Saturday, January 4, 2020

චිත්‍රපට ප්‍රේක්ෂකයන් වර්ග ....




චිත්‍රපට නැරඹීම ලොකු කුඩා බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් බව අවිවාදිතය. මේ කියන්නට යන්නේ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් වර්ග ගණනාවක් ගැනය.
විචාරකයෝ..

මොවුන්ට කිසිම චිත්‍රපටයක් හොඳ නැත. බලන්නට ගත්ත වෙලේ සිට එහි අඩුපාඩු පෙන්වති. කැමරාකරණයේ අඩුපාඩු, පසුතල වල නළු නිළියන්ගේ මේකප්වල ඇඳුම් ආයිත්තම් වල අඩුපාඩු සියල්ලම පෙනෙයි. මේ චිත්‍රපටය මීට වඩා හොඳින් කල හැකි ආකාරය ගැන ගෙදර සිට උපදෙස් දෙති.

බඩජහරියෝ..
මොවුන්ට මොනවා හෝ කන්නට නැතිව චිත්‍රපට බැලීමට නොහැකචිත්‍රපටය පටන් ගත්ත තැන සිට හපන්නට යමක් අවශ්යයචිත්‍රපටය අතරමග තාවකාලිකව නවතා (pause )කන්නට යමක ගෙන එන්නට යති. ඔවුහු එනතෙක් අන් අයට චිත්‍රපටය බැලීම තහනම්ය. මහ රෑ වුව පාරට ගොස් වඩේ, එලවලු රොටි ආදිය රැගෙන එති.

නළුවාගේ/නිළියගේ යහළුවෝ සහ නෑයෝ..
චිත්‍රපටය ආරම්භ වේ." අම්ම..විජේ අය්ය...! කාලෙකට පස්සෙ..".. ධර්මෙ මල්ලිද ඉන්නෙ? ඕකගෙ මගුල්ගෙදරත් ගියානෙ අපි".."ආනේ කාන්ති නංගි ඉන්න ෆිල්ම් එකද? අපෝ කාලෙ කෙට්ටු ඕකිගෙ!" යනාදී වශයෙන් ආරම්භ වන නෑකම් විස්තරය මහ කරච්චලයක් වගේම චිත්‍රපට බලන අන් අයට මහා වධයක් වෙයි. එක්කෝ නළුවා, නිළිය තමන් ගේ යාළුවෙකි. " වික්ක..අම්මෝ ඕකගෙ කලු කාලෙ! මගෙ පංතියෙනෙ.! " “මේ මෙන්න සුභා ඉන්න ෆිල්ම් එක! ඔයාට මතකද මගෙ ක්ලාස්මේට්. මගෙ එහා පැත්තෙ ඉඳගෙන හිටියෙ. අපෝ ඕකිගෙ හෙන නැටිල්ල කාලෙත්!". අය්යෝ ඉතින් චිත්‍රපටය බලන අස්සේ මේ විස්තරයද අසන්නට සිදු වෙයි.

විශේෂඥයෝ

මොවුන්ගේ විශේෂඥ දැනුම පුදුම එළවන සුළුය. යුධ චිත්‍රපටයක් නරඹනවා යැයි සිතමු. "ඔය වෙපන් එක තමයි කාලෙ හොඳම එක". ඔය ටෑන්ක් එකට ගහන්න බෑ මොකාටවත්". ඔය තමයි ෆාස්ටස්ට් ප්ලේන් එක. " දන්නවද වයර් එක එහෙම කැපුවෙ ඇයි කියල?නැත්තම් පුපුරනවා". ඔය ගන් එකේ එකපාරට හතරයි බුලට්ස් දාන්න පුලුවන්". හය්යෝ හෙනබොරු. ඔය කාර් එකට ඔච්චර ස්පීඩ් එකෙන් යන්න බෑ. ගිහින් ඔහොම වංගුගන්න බෑ. ඔය කාලෙ ඔහොම කඩු තිබ්බෙ නෑ. අනේ ඔච්චර උඩ ඉඳන් මිනිහෙක්ට පනින්න පුලුවන්ද?"  මෙයාදී වශයෙන් ඔවුන්ගේ විශේෂඥ දැනුම චිත්‍රපට බලනතාක් අන් අයට නොමිලේ බෙදා දෙනු ඇත..

ඕපේ..
 නළු නිළියන්ගේ සියලු ඕපදූප මොවුහු දනිති. "ඔය නළුවනෙ අර ගැනිත් එක්ක යාළු වෙලා ඉන්නෙ!. මෙයා ඉන්නෙ ගම්පහ. ඔයාගෙ තාත්ත හෙන බිස්නස්මන්. ඔය මිනිහනෙ අර කුඩු කේස් එකට අහු උනේ".  ඕකිට ළමයි හතරක් ඉන්නව. තව එකෙක් ලැබෙන්න ඉන්නව. මගෙ යාළුවෙක් ඉන්නව මෙයාගෙ ගෙවල් ළඟ. අපෝ මෙයාගෙ හෙන ඔළුව ලු ". නළු නිළියන්ගේ අහළපහළ උදවිය ගැනද මොවුහු ඇතැඹුලක් සේ දනිති.

සංවේදී මිනිස්සු..

හැඟීම්බර දර්ශන නැරඹීම මොවුන්ට ඉතා අසීරුය. දෑසින් කඳුලු ගලයි. ඉකිබිඳිති. මුහුණු දික්වෙයි.තත්වය දරුණු වුනොත් කෑම බීම පවා එපා වෙයි. දුෂ්ඨයාට කුණුහරුපෙනුත් බනිති. "අනේ අර බලපං.. පව් බං.! ,මුගෙ අම්මට..ඇයි බං එහෙම කරන්නෙ මිනිස්සුන්ට ." මෙයාදී වශයෙන් සංවේදී වන මොවුන්ට උන්හිටිතැන් මතක් වන්නේ සමහරවිට  ගෙදර සිටින වෙන ප්‍රේක්ෂකයෙක් ගෙන් බැනුමක් අසා ගත්විටය. ටයිටැනික් චිත්‍රපටය බලා ඇඬූ , ඉකිබිඳි සුවහසක් ප්රේක්ෂක ජනතාව ඒකාලෙ මට බහුලව හමුවිය. අකේලේ හම් අකේලේ තුම් ගීතයට තමන් ගේ කුඩා දරුවා බදාගෙන හැඬූ අය ගැන මම අසා ඇත්තෙමි.  එක් අතකට සංවේදී ප්‍රේක්ෂකයන්ට  වරදක් කිවනොහැකිය. සංවේදී මිනිස්සු ඇත්තටම සුන්දරය.

නමුත් සංවේදී කම හරහට හිටින්නේ හොල්මන් කතාවක් බලන විටය. තිරයේ භූතයා මතුවීමට ආසන්න වනවිට හිමින් ඇස් පියා ගන්නා, එහෙත් නැතිනම් පොතක් වැනි දෙයක් සොයාගෙන එක වරම කියවන ප්‍රේක්ෂකයෝ දෙදෙනෙක් ඉස්සර අපේ ගෙදර සිටියහ.

ඉන් නොනැවතී තිරයේ චරිත වලට උපදෙස් දීමට ඉදිරිපත්වන තරමටම මේ සංවේදීකම දරුණු වේ. "අපරාදෙ ඔය ගෑණිට තියෙන්නෙ ඔයමිනිහගෙන් ඩිවෝස් වෙන්න. ඔහොම මිනිහෙක් එක්ක ඉන්න පුලුවනැයි !. අනේ ඔහොම ගොන් මිනිස්සු ඉන්නවද? මනුස්සයෙක් පස්සෙන් එනව ඔච්චරම දැනෙන්නෙ නෑද්ද? මිනිහට අහුවෙන්නම වගේ  ඒ ගෑනිත් මොකද ළඟින් දුවන්නෙ! දුවපං කො ගෑණියේ ඉක්කන්ට..බම්බු ගහනවද මංද!. යනාදී වශයෙන් චිත්‍රපට චරිතවලට උපදෙස් දෙති.

ලැජ්ජ බය ඇතිව හැදුනු ප්‍රේක්ෂකයෝ

මොවුන්
අඳුනා ගැනීම ඉතා පහසුය. සිප වැළඳ ගැනීමේ දර්ශනයක් යනවිට මොවුහු බිම බලාගනිති. බැරි වෙලාවත් ඇඩම්ස් ඔන්ලි දර්ශනයක් යන්නේ නම් තත්වය දරුණුවෙයි. හොරෙන් අනෙකාගේ මුහුණ දෙස බලති. බලා ඇතැම්විට අනෙකාට තදවී "මොකද යකෝ මගෙ දිහා බලන්නෙ?" යනුවෙන් බැනුම් අසා ගනිති. ඇතැම්විට චැනල් එක එකපාරම මාරු වෙයි. තත්වය ඉවසාගත නොහැකිනම් නැගිට ඉවත්ව යති. ඇතැම්විට වෙලාවේම හදිසි දුරකථන ඇමතුමක් ලැබේ. නැත්නම් -මේල් එකක් බැලීමට තිබේ.

මෙයාදී වශයෙන් චිත්‍රපට ප්‍රේක්ෂකයෝ වර්ග ගණනාවක් වෙති. ඇතැම්විට එකම පුද්ගලයා තුල මේ සියලුම ආකාරයේ ලක්ෂණ පවතී.කෙසේ නමුත් පිරිසක් සමග චිත්‍රපට බැලීමේද අමුතුම ගැම්මක් තිබේ. එබැවින් මොනතරම් කරදරයක් වුවද පිරිසක් සමග චිත්‍රපටයක් බැලීමට ඉඩ ලැබේනම්  මම එය මග නොහරිමි.

No comments: