Saturday, November 24, 2018

රොබින්සන් කෲසෝ වීම

රොබින්සන් කෲසෝ කියවූ කාලයේ මටද එසේ දූපතක හුදෙකලා ජීවිතයක් ගත කිරීමේ ආශාවක් විය.රොබින්සන් කෲසෝට මට ඇති කිසිම කරදරයක් නැත.විභාග, පාසැල් ගමන්, ටියුෂන්, ගෙදර වැඩ මේ මොනවත් නැත. ඒ මදිවට මිනිහ හොඳට කා බී සුවෙන් සිටියේය. මස්, මාළු එළවලු , පලතුරු පිරිසිඳු වතුර. මේ මොනවායින් වත් අඩුවක් නැත. ඒ වගේම මඩොල්දූවේ උපාලි හා ජින්නාද මේ වගේම නිදහස් ජීවිතයක් ගතකළෝය. මේ කතා කියවූ කාලයේ මම මනසින් අනන්තවත් කැලෑවල දූපත් වල ජීවත් වුනෙමි. 

මේ මම ඒ ගමන් සැලසුම් කල ආකාරයයි.

ගෙවල් වලට කිසිවක් නොකියමි. කිව්වොත් යන්න වෙන්නේ නැත. හොරෙන් යමි. ගෙනයන්න තිබෙන බඩු මුට්ටු වල ලැයිස්තුවක් සකස් කරමි. පිඟානක්, කෝප්පයක් හැඳි, ගෑරුප්පු . මේවා ප්ලාස්ටික් වන තරමට හොඳය. එවිට කැලේදී කැඩෙන්නේ නැත. පිහියා කිහිපයක් අවශ්‍යය. පොඩි පිහි, ලොකු පිහි, මන්න පිහි ඒවා සියල්ල ගමි. ගෙදර තියෙන මන්න පිහි දෙකෙන් එකක් මම ගනිමි.

වඩාත් අත්‍යාවශ්‍ය දෙය නම් තුවක්කුවකි. කෲසෝට නම් ඒවා කැඩුනු නැවෙන් ලැබුනි. උපාලි නම් පොඩි ගමරාලගෙන් ඉල්ලා ගත්තේය. මම කොහෙන්ද හොයා ගන්නෙ ? තුව්ක්කුවක් ගන්නටද තැනක්  නැත. ගත්තත් කෝ ලයිසන්? මේවා හිරේ යන වැඩය. යකඩ බටයකට ලී මිටක් සවිකර පැරණි තාලයට වෙඩි බෙහෙත් කොටා වෙඩි තැබීමට හැකි යමක් සාදා ගැනීමට මම සැලසුම් කළෙමි.

ඊළඟට අවශ්‍යම දේ බෙහෙත්. පැනඩෝල් පෙට්ටි කිහිපයක් ගමි. සිද්ධාලේප කුප්පි කිහිපයක්, වික්ස් කුප්පි කිහිපයක් අනිවාර්යයෙන් අවශ්‍යය. තව තම්බාගෙන බොන්න පේයාව, පස් පංගුව පැකට් දහයක් විතර ගනිමි. හදිසියේ බඩයෑමක් වුනොත් ගන්න ක්‍රීම් රාජ කරල් ගුලි පැකට් සහ කොන්ක්‍රීට් ටැබ්ලට් විශාල ප්‍රමාණයෙන් අවශ්යය. අසමෝදගම් බෝතල් කොහිපයක් සහ ජින්ජර් බියර් බෝතල් පුලුවන් තරම් ප්‍රමාණයක් ගෙනයමි. තුවාල වලට දමන බෙහෙත් ජාතිද අවශ්‍යය. පුලුන්, ගෝස්, බැන්ඩේජ්, ප්ලාස්ටර්, ජෙම්සන් වලයට් , සර්ජිකල් ඉස්පිරිට් බෝතල් ද අවශ්‍යය.


ඊළඟට ඇඳුම්. දැනට තියෙන ඒවාට අමතරව හොඳ වර්ගයේ අන්ඩර්වෙයාර් දුසිමක් විතර අවශ්‍යය. කැලේදී දිවීමට සහ වැල් වල එල්ලී යෑමට හොඳ අන්ඩර් වෙයාර් එකක් තිබීම අත්‍යාවශ්‍යය.  ටී ශර්ට් ටික සහ කොට කලිසම් ටික දැනට ප්‍රමාණවත් වේ.මදුරුවෝ කනකොට අඳින්න අත්දිග කමිස කිහිපයක් සහ දිග  කලිසම් කිහිපයක් අවශ්‍යය. බූට්ස් දෙකක් හොයා ගතයුතුය. ඉස්කෝලෙ දාන මේස් දැනට ප්‍රමානවත් වේ. සීත කාලයක් ආවිට ඇඳීමට ලෝම කබායක් අවශ්‍යය. සාමාන්‍ය මට්ටමේ ජම්පර් එකක් නම් ගෙදර තිබේ. කෲසෝ නම් සතුන් ගේ ලොම්වලින් ඇඳුම් හදා ගත්තද  මම නම් පුලුවන් තරම් ඇඳුම් ගෙදරින් ගෙනයාමට කල්පනා කර ගත්තෙමි.

දූපතේ දී මට බල්ලෙකු අවශ්‍යය. අපේ ගෙදර බල්ලෙකු නොසිටි බැවින් මම ගෙදර සිටි පූසාව රැගෙන යාමට තීරණය කළෙමි. එවිට ඌ සතුරන් ගෙන් මා ආරක්ෂා කරනු ඇත.

මම දූපතට විදුලි බලය ලබා ගනිමි. දියපාරක ඩයිනමෝවක් සවි කර ගැනීමෙන් මට එය කලහැකිය. එසේ නැතහොත් සුළං බලයෙන් විදිලිය ලබා ගනිමි. ඒ සඳහා ඩයිනමෝවක් සහ වයර් ගෙදරින් ගෙනයමි. මට සටහන්ලිවීමට නෝට් පොත් කීපයක් සහ ඇට්ලස් පෑන් කිහිපයක් ගෙනයමි. දූපතේ දී මට කම්මැලි සිතේ. එවිට කියවීමට මඩොල්දූව සහ රොබින්සන් කෲසෝ පොත් දෙක ගෙනයමි. පාසැල් පොත් අවශ්‍ය නැත. ඒ  දූපතේ පාසැල් නැතිබැවිනි. මම හොල්මන් වලට බය ඇත්තෙමි. බුදු පිළිමයක් සහ පිරිත් පොතක් ගෙනයෑමට අවශ්‍ය වන්නේ එබැවිනි.

ආහාර ප්‍රශ්නයක් ඇති නොවේ. මම සතුන් මරා මස් ලබා ගන්නා අතර දූපතේ එළවළු වගා කරමි. පළවෙනි දවසේ කෑමට පමණක් පාන් ගෙඩියක් සහ සීනි සම්බොල් ගෙදරින් ගෙන එමි. මිරිස්කුඩු ගම්මිරිස් කුඩු කහකුඩු ඇතුලු අනෙකුත් පහේ වර්ග කිලෝ කීපයක් බැගින් ගෙදරින් ගෙනයමි. ලුණු නම් අවශ්‍ය නැත. ඒවා මම මුහුදෙන් ලබා ගනිමි. හාල් පරිප්පු කඩල මුං ඇට ගෝනි කිහිපයක් ගෙනයමි.දූපතේ ගර ගරා ඉන්න බැරි නිසා ගල් වැලි ඉවත් කල නිපුන හාල් පමණක් ගෙනයමි.

වලන් හට්ටි මුට්ටි ආදියද අසුරා ගත යුතුය. පොඩි ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ද ගෙනයමි. මට ගල් කෑලි එකට ගටමින් සිටිය නොහැකිය. ගිණි පෙට්ටි බන්ඩල් කිහිපයක් සහ ලයිටර් දුසිමක් පමණ ගෙනයමි. ලිප් පත්තු කර ගැනීමට පරණ පත්තර මිටි කිහිපයක් ද ගෙනයමි.

මේ බඩු ඉවර වන විට යළි ගෙදර පැමිණ ආයෙමත් බඩු තොග රැගෙන යා හැකිය. මේ බඩු තොගය දූපතට ගෙනයාමට මට නැව් දෙකක් පමණ අවශ්‍ය බව වරාය අධිකාරිය මට පැවසීය.. එක අතකට ඔච්චර දුක් විඳගෙන දූපතක ඉන්නේ මොකටදැයි සිතා මම ඒ බඩු තොගය නිවසේ සිටම පාවිච්චි කළෙමි. මගේ රොබින්සන් කෲසෝ සිහිනය එතකින් නිම විය.

No comments: