“උඹ දන්නවද මං ඔය ටර්පන්ටයින් සුවඳට හරි ආසයි බං…” දවසක් මම මගේ යාළුවෙකුට එහෙම කිව්වා.
"ඒ මචං උඹ කුඩ්ඩෙක්ද?" යාළුව නෝන්ඩියට වගේ මගෙන් එහෙම ඇහුවා. එදා ඒ යාළුවට කියපු නැති කතාවක් ඔයාලට කියන්නම්. මෙන්න මේකයි ඇත්තම සිද්ධිය.
1987- 1989 කාලෙ අපි එතකොට හිටියේ මත්තේගොඩ නිවාස සංකීර්ණයෙ ගෙදරක. උඩ තට්ටුවේ තිබ්බ කාමර දෙකින් එකක අපෙ අම්මා චිත්‍රයක් ඇඳ ඇද හිටියා. මට අදටත් හොඳට මතකයි ඒ ඇඳ ඇඳ හිටියෙ දිය ඇල්ලක්. එයා ළඟ තිබුණා දුඹුරු පාට ප්ලාස්ටික් පෙට්ටියක දාපු oil painting ටියුබ් වගයක්. ඒ පෙට්ටියේ oil painting වලට අමතරව තව පුංචි වීදුරු බෝතල් දෙකක් තිබුණා. ඒ බෝතල් වලින් ආවෙ ඔන්න ඔය කියන ටර්පන්ටයින් සුවඳ. මං එදා මොකද කළේ දන්නවාද? පැත්තක තිබ්බ පින්සලක් අරගෙන එක පාරටම අර දියඇල්ලෙ තැනක පාට වගයක් ගෑවා. "අන්න ..මොකද්ද ඔයා ඒ කලේ?" අම්මා ඇහුවා. ඊට පස්සේ අම්මා එයාගේ චිත්‍ර කලා හැකියාව පාවිච්චි කරලා ඒ මම පාට කරපු තැන කැත මැකෙන්න එතන පොඩි ගල් පර්වතයක් වගේ ඇන්දා. මේ සිද්දිය වෙන්නෙ අදට අවුරුදු 33-34 කට විතර කලින්. ටර්පන්ටයින් සහ ඔයිල් පේන්ටිං තියෙන තැනකින් එන ඒ සුවඳත් එක්ක ඕනෙම වෙලාවක මට ඒ මතකයට රිංගන්න පුලුවන්.
අපේ අම්මට චිත්‍ර අඳින්න තිබුනු හැකියාව ගැන මට තිබුනේ සමහර විට ඉරිසියාවක් වෙන්න පුලුවන්. අම්මා හේවුඩ් ඉගෙන ගත්ත කෙනෙක්. අදත් මම චිත්‍රයක් අදින කොට හිත ඇතුලෙන් එයාගෙ හැකියාවට සමාන වෙන්න හෝ අභිබ්වා යන්න හෝ උත්සාහ කරනවා කියලා මට හිතෙනවා . ඇත්තටම මම චිත්‍ර අඳිනවා කියලා කරන්නේ ඔන්න ඔය පැරණි මතකයන් ඇතුළට යන්න පාරක් හදාගන්න එක. oil painting එක්ක කලවම් වෙලා එන ටර්පන්ටයින් සුවඳත් එක්ක මම යන්නේ අපූරු නිර්මාණ පිරිච්ච ලෝකෙකට. ඒ ලෝකය හරිම නිහඬයි. හුදෙකලා ලෝකයක්. ඒත් පාළුවක් දුකක් නෑ.
පොඩි canvas එකක් උඩ මට ඕනේ දෙ ඇඳ ගන්න මම තවමත් සෑහෙන්න දුක් විඳිනවා. මේ වෙනකන් ඇඳපු කිසිම චිත්‍රයක් ඇතුලේ මම තෘප්තිමත් වුණේ නෑ. ඒ හැම චිත්‍රයක්ම අම්මා වගේ අඳින්න දරපු අසාර්ථක උත්සාහයක් කියලයි මට හිතෙන්නේ. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම චිත්‍ර අඳිනවා. විශේෂයෙන්ම පොඩි උන් දෙන්නට පේන්න. මම චිත්‍ර අඳිනවා දකින පුතා සේරම වැඩ නවත්තලා එයත් චිත්‍රයක් අඳින්න පටන් ගන්නවා. එයාට තාම අවුරුදු හතයි. අම්මාගෙන් මට ලැබුන ඒ ආභාෂය මගේ දරුවන්ටත් ලබා දෙන්නයි මට අවශ්‍ය.කොයිතාක් දුරකට ඒ අය මේ කලාව ප්‍රගුණ කරයිද කියල මම කියන්න දන්නෙ නෑ. කඩදාසියකුයි පාට ටිකකුයි දීලා ඇඳපං චිත්‍රයක් කියලා කියනවට වඩා එයාලට පේන්න එහෙම නැත්තං එයාලත් එක්ක චිත්‍ර අඳිද්දි එයාල ගොඩාක් සතුටු වෙනවා වගේම motivate වෙනව කියල මම දන්නවා. තවත් දෙයක් තියෙනවා. අපිත් වයසට යනවනෙ . ජීවිතේ කවදාහරි හොඳටම හුදෙකලා වේවි. එදාටත් පුළුවන් විදිහට චිත්‍රයක් අඳින එක තමයි මගේ බලාපොරොත්තුව.. මිනිස්සු හුදෙකලාවට බයයි. අවංකවම කියන්න මම නම් කැමතියි. මොකද මට ඕනෙතරම් හිනාවෙන්නත් පුලුවන් අඬන්නත් පුලුවන්
මගේ ජීවිතයට මගේ අම්මාගේ කලා හැකියාවන් කොච්චර බලපෑවද කියලා එයාවත් දන්නෙ දන්නෙ නැතිව ඇති..