ඔය කොහේ ගියත් ශෝටීස් (හරි හරි ශෝට් ඊට්ස් තමයි ) කෑමේ ආසාවක් මට ඇත. නමුත් බිරිඳ සලකන්නේ ශෝටීස් කෑම සරීරයට මහත්වූ අනතුරක් ගෙනෙන මහ පාපතර ක්‍රියාවක් ලෙසය. උදරාබාධ, හර්ද රෝග, මූලරෝග, කටී වාතය, හංදි රෝග, කක්කල් කැස්ස, පාචනය, කොලරාව, ඩෙංගු, සාස්, ඉබෝලා, කොරෝනා ඇතුලු අටනූවක් රෝග වලට හේතුව ශෝටීස් බව විශ්වාස කරන ඇය නිවසේ සිටින විට මට ශෝටීස් කිහිපයක් කෑමටනම් බේකරියක බැනුම් ඇසීමට සිදු වෙයි. නමුත් බඩජහරිකම මරණබියටත් වඩා ලොකු වූ විට මම අහුවෙන තැනකින් ශෝටීස් ගෙන එමි.
චිකන් රොටි , මාලු රොටි, රොල්ස් වඩේ කිහිපයක් ගෙන මම නිවසට එමි. ඉන්පසුව ඇතිවෙන තත්වය මෙසේය.
බිරිඳ: මේ මොනාද මේ?
මම: ඔය මේ ශෝටීස් ටිකක්..හැමදාම කන්නෙ නෑනෙ..අද විතරයි.
බිරිඳ: කොච්චර කිව්වත් අහන්නෙ නෑ. හදාගන්නවකො ඉතින් හාට් ඇටෑකුයි තවතියෙන ජාති සේරම. කොහෙන් හරි උස්සගෙන එනව ඉතින්..මේ පොඩිදරුවත් නරක්කරනව මෙව පුරුදු කරල.
මම: හැමදාම කෑවොත් තමයි ලෙඩ වෙන්නෙ. ඉඳල හිටල කෑවට මුකුත් වෙන්නෑ.
ශෝටීස් වැනි අනර්ඝ කෑමක් ඇති දිනක එය ආවට ගියාට ගිල දමන පුරුද්දක් මට නැත. හොඳින් නාකියාගෙන පේ වී ඉතාම නිස්පාසුවේ එය භුක්තිවිඳීම මාගේ පුරුද්දයි. එය ශෝටීස් වලට දක්වන ගෞරවයකි.
නාන ගමන්ද ඉන්පසු කුස්සියට එන ගමන්ද මම කල්පනාකරන්නේ එක දෙයකි.
"ඉස්සෙල්ල චිකන් රොටිය කාල ඊටපස්සෙ මාලු රොටිය කනවද? නැත්තං ඉස්සෙල්ල රෝල්ස් එක කාල පස්සෙ මාළු රොටිය කනවද? චිකන් රොටිය හෙට කන්න තියා ගන්නවද? දැන් චිකන් රොටිය කාල හවසට වඩේ එක කනවද? අද කෑවෙ නැත්තං නරක් වෙයිද? " ඔන්න ඔයාකාරයේ ගැටළු රැසක් සිතමින් මම කුස්සියට එමි.
මේසය මත ශෝටීස් මල්ල ඇත. නමුත් මොකද්දෝ වෙනසක් තිබේ.
මම: කෝ යකෝ මේකෙ තිබ්බ චිකන් රොටිය? බිම වැටිලද?
බිරිඳ: චිකන් රොටිය ඉතින් මං කෑව? ඇයි? (බිරිඳගේ අතේ චිකන් රොටි කෑල්ලක් ඉතිරිව ඇත. අග්‍ර කොටස ගිල දමා ඇත )
මම: හා ..කමක් නෑ..මම මාළු රොටිය කන්නම්..
බිරිඳ: මාළු රොටිය අම්මට තියන්න. එයා වැඩිය චිකන් කන්නෙ නෑනෙ.
මම: හා ඉතින්. මම රෝල්ස් එක කන්නම්.
බිරිඳ: රෝල්ස් එක පුතාට දුන්න. මේ ළමය ඊයෙත් මුකුත් හරියට කෑවෙ නෑ. ඒකවත් කයිද බලමු.
මම: එතකොට මට?
බිරිඳ: ඔය තව මොනාද තිබ්බෙ!
වඩේ එක ඉතිරිව තිබේ.
හය්යෝ ඉතින් අපරාදෙ මම නෑවෙ!.