Monday, December 11, 2017

අම්මාගේ චිත්‍රය



අම්මා අද චිත්‍ර අඳින්න යනවා මුහුදු වෙරළට. ඒ කියන්නෙ තවත් මම කැමතිම දවසක්. මං තමයි අම්මගෙ චිත්‍ර බඩු උස්සගෙන යන්නෙ. කියන්න කලින් මං කැමැත්තෙන්ම කරන එකම වැඩේ. මුහුදු වෙරළ කිට්ටුවෙන කොට මගේ හද ගැස්ම වැඩි වෙනවා. කී පාරක් ඇවිත් තිබුනත් හැමදාමත් එහෙම වෙනවා.

අම්මා මුහුදු වෙරළේ සුදුසු තැනක් බලලා චිත්‍රය අඳින්න ලෑස්ති උනා. ඊසල් එක හරියට හදා ගෙන කඩදාසිය අමුණගෙන පැන්සල් පින්සල් පාට ඔක්කොම  හරි තැන්වල තියාගෙන ඊළඟට මට සුපුරුදු අවවාදෙ  දුන්නා. "ඔයා ඈතට යන්න එපා . මට පේන්න ඉන්න." හරි. මං එයා කියන විදිහට ඉන්නවා.

මුහුද. ඒ ලස්සන ලොකු අද්භූත දෙය මං දිහා බලාගෙන ඉන්නවා. මං අම්මාගේ අවවාදය යටතේ උනත් රැල්ල පාගනවා. මගේ කකුල් යටින් වැලි හෝදගෙන යනවා දැනෙන එකට මං හරිම කැමතියි. එතකොට නොවැටී ඉන්න ලොකු දක්ෂ කමක්  වගේම නිර්භීතකමක් අවශ්‍යයි.

මම විටින් විට අම්මා දිහා  බලනවා. අම්මා චිත්‍රය අඳිනවා දිගටම. මටත් රැල්ල පෑගීම එපා වෙන්නෑ වගේ. මං වෙරළේ වලක්  හෑරුවා. දැන් ඊළඟ රැල්ලෙන් ඒක වැහේවි.
වෙරළ කිට්ටුවෙන් අයිස් ක්‍රීම් වෑන් එක තියෙනවා. අදත් මට අයිස් ක්‍රීම් එකක් ලැබෙයි. හැබැයි අම්මත් එකක් ගන්නව නම් තමයි මම කැමති. නැත්නම් මට හිතෙන්නේ  මම නරක  ළමයෙක් කියලා.

අම්මා තවම චිත්‍රය ඇඳලා ඉවර නෑ. එයා සමහර විට අඳින්නෙ ප්‍රදීපාගාරය වෙන්න පුලුවන්. නැත්නම් මං වෙන්නත් පුලුවන්. මුහුදු වෙරළේ සෙල්ලම් කරන මම.

අම්මා චිත්‍ර ඇඳලා ඉවර වෙනකම්  අයිස්ක්‍රීම් වෑන්  එක තියේවිද? 

මට පොඩි බයකුත් දැනෙනවා. ඒත් අම්මට කියන්නේ කොහොමද ඉක්මනට  අඳින්න කියලා. අම්මා  ඊසල් එකෙන් පොඩ්ඩක් පස්සට ගිහින්  චිත්‍රය බලනවා.ඇඳලා ඉවරද?. නෑ අන්න ආයෙත් පාට ගානවා. කමක් නෑ. මම තවත් වෙලා ඉන්නම්. මම ඈත තියෙන ප්‍රදීපාගාරය දිහා බලනවා. ඔන්න මට තියෙනවා වැඩක්. කාල තුවක්කු වෙඩිල්ලකින් ප්‍රදීපාගාරය විනාශ කරන හැටි  සැලසුම් කිරීම.

කාලතුවක්කුව හරි ආනතියට ගන්න ඕනෙ. ඊට පස්සෙ එක දිගට වෙඩි තියනවා  බිමට සමතලාවෙනකම්.

දැන් ඒකත් ඉවරයි. ආයෙමත් මට කරන්න දෙයක් ඕනෙ. මට නම්  අම්මට වගේ එක දිගට චිත්‍ර අඳින්න බෑ. එයාට පුලුවන්  ලස්සන අහස , මුහුද, වෙරළ මේ ඕනෙම දෙයක් චිත්‍ර කොලයක අඳින්න. ඒත් මට බැහැ. වතාවක් මං එයා වගේ චිත්‍රයක් ඇන්දා. හැමෝම ඒකට හිනා උනා.

 කකුළුවෙක් , බූවල්ලෙක් වගේ සතෙක් දැන් වෙරළට ආවොත් නම්  තව සෑහෙන්න වෙලාවක් මට ඉන්න පුලුවන්.
අන්න අම්ම කතා කරනවා. යන්තම් ඇති. චිත්‍ර ඇඳල ඉවරයි. අපි දැන් යනවා.  මම.ඉක්මන් කරලා අම්ම ලඟට දිව්වා.

චිත්‍ර බඩු ටික ගෙනියන්න මං එයාට උදව් කරනවා. අයිස් ක්‍රීම් වෑන් එක තාම තියෙනවා. "අම්මේ..මේ මේ..". අම්මට මං මගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා බොහෝම යාප්පුවෙන්. මගේ සතුට වැඩි කරමින්  අම්මා අයිස් ක්‍රීම් දෙකක්ම ගන්නවා. එකක් එයාට. 

අපි ආයෙත් දවසක මුහුදු වෙරළට එනවා චිත්‍ර අඳින්න. අම්මා අඳීවි. මම උදව්වට එනවා. අයිස් ක්‍රීමුත් ලැබේවි. එයා අඳින දේ කවදාවත් මට වැදගත් නෑ. ඒත් මං ආයෙත්   එනවාමයි.

3 comments:

දේශකයා said...

මේ කමෙන්ට් සිස්ටම් එක වෙනස් කරන්න වෙයි.. ඒක වදයක්

Anushka Thilakarathne said...

මොකද දේශකය ඒ?

අරු said...

අමුතුම කතාවක්... මං ආසයි කතාවට...