Tuesday, December 23, 2025

රෙදි වැලක වැනෙන සෞන්දර්යය – විපරීත මිනිස් සමාජයක අව්‍යාජ පිළිඹිබුවක්

 වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ මිනිස්සු සහනය සොයා දෙවියන් වෙත යාමට මත්තෙන් මේ කර්කෂවූ මහපොළොව මත යම්තරමක් හෝ සැපතක් විඳීමට දරණ අරගලය ජීවත්වීම ලෙස නම් කළ හැකිය. කවර මට්ටමක සමාජ ආර්ථික පසුබිමක වුවද, දුක, වේදනාව, කලකිරීම හා අපේක්ෂාභංගත්වය යනු අනිවාර්ය විඳවීම්ම වේ. “රෙදිවැලක වැනුනු සෞන්දර්යයක්” ද තිබෙන බව සිය සාහිත්‍යම ඇසින් දකින ලක්ෂ්මන් කොඩිතුවක්කු, කෙටිකතා අටක් උපයෝගීකරගෙන මෙම අඳුරු යතාර්ථයන් විවිධවූත් නව්‍යවූත් රටාවන්ගෙන් අපගේ රසවින්දනය වෙනුවෙන් යොමුකරයි.

පරම්පරාවම මේ මහපොළොවේම උපන් උන් වූ නමුත්, සිය දරුපවුලට බිම් කඩක නිවසක් තනාගැනීමට නොහැකිව ලතැවෙන විමලය්යාට උරුම, බෙදාගත් බත්පතේ වැලිවැටීමේ — එහෙම නැත්නම් හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටීමේ — අවාසනාව, තුන්වෙනි ලෝකයේ රටක පීඩිත පංතියේ මිනිසුන්ගේ ජීවිතයේ පොදු ලක්ෂණයකි. “අස්ථි” නම් වූ එම කෙටිකතාවෙන් අපවෙත දක්වන ආකාරයට, සමාජවාදී–ධනවාදී බොහෝ දේශපාලන ව්‍යාපාරයන්ට කටගැස්මක් වූයේ මෙම මිනිසුන්ගේ ජීවිතයමයි. ඉතිහාසය ගැන මහත් භක්තියකින් කතාකරන ජාතියක වර්තමාන ඛේදනීය ඉරණම, දේශපාලන ධූරාවලිය තුල මිනිසාට සෙත සැදියයුතු, පොලීසිය උසාවිය පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම්ද පීඩිත මිනිසාගේ සැබෑ දුක් ගැහැට වලට පිළිසරණක් නොවන බව කතුවරයා සිය උසස් ලේඛන ශෛලිය භාවිතාකරමින් නවතාවයකින් යුක්තව අපවෙත කියාසිටියි. ඉතිහාසයේ විවිධ යුගවලදී හැබෑ ජනතා ප්‍රශ්න හඳුනාගත්තවුන් මුහුණදුන් ඛේදනීය ඉරණම සිය ලේඛන ශෛලිය තුලින් නිර්මාණාත්මක විවේචනයකට ලක් කරමින් පාඨක මනස නිවැරැදි දේශපාලනික දිශාවකට යොමුකිරීමට කතුවරයා උත්සාහ දරයි.

සදාචාරය සහ සංස්කෘතිය යනු අපගේ ජීවිතයන්ට එපිටින් පවත්නා, යම් දිනෙක අප විසින් වැළඳ ගත යුතු ජීවිත රටාවන්ද, නොඑසේනම් අපගේ එදිනෙදා ජීවිතය තුළින්ම පැනනැඟෙන හුදු අහඹු ජීවන රටාවක් ද යන්න විමසාබැලෙන මනාකොට රචිත කෙටිකතාවක් ලෙස “රෙදිවැලක වැනෙන සෞන්දර්යය” නම් කළ හැකිය. පතිවෘතාව, බෞද්ධ හා අනෙකුත් ආගමික ඉගැන්වීම් වලින් මෙහෙයවෙන සැමියා–බිරිඳ සංකල්පය, පීඩිත සමාජයක ජීවන අරගලය හමුවේ සැලී බිඳී යන ආකාරය මඟින්, සංස්කෘතිය යනු අනෙකක් නොව ජීවිතයම බවත් කතුවරයා කියාපායි. කිරි අම්මා දානය වැනි සංස්කෘතිකාංග, රූප හා සංඥා ලෙසින් යොදාගනිමින් කතුවරයා මතුකරන්නේ ඉහතින් කී සදාචාරය පිළිබඳවූ සංකල්පය ජීවන අරගලය තුළ ඉරිතලා යන ආකාරයයි. කර්කෂ වූ යථාර්ථය දෙස සානුකම්පිත ලෙසද, ඇතැම්විට හාස්‍යජනක ලෙසද බැලීමේ හැකියාව මෙම කෙටිකතාව තුළ කතුවරයා රඳවයි.

දේශපාලන අදහසක් දැරීම සෑම මිනිසෙකුගේම අයිතියක් වන අතර, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අයිතියද වත්මන් ලෝකයේ දියුණු යැයි සම්මත සමාජයන් පිළිගන්නා තත්වයකි. ශ්‍රී ලාංකික සමාජය තුළ “අරගලය” වැනි මෑතකාලීන දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයන් ගැන, සිය මතය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරයක් තුළ රඳවමින්, කතුවරයා අපට “බට්ටෙක් කතා කරයි” නම් කෙටිකතාවෙන් ඉදිරිපත් කරයි. හුදෙක් තම දේශපාලන මතවාදයන් දේශනා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා වෙනුවට, එකිනෙකට පරස්පර මතවාද, දැනුම, අවශ්‍යතාව සහ ප්‍රායෝගික යථාර්ථය අතර ඇතිවන්නාවූ ඝට්ඨනයන් මගින් පාඨකයන් සිතීමට පොළඹවා එතුලින්ම විශිෂ්ඨ අදහසක් මතුකරවීමට කතුවරයා සමත් වෙයි. .

මිනිස් ජීවිතයක් තනිකර සුදු හෝ කලු ලෙස බෙදා වෙන් කළ හැකිද? එය සැබැවින්ම අළු පැහැ නොවන්නේද? විටෙක වීරයෙක් ලෙස දකින චරිතයම දුෂ්ඨයෙකු වී අප ඉදිරියට නොපැමිණෙන්නේද? මිනිස් ජීවිතය තුළ සැඟවුනු ඒ අළු පැහැ ස්වභාවය මානුෂීය සුවඳක් සමග අප වෙත රැගෙන එන්නට “ඇගේ පුංචි රන් මාලය” නම් කෙටිකතාවෙන් කතුවරයා සමත්වෙයි. ආදරය යනු සැබෑවම පාවාදිය හැකි දෙයක් බවත්, කටුක යථාර්ථය හමුවේ මාතෘත්වය වුවද සංකල්පනාවක් පමණක් විය හැකි බවත් කතුවරයා අප වෙත ගෙනහැර දක්වයි.

මෙලෙස කෙටිකතා අටකින්, කතුවරයා අපට මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ පෙන්වා දෙයි. රස නිශ්පත්තිය සඳහා විවිධ රූප සහ සංසිද්ධීන් යොදාගන්නා ආකාරයෙන් කතුවරයා සිය පරිණත බව විදහාලයි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරය තුළ කතුවරයා දක්වන සංයමය විශිෂ්ඨය.  ගතවුනු දශක කිහිපය තුල යුද්ධය සහ අනෙකුත් දේශපාලන භීෂණයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකීය ජන සමාජය පිළිබඳව විශිෂ්ඨ  කියවීමක් ලෙස රෙදිවැලක වැනෙන සෞන්දර්යය නම් කෘතිය නම් කල හැකිය. තවත් කාලාන්තරයක් යනතෙක් එකී දේශපාලන වියවුල්තුල වියැකීගිය මිනිසත්කමේ කම්පනයන් සංවේදී මිනිස් සිත් සතන් තුලින් අතුරුදහන් නොවන බව මෙකී නිර්මාණයන්ගෙන් අපට පැහැදිලි වෙයි. පීඩනයෙන්ද මර්ධනයෙන්ද හිරි වැටුනු ජීවිත දෙස ලේඛකයෙකු මෙන්ම සැබෑ මානවහිතවාදී සානුකම්පිත සැබෑ මිනිසෙකු ලෙස බැලීමේ හැකියාව ලක්ෂ්මන් කොඩිතුවක්කු තුල පවතී.


ලේඛකයා යනු ආශීර්වාද ලද්දෙක් නොවන බව මගේ අදහසයි. එක්තරා ආකාරයකට ශාපයකට හසුවූවෙකි.මිනිස් ජීවිතයේ අඳුරු වේදනාවන්ට මෙන්ම සමාජ අසාධාරණය කෙරෙහි වෙන අධි සංවේදීතාව ඔවුන්ගේ හදවත් වේදනාවෙන්ම පුරවන අතර  එතුලින්ම මාණික්‍යයන් වන් නිර්මාණයන් ඔවුන් විසින් ලොවට තිළින කෙරේ. ලේඛන කලාව තුළ ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් සදාකාලික තාරුණ්‍යය උරුම කරගනු ඇතැයි මගේ බලවත් විශ්වාසයයි. එසඳහා මම ඔහුට ආශීර්වාද කරමි.


අනුෂ්ක තිලකරත්න

සිනුවර සිට

24/12/2025



Thursday, December 11, 2025

අයැදුම




 රැයේ අන්ධකාරය

විදුඇසින් පහදා

ආලෝකය කුමක්දැයි

මහ පොතක ලියන

සඳ!

එකවරක් හැකිනම්

මා වැලඳගන්න

අන්ධකාරය

ගෙවෙන්නට මත්තෙන්

කල්ප ගානක් ඉන්න

උරුමයක් නැත මට

කුමුදු මල කීවාය


අනුෂ්ක තිලකරත්න

11/12/2025


Monday, April 7, 2025

හුදෙකලා මහ ගස්

 පාළු හිස් බිම්වල

උසට නැගී මහගස්

එකිනෙකට ඈතින්

සවිමත්ව නැගි මහ ගස්

විඳ දරාගෙන ග්‍රීෂ්මය

ශීත වැහි කුණාටු ද

අභීතව සිට ගත් මහ ගස්


ඉඳ හිට අතුවනා

දුරක ඇති ගස් වෙත

මඳ සිනා නගාගෙන 

පෙනෙන නොපෙනෙන ලෙසට

යහතින් සිටින බව තමන්

ඉගිකරයි

හුදෙකලාවේ නැගි මහ ගස්


අතු රිකිලි පිරි පිරිමැද

හමාගිය සුළඟකට

උන් කීය රහසක්,

සබඳ අපි

ඉඳ හිට දකින සිහිනයක් වෙයි

නෙක තුරු ලතාවන්

එකිනෙකට ඈඳුණු,

උනුන් හා බොහෝ කෙළි කවටකම් කරන

එක්ව වැඩෙන 

එක්ව මියයන

එක්ව වැළපෙන 

මහා වනයක

අපිද වැඩී සිටින්නෙමු.





Sunday, February 9, 2025

තනි මලක්

 බොහෝ කල් පිපී හිනැහුන

අකලට පිපී මියැදුන

නොඉපදීම වියැකුණ

මේ ගසේ විය 

 බොහෝ මල්


 මහ ග්‍රීෂ්මෙක,

නොකලට පිපී

හුදෙකලාවම හිනැහෙන

එක් මලක්


මහ ඉඩක

පාලු මකනා 

තනිව හිනැහෙන 

එක්   මලක්


තනිව ඉන්නා නිසා

සුවඳවත් නොබලාම

බොහෝ අය පෙම් බඳින

එක් මලක්


එයත් වියැකුණු දාට

මහ පාළුවක් ගෙනෙන

අවාරේ පිපිණු

තනි මලක්


අනුෂ්ක තිලකරත්න

15/01/2025

මතක ගස

 වසර දහ අටක්
නොවියැකුණු මතකයක්
මතක පිටුවක අතරමැද 
තිරලෙසම රැඳි මහ ගසක්


එදවසට පසුවත්
රතු මලින් වැහෙන්නැති
ඉන් පෙරත් එලෙසම 
රතු මලින්  පිරෙන්නැති
ඒ එකම එක් වරක් අපේම වූ බව
ඒ මහාගස නොදන්නවා ඇති


අනුෂ්ක තිලකරත්න 
28/11/2024

Sunday, July 7, 2024

කවි දෙකක්

 හිස්තැන

ඒ හිස්තැන
හරිම හිස්තැනක්
වේදනාබර
වදකාර හිස් තැනක්

ඉරහඳ ගෙනැවිත් තැබූයෙමි
මහ මුහුද   කෙත් වතු මල් උයන්
හිතමිතුරු ගොනුවේ බොහෝ අයද
සුලඟද අල්වාගෙන තැබූයෙමි එහි
ඒත් තවමත් හිස් තැනක්

කවීන්ගේ කවිකම්
දෙවියන්ගේ ස්ත්‍රෝත
කොතෙක් එහි රැව්දුනද
ඒත් තවමත් හිස්තැනක්

හිස් කමින් පමණක් පිරවෙන
වේදනාබර හිස්තැනක් 

04/07/2024





ගඟ අසබඩ සිටින වියපත් මිනිසාගේ කවිය

ගඟක් අසබඩ හුදෙකලා නිවෙසකි
තරමින් කුඩාය
දියුණු යැයි සම්මත පෙනුමක් නොමැති
එහි වසන මිනිසා මම වෙමි.
වියපත් මිනිසෙක්ද වෙමි.

අර පෙනෙන පාලමට එපිටින්
ඇත මහා නගරයක්
උස්වූ ගොඩනැගිලි වල හිඳ
තව මිටි වූ නිවෙස් වලද හිඳ
ගඟ දෙසට නෙත් යොමන මිනිසුන්

මේ කුඩා නිවසේ කවුරුන් වෙත් ද
කොතෙක් නම් එහි සනීපද
අපිටත් තිබුනානම් එහි ඉන්න
සිතන බව නොරහසක්...

සැබැවින්ම මම මෙහි සනීපෙන් වසමි
සුවසේ නිදමි
සැහැල්ලුව සිතමි
මරණයද ළඟ බව දනිමි
....
එක්වරක් හෝ ඔබ මෙහි එන්න
ජීවිතය විඳින්න
මහ ගොඩක් නුවුමනා බව
දැනගන්න...

ඉතිං  ප්‍රිය  සබඳ    මේලියා ඇත්තේ  කවියක්...
බිල ගෙවා දැන් යායුතුය නැවතත්
මා පැමිණි නගරයට
නිම නොවූ කටයුතු  එහි බොහෝ ඇත තව 

15/06/2024

Sunday, December 3, 2023

දෙනෙත්



නිවස තුල පවතින්නේ දැඩි නිහඬ බවකි. අසංග නිවසේ නොමැත.සිටියත් වැඩි වෙනසක් සිදුනොවේ.විවිධාකාරයේ වර්ණ, හැඩ තල, මිනිස් රූප ඇඳි සිතුවමින් පිරි මේ නිවසට කලෙක තමා කෙතරම් ආදරය කලේදැයි තාරුකා  සිහි කලාය. ඕනෑම දෙයක් අනියත නම් ආදරය , සතුට සැනසුම නිත්‍ය වේද? කලෙක තමා  ඉතා ප්‍රියකල හුදෙකලා පරිසරය, ගැඹුරු කලාකාමී සිතුවිලි වලට තෝතැන්නක් වූ මෙම නිවස අද දවසේ තමන්ට ගෙන එන්නේ  කාංසියක් පීඩාවක් නොවේද?


ආශාව, කැමැත්ත ,මාත්සර්ය මෙයාකාරයේ කවර හෝ සිතුවිල්ලකට තම සිත තිඹිරිගෙයක් වූ දිනයක් තාරුකාට  සිහිකල හැකි නොවීය. තමා ඇතුලතින් මියගොස් ද? අන් ගැහැණුන්  නිරන්තරයෙන් හඹායන නොනිත් ආශාවන් තමා තුල ජනිත නොවන්නේ ඇයි? ආශාවන් සැබැවින්ම පීඩාවන්මය. ඉතිං තමාට පීඩාවන් අවශ්‍යමද?  පීඩාවන් නැති ජීවිතයත් හිස්කමකි. ඉඳහිට දිනෙක තමා  අසංග වෙත දමාගසන වචන තුලද මේ වේදනාව සැඟවී නැතිද?

“ ඔයා ඔය චිත්‍රෙ තාම ඇඳල ඉවරනැ ද්ද අසංග ?  “


අසංග නිහඬවම එක දිගට වැඩෙහි යෙදී  සිටීමද තාරුකා ගේ කේන්තිය වැඩි කරවීය. "කලා ගාරය " ලෙස අසංග ගේ මිතුරන් නම් කල මේ නිවසේ කොහේ  හෝ  තැනකසිට ඔහු සිතුවම් අඳියි. තමාගේ රූපයද ඔහු විටෙක සිතුවම් කලේය. කලෙක ඒවා  තමාට සියුම් සතුටක් ආඩම්බරයක් ගෙන ආබව  ඇත්තකි. ඒ මතකයන් අවුලුවා යළි ජීවයලබා දී සතුටු වීමට කොතෙක් උත්සාහ කලද අවසානයේ එයද නිරර්ථක  උත්සාහයක්ම විය.


අසංග මේ දින වල  අඳිමින් සිටින නව සිතුවම බැලීමට තමාට හදිසියේ සිත් වූයේ මන්දැයි
තාරුකාට නොතේරුනු නමුත් වැඩි උවමනාවක් නැතුවම වුවද ඇය එය සොයා ගියාය. නිවසේ මනාකොට ආලෝකය ඇති තැනක අසංග ගේ නව සිතුවම තබා තිබුනේය.  සිතුවමෙහි වූයේ ගැහැණියකි. මදක් හිස ඇලකර ගත්, ශෝකයක්ද සතුටක් යන්න අපැහැදිලි ව සටහන් වූ තදින් පියවූ තොල් සඟලකින් යුත් එම යුවතිය කිනම් අරමුණකින් සිත්තරාගේ සිතට පැමිණියේදැයි තාරුකාට සිතාගත නොහැකි විය. ඇයගේ දෙනෙතේ කිසියම් වූ මායාකාරී ආකර්ෂණයක් වෙතැයි තාරුකා සිතුවා ය. 


 සිතුවම තිබූ තැනින් ඉවත්ව ගොස් අන් කටයුත්තක යෙදී සිටියද සිතුවමේ සිටි යුවතිය සිය සිතෙන් ඉවත්ව නොයන බව තාරුකාට දැනුනි.  ඇය සතුවූ අත්භූත සුන්දරත්වයක් ඇතැයි තාරුකාට සිතෙයි. මේ දෑස තමන් කොහේ හෝ දැක තිබේදැයි ඈ කල්පනා කලාය. මතක පොතේ පිටු අතර වේගයෙන් දිව ගිය සිත එක් වරම එක් පරිච්ඡේදයක මුල නතර විය.  


"මේනකා මේ බඩ්ඩක් කියන්නම්. ඔයාගෙ ඇස් දෙක හරි ලස්සනයි."


"අනේ මේ නිකන් යනව යන්න බොරුවට බටර් ගාන්නෙ. මං දන්නව ගෙදරින් ගෙනාපු වැලිතලප ටිකටනෙ ඔය මාන බලන්නෙ ?හරිහරි උඹට කොහොමත් වෙනම පාර්සලයක් ගෙනාව."


"බොරුවක් නෙමෙයි බං, ඔන්න බලහන් අපේ සෙට් එකේ ඉස්සෙල්ලම කොල්ලෙක් සෙට් වෙන්නෙ උඹට.දැනටමත් එකෙක් දෙන්නෙක්වත් වහ වැටිල ඇති!."


"කොල්ලො  විතරද?"
ඉක්බිති ගෙවුනු තප්පර ගණන තුල විශ්වයම නිහඬව මිදී ගිය හැටිත් ,සීත හිම කැටයක් තුලින් විදුලි රේඛාවක් ඇදුනු කලෙක මෙන් සිය සිත එක්වරම ප්‍රීතියේන්ද  තැතිගැන්මේද හිරි වැටී ගිය හැටිත් ඇය ඒ  පරිච්ඡේදයේ අදෘෂ්‍යමානව නමුත් සදාතනිකවම ලියාතැබුවාය.


ඒ සිනහව, ඒ බැල්ම මෙතෙක් කලක් තමාවත් නොදැන සිටි තමන් තුල වූ "තාරුකා"  ට ජීවය දුන්නා නොවෙද? ඈත කඳු කරයේ ගුප්ත නිහැඬියාව කොතෙක් නම් රහස් සඟවාගෙන ඇත්ද? තම ආත්මය තුල සැඟව සිට ප්‍රාදූර්භූත වූ ඒ නව ජීවිතයට තාරුකා  හද පත්ලෙන්ම ආදරය කලාය.  උණුසුම සිසිලස විටින් විට ලද  සියලුම සෘතූන්ගෙන් පිරි  වසර හතරක්ම ගෙවී ගිය හැටි!


ඈත කඳු පන්තියක මුදුනත දුහුල් වලාවකින් වැසී ගිය ඇතැම් මොහොතක මුලු ලොවට හොරා සිය උරහිසේ රැඳි සුකොමල කොපුල් තලයක පහසත් මතකය තුල කෙමෙන් වියැකී යන සුවඳක් තැවරුනු කෙස් කළඹක උණුසුමත් තමා  තුල යළි ජීවමාන වන බව තාරුකාට පසක් විය. සිය සිත වේගයෙන් කියවාගෙන යන ඒ   පරිච්ඡේදය වෙන කාට හෝ ඇසේ දැයි බියෙන්මෙන් ඇය වට පිට බැලුවාය.


"මේනු, මං මැරෙයිද? ". කිසියම් උණ රෝගයක් වැලඳුනු දිනෙක කුඩා කාලයේ වත් නොවූ තරම්  තමා  මේනකා ඉදිරියේ බොළඳ වූ අයුරුත් තම හිස පිරි මැදි අත්ලෙහි උණුසුමත් ඉන්පසු ගත උණුසුම් කරවමින් සිය දෙතොල් හරහා  ඇදී ගිය සදාතනික ඒ දිව්‍යමය මිහිරියාවත් අහිමිව තම දෙනෙත කඳුලකින් තෙමෙනු දැනී හදිසියේම තාරුකා පියවි සිහියට ආවාය.


සිතුවමේ සිටින ගැහැණිය සතු නිල්වන් වටකුරු දෙනෙත් මග හැර යාමට  තාරුකාට නොහැකි වූවා සේය. ඇය ඇසි පිය ගසනවාද? අර අර,ඇය මා  හා  සිනාසෙනවා ද?  "තාරුකා ඔයාට මාව අඳුන ගන්න බැරිද? ඔව් ඔයා  හරි. මේ මම තමයි.ඔයා  අමතක කරන්න හදන ඔයාගෙ ඒ අතීත හර්දසාක්ෂිය මම තමයි. ඉතින් එන්න.ඇයි මේ බය වෙලා!  ආයෙත් මාව වැළඳ ගන්නෙ නැද්ද ඉස්සර වගේ ?" සිතුවමේ සිටින යුවතිය තමාව සැබැවින්ම අමතනවාද? නැහැ වෙන්න බැහැ!. ඉන්ද්‍රජාලික සිහිනමය අත්දැකීමකින් යළි යථා ලෝකයට පිවිසීමට උත්සාහ දරමින්ම  දරදඬුව තිබූ සිය දෑතෙහි  තිබූ අවසන් ශක්තිය යොදා  තාරුකා  ඒ අත්භූත සිතුවම පොළවේ ගැසුවාය. 


"තාරු මේ අහගන්න. බලන්න මේක හොඳද කියල?මං ලිව්වෙ !


මලකි

මම සිඹිමි

ඇය සතුකර ගනිමි

 ගිලිහුනොත් නටුවෙන් දිනෙක

සුවඳ සිහි කරමි මතු දිනෙක “


මියුරු ගීතවත් හඬකින් ගැයුනු ඒ කවිය   අවකාශයේ යම් තැනක රැඳී සිට සිය සිත තුලට කාන්දුවීම වලකන්නට  තාරුකා සිය දෙසවන වසා ගත් නමුදු දැන් එය වඩාත් තීව්‍රව ඇසෙයි. 



ගිලිහුනො ත් නටුවෙන් දිනෙක

සුවඳ සිහිකරමි මතු දිනෙක .


සිය අවසන් ශක්ති පුංජය ද වියැකී ගියාක් මෙන් තාරුකා එම සිතුවම අසලින්ම බිම හිඳ ගත්තාය. ඇය  ඒ වටකුරු සුන්දරත්වයෙන් අනූන අද්භූත දෙනෙත දෙස තවත් බොහෝ  වේලාවක්  එක එල්ලේ බලා සිටියාය.  මඳක් වෙව්ලන සිය අතැඟිලි වලින් ඈ සිතුවමේ යුවතියගේ මුහුණ සහ කෙස් කළඹ ස්පර්ශ කලාය.


"මේනු! මේ අනේ ඉන්නකො  ඔහොම.මට ඔච්චර හය්යෙන් මේ පඩිපේලේ දුවන්න බැහැ"


පඩි පෙළෙහි තමන්ට මදක් ඉහලින් නැවතී  මිහිරි සිනාවක් නගන ඒ සුන්දර යුවතිය දෙස     තාරුකා බලාසිටියාය. වසර බොහෝ ගණනකට පසුව වුව සිය මතකයෙහි ලියවුනු ඒ  පරිච්ඡේදයහි අකුරක් නෑර යළි යළිත් කියවිය හැකි නිසා  තාරුකා සැබැවින්ම ප්‍රීතියට පත් වී සිටියාය.


"නටුවෙන් ගිලිහුනෙමි

සුවඳ ඔබට හිමි නිසාවෙන්

මිහි මත වැතිරගමි,

ප්‍රීතියෙන්".





අනුෂ්ක තිලකරත්න