Thursday, May 24, 2018

නිලි වැස්සට තෙමීනෙන් පසුව



කත්‍යානා අමරසිංහ ගේ නිලි වැස්ස නිකුත් වී තිබෙන්නේ 2015 දීය (දෙවන මුද්‍රණය ). මම කියවන්නේ 2018 දීය. ඉතින් මේ පොත සහ  මම අතර සිදුවූ කතා බහයි..

රජ කතාවක් දැනගත් සැනින් මම සොයන්නේ වීරයන් සහ ඔවුන්ගේ සූර වීර කතාය. ඒ අතරතුර පෙම් කලාට කමක් නැත. එවිට කතාව ලස්සන වෙයි. ඒ පොත කියවන්නට පෙර මා තුල ජනිතවූ බලාපොරොත්තුවයි. ඒත් සූර වීර කම් සියල්ල අභිබවා ප්‍රේමයම ඉස්මතුවන විට? මම
බලාපොරොත්තු සිඳ ගතිමි. ඒත් කතාව දිගටම කියවමි. පොත ඉවත තැබීමට නොසිතේ. ඉදිරියේදී යමක් සිදුවනු ඇතැයි දැනෙන නිසා දිගටම කියවමි.

 කතුවරිය මා තුල මැවූ චිත්ත රූප වල අලංකාරය විස්තර කිරීමට නොයමි. එමගින් එය අවලස්සන වේ යැයි මට බියක් දැනේ. ඒ මගේ සිතේ ඇඳි රන් මැණිකාය. මා දුටු කන්ද උඩරට රජුය. රජ වාසල සහ ඒ අවට පරිසරයය.  මේ කන්ද උඩරට දේවයන් වහන්සේද මගේ සිත් ගති. සාම්ප්‍රදායික අන්තඃපුරයක සැතපෙන බඩජහරි රජෙක් වෙනුවට රාගය තුළ සියුම් හෝ ප්‍රේමයක් සොයන ඇතැම් විට ගැහැනු කම ඉදිරියේ අසරණ වෙන රජෙකි.

මදකින්ම මමද කන්ද උඩරට වාසලේ තනතුරකට පත්වෙමි. ඒට නමක් නම් නොවීය. විටෙක කන්ද උඩරට නරපතියාගේ ඉතා විශ්වාසවන්ත ආරක්ෂකයා වෙමි. විටෙක රන් මැණිකා ගේ දුක සැප සොයා බලන ඇගේ මිතුරෙකු වෙමි. කන්ද උඩරට කුමන්ත්‍රණ ගැන රජුට සැලකරන චරපුරුෂයෙකු වෙමි. කෙසේවත් මගේ වීරෝධාර දේශප්‍රේමී  නරපතියාට නරකක් වෙනවාට අකැමැත්තෙමි.

රන් මැණිකා ලන්දේසීන් හමුවීමට යන ගමනේ දී ඈ හා යමි. මදින් මද මට ඈ කෙරේ වෛරයක් හට ගනී. මේ ගැහැනිය කන්ද උඩරට රාජ්‍යට පමණක් නොව ඒ අභීත ශ්‍රේෂ්ඨ නරපතියාටද ද්‍රෝහි වනවා නොවේද? ? එක් සැනෙකින් කඩු පහර දී ඈ මරා දැමීමට මට සිතෙයි. කන්ද උඩරට රජුට, රාජ්‍යයට, සිංහල දේශයට පක්ෂපාතී වීර කාන්තාවක් මම රන් මැණිකාගෙන් බලාපොරොත්තු වීමි. නමුත් දැන් සිටින්නේ පරදේසක්කාරයෙක් හා නිදි වදින, සිත කය දමනය කර ගත් නොහැකි පහත් ගැහැණියකි.  මේ සිතුවිලි වල මූලාරම්භය කොහිද? ඇය මගේ සිතුවිලි අනුව හැසිරිය යුතු යැයි මා සිතන්නේ ඇයි? කෙසේ වුවද දැන් ඈ මගේ වෛරයට හසු වී අවසන්ය. අවස්ථාවක් ලද සැනින් මම ඇය මරා දමමි. මම කන්ද උඩරට රජුට මෙය සැල කරමි.

කන්ද උඩරට රජු ඉදිරියේ පරදේසක්කාරයාද රන් මැණිකාද මමද සිටිමු. රජු ඇගේ හිස ගසා දැමිය යුතුමය. පරදේසක්කාරයා අතර මගදී රහසේ ඝාතනය කල යුතුය. මගේ මවුබිමට ද්‍රෝහී වුනු ඔවුන්ට හිමි විය යුත්තේ එයයි.

එහෙත් මේ කන්ද උඩරට නර පතියා කුමක් කලේද? අභය දානය දී ඔවුන්ව පිටමන් කලේය. ඔවුහු අසුපිට ඉතා ප්‍රීතියෙන් ප්‍රේමයෙන් වෙලී ගමන් කලහ. අර ඈ ඒ පරදේසක්කාරයට තුරුළු වී යන අන්දම? නිලි වැස්සට තෙමෙන ඒ මුහුන සහ කට කොනක සිනහව ! මම දත් මිටි කමින් ඉවසමි. මම සිඳී බිඳී ගිය මනසින් රජවාසලට යළි පියමන් කළෙමි.

මගේ මිත්‍රයාට මා අවැසිද?. නැත. තව දුරටත් ඔහුට මා අවැසි නැති බව ඔහු දැන්වීය. මම මාළිගයෙන් පිටවීමි. රන් මැණිකා සහ ඕලන්දක්කාරයා අසු පිටින් ගමන් කල මග දිගේ ඉදිරියට පිය මැන්නෙමි. අතරමග හමු වූ මහ ගසක් යට  මම ඉඳගතිමි.

 දින කිහිපයක්ම මම ඔවුන්ගේ ප්‍රේමණීය, ඇතැම්විට ත්‍රාසජනක ජීවිත හා අතර ගත කළෙමි. රන් මැණිකා මගේ වෛරයට පාත්‍රවූයේ ඇයිදැයි මම  කල්පනා කළෙමි. ඇය මා සිතූ පැතූ ආකාරයට නොහැසිරීම හේතුවක් විය නොහැකිද? ඇයට කන්ද උඩරට රජු ඉදිරියේදී මෙන් පරදේසක්කාරයා ඉදිරියේ බියක් නොදැනෙන්නේ මන්ද? කන්ද උඩරට රජුගේ කවීත්වය වුව්ද ඇගේ බිය සැක පහ කිරීමට සමත් නොවූ හැඩයි.කන්ද උඩරට රජතුමා කෙතෙක් සාමාන්‍ය පෙම්වතෙකු ලෙස හැසීරීමට උත්සාහ කලද ඔහු අසමත්ය. ඔහුගේ රාජකීයත්වය එයට බාධාවක් වේ.

රන් මැණිකා යනු එක් අතකින් බලන කල හුදෙක්ම තම සිතිවිලි වලට යටවූ ගැහැණියකි. රජ සැප ඇයට මහත්වූ වධයක් වන්නට ඇත. රාජ නීති , සම්ප්‍රදායන්, අසීරු සිරිත් විරිත් ඇයට මහත් හිරිහැරයක් වන්නට ඇත. සිතට දම්වැල් දමා ප්‍රේම කිරීම කෙසේවත් කල නොහැක්කකි. උතුම් වූ පුරුෂාර්ථ, වගකීම් සියල්ල හැරදමා හුදෙක් තම සිතුවිලි හඹා යන එක් අතකින් බලනකල ආත්මාර්ථකාමී ගැහැණියකි. රන් මැණිකා ගැන එසේ සිතීමට මම කැමැත්තෙමි. ප්‍රේමය සහ රාජකීය වගකීම් අතර සිරවූ රජු පිළිබඳව ශෝකයක් ජනිත කිරීමට කතුවරිය සමත් ය.

සීමිත චරිත සංඛ්‍යාවකින් විචිත්‍රවත් වූ කතාවක් කීමට කතුවරිය සමත් වී ඇත. අලසබවක් නැතිව කතාව රසවිඳිය හැකි ආකාරයට චරිත සහ සිදුවීම් යොදා ගෙන තිබේ. සිනමාවකට වුව නැගිය හැකි ආකාරයේ වූ පොතේ අවසානයට මම මහත් සේ ඇලුම් කරමි.

2 comments:

රසිකොලොජිස්ට් said...

පොත ගෙනැවිත් කලක් ගත විය. කියවීමට වේලාවක් තවමත් නොලැබුණි.

Anushka Thilakarathne said...

එහෙම පොත් සෙට් එකක්ම ලංකාවෙ තිබ්බ. සමහර එව්ව කාවො නම් කියවල තිබ්බ.