017
වංගුවේ පොඩි කඩේ
මුඩු පොල්තෙල්
රහක්
දිවග ගැටෙනා
මොහොතක
වංගුවේ
පොඩි කඩේ
නිතැතින්ම
සිහිවේ මට
පුස්
රසැති පොල් ටොපිද
හං
වෙච්ච මුරුක්කුද
බුල්ටොද
තල කැරලිද
බුලත් දුංකල
හැරෙන්නට
වෙන යමක්
තිබුනාද
වංගුවේ
පොඩි කඩේ
අතේ
තිබුනොත් රුපියලක්
මොනාහරි
ඕනෙවෙයි මට
ළඟින්
යන එන කලට
වංගුවේ
පොඩි කඩේ
වැඩි ලකයකුත්
නැතිව
වයසක් ජෝඩුවක්
හිටිය
දින හතම
ඇර තිබූ
වංගුවේ
පොඩි කඩේ
හැදෙන
කොට අලුත් ගම
පෙරලගෙන
රබර් ගස්
තලා
දං බෝවිටියා පඳුරු
පොඩි
කඩේ විතරක්
ඉතිරි
වෙන්නේ කොහොම
Tuesday, May 16, 2017
අපෝ දයා කුග කෝ සමග තවත් පාඩම් මන්ත්‍ර....
විභාග වලට පාඩම් කරන කවුරුන් වුව මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය නම් පාඩම් මතක තබා ගන්නේ කෙසේද යන්නයි. බිලියන ගණනක් වන කරුණු මතක තබා ගෙන විභාගයේ පැය කීපය තුල සියල්ල වැමැරීම ඇත්තටම අසීරු කරුණකි. "දිව අග තියෙනව , අය්යෝ අන්තිම මොහොතෙ අමතක වුනා, හොඳටම මතක තිබිල අමතක වුනා නෙ, ශික්..ඒ පොඩි සීන් එක මතක නැති වුනා නෙ.." වැනි නාහෙන් ඇඬිලි විභාගයක් අවසානේ අනිවාර්යයනෙ ඇසේ. ආනන්ද හාමුදුරුවන්ට වගේ මතකයක් තිබ්බනම් අපිත් ගොඩ නේ යනුවෙන් නොහිතපු එකෙක් නැති තරම් ය.
පාඩම් කරන මන්ත්‍ර ඕනෑම විෂයක් තුළ නිර්මාණය වේ. මේ පාඩම් මන්ත්‍ර ඉතා ප්‍රභලය. අදින් වසර 15-20 කට පෙර යොදා ගත් මෙම පාඩම් මන්ත්‍ර අදද මතකයේ පැවතීමෙන්ම මෙම මන්ත්‍ර වල ප්‍රභලතාවය තේරුම් ගත හැකිය.
අපෝ දයා කුග කෝ - ශ්‍රී ලංකාවේ රාජධානීන් මාරු වුන පිළිවෙල (අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ..)
සක සයින් බක කොස් සබ ටෑං - ත්‍රිකෝණ මිතිය
ආවර්තිතා වගුවටම මන්ත්‍ර සෑහෙන්න තිබුනි. මේ එයින් කිහිපයක්
හන්දියෙ ලිසියා නාන කොට රුබියා කැස්සා පස්සෙන් - 1 ඛාණ්ඩය
බෙම් කැස්බරා - 2 ඛාණ්ඩය
බෝතලේ ඇලී ගැලී ඉන්නා තැලී - 3 ඛාණ්ඩය
කසීගෙ සේලෙ - 4 ඛාණ්ඩය
(5 වෙනි ඛාණ්ඩෙටත් මන්ත්‍රයක් විය. එය මෙහි පළ නොවේ )
ඔන්න සමන් සෙල්ලමට තේ පොවනව- 6 ඛාණ්ඩය
මතකව විදිහට ඔන්න ඔහොමයි. තව සෑහෙන්න තිබේ.
සරස්වතී මන්ත්‍ර, ගණ දෙවි මන්ත්‍ර වගේ බහුබූත වලට වඩා පාඩම් කරන්න කට්ට කන නිර්මාණශීලී සිසු සිවියන්ගේ මෙවැනි ක්‍රම ඇත්තටම ප්‍රයෝජනවත්ය. පොඩි පොඩි ගල් අච්චු කොපි කිරීම් මිසක් මම නම් ඤාණ පටි ගැසීමට නම් එතරම් දක්ෂයෙක් නොවෙමි.. තනිකරම ඤාණ පටිවලින්ම ගොඩ යන අතිදක්ෂයන් ගැන අසා ඇත්තෙමි. උන් අද උසස් රැකියා කරමින් යෙහෙන් වැජඹේ. ඉතින් මොකෝ? එකටත් දක්ෂකමක් තිබිය යුතුය.
Saturday, May 6, 2017
කව්බෝයි උණ
මට කව්බෝයි උණ වැලඳී දැන් අවුරුදු 20ක් පමන වෙයි. මා පාසැලේ 8 හෝ 9 වසරේ කාලයේ මගේ පියා ගෙනත් දුන් "ෂේන් (Jack Schaefer) " කියවූ දා පටන් මේ කව්බෝයි උණ තවමත් සුව වී නැත. මෙහි පරිවර්තනය සිරිල් සී පෙරේරා ගෙනි. බටහිර මිටියාවතට හුදෙකලාවේ එන අද්භූත ගොපලු චරිතය මගේ සිත වසඟ කර ගත්තේය. පොත මේ වනවිට 10-15 සැරයක් කියවා කට පාඩම් වී ඇති සෙයකි. ඉන්පසු මගේ සිත් ගත් පොත "ගොපලු රජා" ය. අසුරු සැනින් වෙඩි තබන අසම සම වෙඩික්කරු බක් ඩූන් ගේ වීර ක්‍රියා ඇතුලත් එම පොත ද මම 10-12 වතාවක් කියවා ඇත්තෙමි.
කව්බෝයි වීමට අත්‍යාවශ්‍ය වන පිස්තෝලයක් නම් මට රුපියල් 50ක් 100ක් වැනි මුදලකට මිලදී ගත හැකි විය. කව්බෝයි තොප්පිය වෙනුවට ආදේශකයක් සොයා ගැනීමට හැකිවිය. පිස්තෝල කොපුව,පතොරොම් පටිය ආදී සියල්ල කාඩ්බෝඩ් සහ පරන ඉනපටි ආදියෙන් මට ගෙදරදීම සාදා ගත හැකිවිය.බලවත්ම ප්‍රශ්නය අශ්වයාය. අශ්වයෙක් ඇතිකිරීමට තරම් මට වත්කමක් නොවීය , එකල. එබැවින් අශ්වයා නොමැතිව පයින්ම මම කව්බෝයි ජීවිතය ගෙව්වෙමි.
කව්බෝයි චිත්‍රපට බැලීමේ ආසාවද එපරිද්දෙන්ම ඉස්මුරුත්තටම නැග තිබිනි. ඩොලර්ස් චිත්‍රපට මාලාවට අමතරව සිල්වරාඩෝ මගේ ප්‍රියතම චිත්‍රපටයක් විය. ඊට අමතරව බ්‍රිස්කෝ කවුන්ට් ජූනියර් රූපවාහිනී කතා මාලාවද මම නොවැරදීම බැලීමි.
ක්ෂිණික වෙඩි පහරකින් පසු වට කීපයක් කරකවා අසුරු සැනින් පිස්තෝලය කොපුවේ දමා ගන්නා දර්ශනය කවදත් මගේ සිත් ගත්තේය. මා අත තිබූ ප්ලාස්ටික් පිස්තෝලෙන් මේ වැඩ කිඩ දැමීමට මම බොහෝ උත්සාහ දැරීමි. කව්බෝයිලා ඇමෙරිකාවේ තාමත් ඉන්නවද? තාමත් පිස්තෝල එල්ලන් යනවද? මෙයාකාරයේ ප්‍රශ්නද එකල මා සිත තුල විය.
ෂේන් ජෝ ස්ටාරට් ගේ වත්තේ පැරණි මුලක් ගලවයි. මමද එලෙස අපේ වත්තේ උදුරා දමා තිබූ පොල් මුලක් මහත් වෑයමෙන් තනිවම කපා කොටා ඉවත් කර දැමුවෙමි. එය මට මහත් ජය ග්‍රහණයක් විය. උදුනේ සෑදූ විස්කෝතුද ඇපල් පුඩිං ද සාදා දෙන්නට මාරියන් කෙනෙක් නැති නිසා අම්මා විසින් ප්ලේන්ටියක් ද බටර් පාන් පෙති කීපයක්ද ලබා දුන් බව මතකය.
\
ෂේන් චිත්‍රපටයෙන්
කව්බෝයි චිත්‍රපට බැලීමේ ආසාවද එපරිද්දෙන්ම ඉස්මුරුත්තටම නැග තිබිනි. ඩොලර්ස් චිත්‍රපට මාලාවට අමතරව සිල්වරාඩෝ මගේ ප්‍රියතම චිත්‍රපටයක් විය. ඊට අමතරව බ්‍රිස්කෝ කවුන්ට් ජූනියර් රූපවාහිනී කතා මාලාවද මම නොවැරදීම බැලීමි.
ක්ෂිණික වෙඩි පහරකින් පසු වට කීපයක් කරකවා අසුරු සැනින් පිස්තෝලය කොපුවේ දමා ගන්නා දර්ශනය කවදත් මගේ සිත් ගත්තේය. මා අත තිබූ ප්ලාස්ටික් පිස්තෝලෙන් මේ වැඩ කිඩ දැමීමට මම බොහෝ උත්සාහ දැරීමි. කව්බෝයිලා ඇමෙරිකාවේ තාමත් ඉන්නවද? තාමත් පිස්තෝල එල්ලන් යනවද? මෙයාකාරයේ ප්‍රශ්නද එකල මා සිත තුල විය.
ෂේන් ජෝ ස්ටාරට් ගේ වත්තේ පැරණි මුලක් ගලවයි. මමද එලෙස අපේ වත්තේ උදුරා දමා තිබූ පොල් මුලක් මහත් වෑයමෙන් තනිවම කපා කොටා ඉවත් කර දැමුවෙමි. එය මට මහත් ජය ග්‍රහණයක් විය. උදුනේ සෑදූ විස්කෝතුද ඇපල් පුඩිං ද සාදා දෙන්නට මාරියන් කෙනෙක් නැති නිසා අම්මා විසින් ප්ලේන්ටියක් ද බටර් පාන් පෙති කීපයක්ද ලබා දුන් බව මතකය.
Django, Quick and Dead මෑත කාලයේ මා බැලූ කව්බෝයි චිත්‍රපට වෙයි. වසර විස්සක් පමණ ගත වුවද අදටත් මගේ කව්බෝයි උණ හොඳවී නොමැත.එය හොඳවෙන සේයාවක්ද නොමැත. දකුණු අතේ මැණික් කටුවට ආසන්නයෙන් පිස්තෝලයක් එල්ලාගෙන අශ්වයන්ට සන් කරන කොකු යෙදූ පාවහන් පැළඳ බටහිර මිටියාවතේ සැරි සරමින් අපරාධකරුවන් දඩයම් කිරීමට මට ලබන ආත්මයේ හෝ ඉඩක් ලැබේවායයි පතමි.
Thursday, March 30, 2017
අර ගැඹුරු චිත්‍රය
ලස්සනට අස්කරන්
පිළිවෙලට තියාගෙන
ඉන්නට මටත් ඕනැ විය
ඒ මගේ සිරි නිවස
මගේ සිහිනය
වැලි ගෙනත් දමන කොට පුංචි පුතු
හොඳින් අතු ගෑ සාලයේ
ඉවසං හිටියා මමත්
නොඉඳම බැරි කමට
සති අන්ත ශ්‍රමදාන
එස් පහට අමතරව
තව තවත් ක්‍රමවේද
ගේ ලස්සනට තියා ගන්න
ඒ මගේ සිහිනය
මගේ සිරි නිවස
මහ ගැඹුරු චිත්‍රයක්
එල්ලගෙන සාලෙ මැද
ගැඹුරුම නිහඬතාවයක
දැහැනකට සමවදින්න
ඒ මගේ සිහිනය...
කොතෙක් කල් ගතවුනිද....
කොතෙක් දේ සිදුවුනිද.....
දැන් හරිම පිළිවෙලයි
පිරිසිඳුය සංසුන්ය
හැදි කරන්නට කෙනෙක් නැත
මේ නිහඬ ජීවිතය
බොඳවගිය දෑසින්
වීදුරු දෙනෙත විනිවිද
තනිව රසවිඳිමි මම
අර ගැඹුරු චිත්‍රය
Tuesday, February 21, 2017
චන්දරේ ගේ පොඩි පුතා
ත්‍රීවීල් චන්දරේ ගේ පොඩි පුතා
ත්‍රීවීල් එකටමලු ආදරේ
ගෙනැවිත් දුන්නට කොච්චර
කාර් ලොරි ටිපර් නැව් හිටං
ත්‍රීවීල් එකටමයි ආදරේ
තහඩු කෑල්ලෙන් නිමවා
උලා ඇති රතු නිල් ලැකර්
ගොඩේ පෙනුමැති ආටාවටයි
කොයි වෙලාවෙත් කැමතිම
තාත්තාගෙම පුතා නෙව
කවදහරි ඉතින් පිය උරුමය
බැඳගෙන රීප්ප කෑල්ලක් පුටුවක
අදිනවා උඩට ලීවරය
ප්රාඩෝ මොන්ටේරො බෙන්ස්
තියෙද්දිත් මෙච්චර හැම තැන
තහඩු කෑල්ලෙන් ගැසූ ආටාව
විතරමද මේකට සෙල්ලමට
හයර් නැති වූ දවසක
ඇවිදින් චන්දරේ ගෙදර
විසි කලා ආටාව කැලේට
හැප්පුනු නිසා කකුලක
චන්නදරේ ගේ පොඩි එකා
හෙව්වාලු ආටාව ගේ පුරා
හරියට දුක් වෙමින් චන්දරෙත්
හෙව්වාලු ආටාව ගේ පුරා
Subscribe to:
Posts (Atom)