Tuesday, January 16, 2018

කොණ්ඩෙ කැපීම



කොණ්ඩෙ කැපීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවෙ. එය සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ ආර්ථික විද්‍යාත්මක කරුණු රැසක එකතුවකි. මට මතක ඇති පරණම මතකය නම් මත්තේගොඩ නැෂනල් සැලූන් එකෙන් කොණ්ඩෙ කැපූ සමයයි. ඒ 1980 දශකයේ අග භාගයේදී සහ 90 දශකයේ මුල වගේ. ස්ටයිල් කැපීමකට අවසර නැත. නෑඹිලි කට් එක පමනි. "හොඳින් කොට කරන්න" යන පියා ගේ විධානයෙන් එහා ස්ටයිල් එකක් කැපීමට නැෂනල් සැලූන් එකේ සුදු සරං කාර බාබර්ට අවසර නැත.



කතුරෙන් කපා ඉවරවූ පසු රිදී පාට මොකද්දෝ ටිකි ටිකියක් කං වටේට බෙල්ල වටේ ගෙනියයි. ඊට පසු එලඹෙන්නේ බිහිසුණු දැලි පිහි හරඹයයි. කොහොමත් හං කිති කාරයෙක් වන මට මේ දැලි පිහි හරඹය ඉවසා වැදෑරීම පහසු කටයුත්තක් නොවේ. බෙල්ලේ කඩියෙක්  යනවා වගේ දැනුනත් ඉවසා සිටින්නේ පොඩ්ඩ ගැස්සුනොත් "හිස නැති කඳක්" බවට පත්වේය යන භීටිය නිසාය.  කොණ්ඩය කපාගෙන ඉවර වූ පසු නෑඹිලි කට් මම මහත් ශෝකයෙන් යතුරු පැදියට නගින්නේ කවදා නම් මට "මයිකල් නයිට්" ගේ මෙන් කොණ්ඩය කැපීමට ලැබේවිද යන වේදනාව සිතේ සිර කරගෙනය. බටහිර කතා වල ඉන්න පොඩි එවුන් මොන තරම් ස්ටයිල් එකට කොණ්ඩෙ තියා ගෙන ඉන්නවද? ඇයි අපේ රටවල් වල මෙහෙම?.



කොණ්ඩය පැත්තෙන් පීරීමට (වීරසිරි කට්) එකට මිසක් වෙන කට් එකකට පාසැලෙන් ද ගෙදරින්ද වසර නැත. මා 6 වසරේ ඉගෙන ගන්නා කාලයේ මැදින් බෙදීමේ ස්ටයිල්  එක ජනප්‍රිය වී තිබුනි.  නමුත් එය ඉතා නොහොඹිනා ක්‍රමයක් බව වැඩිහිටියන්ගේද දහම්පාසලේ ගුරු වරුන්ගේද තීරණය වී තිබූ නිසා මට ඒ අවස්තාවද අහිමි විය. කොණ්ඩය මැදින් බෙදා කණ් වටේට පොඩ්ඩක් අඩු වෙන්න කැපීමේ ස්ටයිල් එකට මොනතරම් ආස වුවද ඒ සඳහා අවසර නොවීය. පාසැලේ ශිෂ්‍ය නායකයින්ටද මැදින් බෙදන උන් ඇල්ලීමට වෙනම පඩියක් ගෙව්වාක් මෙනි. දිනක් මම හොරෙන්ම මැදින් බෙදා ගෙන පාසැල් ගියෙමි. හදිස්සියේම එක් ශිෂ්‍ය නායකයෙක් "මෙන්න මැදින් බෙදලා. ඕක පැත්තට පීර ගන්නවා. " යැයි තග දැමීය. පුදුමයක් වූයේ එසේ කියූ නායක උතුමාද මැදින් බෙදා ගත් එකෙක් වීමය. නමුත් මම ඒ ගැන ප්‍රශ්න නොකලේ මිනිහා දිග කලිසමක් ඇඳ සිටි නිසා සහ මම කොට කලිසමක් ඇඳ සිටි නිසාය. ඔය මැදින් බෙදන ක්‍රමය උග්‍ර උනේ ටයිටැනික් චිත්‍ර පටය කාලයේය. පාර පුරා හද්ද හපුටු ඩිකැප්‍රියෝලා වැහි වහින්නට විය.



පෙට්ටියක් මෙන් උඩට පීරන ක්‍රමයක් ද අත්හදා බැලුවෙමි. නමුත් එවිට "මල්ලී කරන්ට් වැදිලද?" කියා අසන එවුන් වැඩි වූ නිසා ඒ ක්‍රමේද අත්හැර දැමුවෙමි.  පැත්තෙන් පීරා අනික් පැත්තෙන් මදක් පහත් වන අමුතුම ක්‍රමයක් ද මම දිනක් අත්හදා බැලුවෙමි. "ආ දේව් ආනන්ද් වගේ" කියා වැඩි හිටියෝ කියන්නට වීම නිසා එයද නවතා දැමූවෙමි. මොකාද යකෝ දේව් ආනන්ද්? ඌත් මිනිහෙක් ද?


කොහොමින් කොහොම හරි සාපෙළ ලියන තුරුම මගේ කොණ්ඩය මගේ නොවීය. මා කැමති නළුවෙක් ගේ මෙන් කොණ්ඩය තබා ගැනීමට මම බොහෝ උත්සාහ කලෙමි. නළුවාට උගේ එම පෙනුම ලැබී තිබෙන්නේ තනිකරම උගේ කොණ්ඩයෙනි යන මිත්‍යා දෘෂ්ඨිය මනෝභ්‍රාන්තියක් බවට පත් වන්නේ මොන විදිහට කොණ්ඩේ කැපූවත් කණ්නාඩියෙන් පෙනෙන කොණ්ඩය පමණක් තරමක් වෙනස් වූ පැරණි සත්ව රූපයම දැකීමෙනි. මෙයට පිළියමක් ලෙස කරන්නේ සැලූන් එක මාරු කිරීමය.


කොහොම උනත් අදටත් මට  ගැලපෙන ඉස්ටයිල් එක හමු වී නැත. නමුත් මම උත්සාහය අත නොහරිමි. මැරෙන්නට පෙර එය මම සොයා ගමි.

3 comments:

Buru Babe said...

අඩේ මෙන්න අපේ දත් අනූවා හිටු කියලා පෝස්ට් ගොඩාක් දාලා.
ඔහෝම බෑ ඔයාට හරියන්නේ කිම් ජෝන් ස්ටයිල් එක.. නළු බ්ට්ටන්ට වඩා කිම් අයියා කොච්චර ලස්සනයිද අනුවෝ...
මට දැන් මැවිල පේනවා අනුවා මගෙ අපස්සේ එලවනවා කිම් ජෝන් ස්ටයිල් එකෙන් මිසයිලෙකුත් උස්සන්

Anushka Thilakarathne said...

ඒකත් නරකම නෑ

අරු said...

If u never mind, now u can cut ur hair completely