Monday, January 24, 2011

ජීවිතය ඔහේ ගලාගෙන යනවද? නැත්නම් හිතාමතා යාත්‍රා කරනවද?



ජීවිතය ඔහේ ගලාගෙන යනවද? නැත්නම් හිතාමතා යාත්‍රා කරනවද? ඉස්සරම කාලෙ දවසක (ඒ ලෙවල් කාලේ) මගේ යාළුවෙක් මට කිව්වා "ජීවිතේට ඔහේ යන්න දීපං බං" කියලා. ඒත් මට ඒක කරන්න හිතුනෙ නෑ. මොන පිස්සු වැඩක්ද? ඔහේ යන්න ඉඩ දෙන එක. මොනතරම් භයානකද? හොඳයි. නැවක කප්පිත්තෙකුට පුලුවන්ද නැවට ඔහේ යන්න ඉඩ දෙන්න. ගල් පර්වත වල හැපිලා සුණු විසුණු වෙන්න හරි එහෙම නැත්නම් කුණාටුවකට හසුවෙලා විනාශ වෙන්න ඉඩ දෙන්න. එයාට වගකීමක් නැද්ද නැව ගැන, අනෙක් නාවිකයො ගැන. මට හැමදාම ජීවිතේ ගැන හිතුනෙ ඔහොම. හැම තිස්සෙම මේක එහෙට මෙහෙට හරව හරව කුණාටුවලින් බේරෙන්නයි ගල් පර්වත වලින් බේරෙන්නයි ලොකු සටනක් ගෙනියනවා. කවදාවත් ඔහේ යන්න අරින්න හිතුනෙ නෑ. වෙලාවකට හරි වෙහෙසයි.

හැබැයි මෙහෙම දෙයකුත් නොහිතෙනවා නොවෙයි. කොච්චර දැඟලුවත් අපිට ඕනෙ අතටම නෙමෙයි මේක යන්නෙ. හිටිගමන් කුණාටුවලට හසුවෙලා ඉරිතලලා පුපුරලා යන වෙලාවලුත් තියෙනවා. ආයෙත් ලෑලි කෑල්ලක් හරි අල්ලගෙන පීනනවා. ගිලුනු උන් ගැන දුක්වෙනවා. හැබැයි ආයෙත් නැවක් හදාගෙන යාත්‍රා කරනවා. දිගින් දිගටම.


අපේ ආච්චිගේ මරණය සිදු වුනේ ගිය අවුරුද්දෙ. මිනී වල කපන තැනට මමත් ගියා. පාර දෙපැත්ත සරසන්න තව වල කපන තැන අඩු වැඩිය බලන්න ඔය කොඉ දේටත් දායක වුනා. මම කනත්ත පුරා ඔහේ ඇවිද්දා. හමුවෙන හැම සොහොන් කොතකම තිබුනු සටහන් කියෙව්වා. පින්තූර බැලුවා. ඒ අයත් කවදා හෝ දවසක ඉපදිලා මම වගේම ජීවිත නැව් පදවපු අය. දැන් නැව් අත් හැරලා.කවදා හරි මමත් මෙතනටම එනවා නේද? කියන සිතුවිල්ල ඇති නොවුනා නෙමෙයි. ඒක තමයි යථාර්තය. මරණානුස්සතිය වඩන්න ඒක හොඳ නිමිත්තක්.



මට හිටිගමන් හමුවෙලා තියෙනවා ජීවත් වීම අතහැරල දාපු මිනිස්සු. කොහේ යනවද මොනව කරනවද දන්නෙ නෑ. ඔහේ යනවා. මම දකින්නෙ ඒ අය ජීවත් වෙන අයට වඩා පවතින වස්තූන් හැටියට (ඔතන වස්තුව කිව්වෙ වටිනා කියන අර්ථයෙන් හෙම නොවෙයී ). පෞද්ගලිකව මම එහෙම මිනිසුන්ට කැමති නැහැ. මහපොළොව එක්ක ඔට්ටුවෙන ආබාධිත මිනිසුන්ව පවා මම දැකල තියෙනවා. එහෙම මිනිස්සු ඉදිරියෙ අර වගේ උන් මිනිස්සුද කියලත් මට හිතෙනවා. හැබැයි එකදෙයක් කිවයුතුයි. පවතින දේශපාලනික සමාජීය වටපිටාවත් සමහර වෙලාවට මිනිස්සුන්ව අඩපණ කරල දාන වෙලාවල් තියෙනවා. හැබැයි අර කම්මැලි අපතයන්ට නම් ඒක ගැලවීමට උත්තරයක් නෙමෙයි.

සමහර අයට ජීවත්වෙන්න ධෛර්ය දෙන්නෙ ආදරය. මගේ යාළුවෙක් හිටියා. හොඳට ඉගෙන ගත්තු. හොඳ රස්සාවක් කරන. නමුත් ඔහේ පාවෙන ජීවිතයක්. මිනිහට හිටිගමන් ආදරය කරන්න කෙල්ලෙක් හමුවුනා. එයාට ගෙදරින් හෝ ගාල ප්‍රශ්න තියෙන කෙනෙක්. මමත් මුලින් හිතුවෙ මගේ යාළුවා වැඩේ අතහැරල දායි කියල. ඒත් එහෙම උනේ නෑ. මිනිහා හෙන ධෛර්යයෙන් සියලු බාධක ජය ගනිනි
මින් දැන් රජ ගමනේ. මිනිහා හරිම නිහඬ සංසුන් කෙනෙක්.හැබැයි ඒ නිහඬ බව ඇතුලේ මහා ශක්තියක් ගැබ්වෙලා තියෙනවා කියල මට හිතෙනව.


කොහොම වුනත් මගේ අදහස තම තමන් හඳුනා ගත් සලකුණු ඔස්සේ ජීවිත නැව පදවන්න වීරිය කරන එක තමයි නුවණට හුරු. ඒක තමන්ට වගේම සමාජයටත් යහපත් අරමුණු වෙත ළඟා කරගන්න තමයි උත්සාහ කල යුත්තේ. ඔහේ අත්හැර දැමීම මිනිසත් කමට කරන ලොකු අපරාදයක් කියලයි මට හිතෙන්නේ.

2 comments:

Anonymous said...

ඇත්ත මචං, උපන්නට ජීවත්වෙනවට වැඩිය තමන්ට උවමනා විදියට, තමන්ගෙ ඉලක්ක බලාගෙන යන එක හොඳයි. සමහර විට පරදියි, ඒත් දන්නවනෙ උත්සාහ කරා, බැරි වුනා කියල. එහෙම නැත්නම් උත්සාහ නොකර ඉඳල පස්සෙ හිතෙයි අපරාදෙ ට්‍රයි එකක් වත් දුන්න නම් කියල.

Anushka Thilakarathne said...

ඔව් මචං අර කාල් ලුවිස් කිව්ව වගේ බය වෙන්න ඕනෙ පරදිනවට නෙමෙයි..උත්සාහනොකර නිකන් ඉන්න