Wednesday, May 4, 2011

උඹේ කවිය සහ මගේ කවිය

උඹේ කවිය සහ
මගේ කවිය මැද්දෙන්
ගසා ගෙන තඩි ඉරි
සොයා ගෙන වෙනස්කම්
ඒ රසය මේ රසය අතර
...හදා ගෙන මහ පටලැවිල්ලක්
උන් අදිති එහෙටත් මෙහෙටත්

සීතලද මිදී ගිය රාත්‍රියක
හදවත කෙනිත්තූ හැඟුමන්
පෑන්තුඩකින් ලියා තැබු බව
නොකියා නිහඬවීමි

හැන්දැකරේ උඹ ඇවිත්
ඉල්ලගෙන බලෙන්ම ඒ කව
දෙතුන් විට කියවා බලා
ඇවිද ගොස් මා සමඟ වෙරළට
බැස යන හිරු දෙසට
දිගු කර සුරත
"අන්න අර අතන උඹේ ඊළඟ කවිය"
පවසා එලෙස මෘදුව
නිහඬව පියනගයි ඉවතට

2 comments:

nawammawatha said...

හැමදාම ඇවිල්ල හිත් අතින් යන එක එපා වෙලා බං. බ්ලොග් එක පාළුවට ඇරල මොකද?

අනුෂ්ක තිලකරත්න said...

මටත් එහෙම තමයි බං. දැන් ඉතින් විවාහකයෙක් නෙ.. දන්නැද්ද ඉතින් බැන්ද අලුත. ඒත් ඉක්මනටම කටුගාපුව මොනව හරි එල්ලන්නම්.