සීයපප්පා, ඒ නම හැදුනේ කොහොමද යන්න අදටත් ගැටලුවකි. සීයා+පප්පා = සීයපප්පා. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව එළඹියහැකි නිගමනය එයයි. සීයපප්පා මගේ අම්මාගේ තාත්තාය. සීයපප්පා රත්නායක රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ රස්සාවක් කල බව මට යාන්තමට මතකයි. සීය පප්පා අපිව බලන්න එනකොට ගෙනා වැදගත්ම දෙය නම් ඉස්පංචි ය. ඔස්ට්‍රේලියාවෙ නම් මෙම ආහාරයට කියන්නේ කප් කේක් කියාය. කප්කේක් වල හා ඉස්පංචි වල මා දකින ලොකුම වෙනස, කප් කේක් වල උඩ පැතලිවන අතර (අයිසිං නැතුව ) ඉස්පංචි වල උඩ පොඩ්ඩක් ඉදිමී තිබීම වෙයි.. කෙසේ හෝ සීයපප්පා අය්යාටද මටද ඉස්පංචි අනිවාර්යයෙන්ම ගෙනා බව සහතික කරමි.
ඒ 1987-1989 කාලයයි. මම එකල 1 වසරේ නැත්තං දෙක වසරේය. පදිංචිය 8B/ 72 -X මත්තේගොඩ නිවාස සංකීර්ණය, මත්තේගොඩය. ටීවි එකේ ළමා නාට්‍යයක ළමුන් පිරිසක් රොකට් එකක් හදාගෙන හඳට යන දර්ශනයක් පෙන්නපු දවසේ සිට මටද රොකට් පිස්සුව තදින්ම හැදුනේය. බත් කන්න හොර (කේක් පැටිස් මාලුපාන් භක්ෂක මා ) මට බත් එලවලු කැවීමට අම්මා දුක් විඳිද්දී දවසක් සීයපප්පා මාව දමනය කලේ උඩ යන රොකට් එකක් හදා දෙනවා කියා පොරොන්දු කරගෙනය. ඉතින් මම බත් කෑවෙමි.
එතැන් පටන් මම රොකට් එකේ සිහිනයෙන් නොමිදුනෙමි. සීයපප්පා කියූ පරිදි එයා වැඩ කරන තැන රොකට් වලට අවශ්‍ය කොටස් නිපදවන අතර එයා වැඩට ගොස් එන විට එම කොටස් මට එකින් එක ගෙනත් දෙනවාය. හැබැයි හඳට යෑමට නම් බත් එලවලු කෑම අනිවාර්යය අතර නැත්නම් හඳේදි ජීවත් විය නොහැකිය. සීයපප්පාගේ විද්‍යාත්මක න්‍යාය එයයි. හැමදාම සීයපප්පා ගෙදර එන දිනක රොකට් එකේ කොටසක් කඩදාසියක ඔතාගෙන ගෙන ආවේය. "සීය පප්පා මේ කෑල්ල මොකටද?" මම අසමි. "ඔය රොකට් එකේ සයිඩ් එක.ඕක හෙන ගණන්. හෙන අමාරුවෙන් මම හදාගෙන ආවෙ". සීය පප්පා බැරෑරුම් ලෙස පවසයි. මගේ සතුට දෙගුණ තෙගුණ වෙයි. රොකට් එක කොටස් වශෙයෙන් එකලස් වෙමින් පවතී. ඉතා ඉක්මනින් මම හඳට යමි. ඔය ආකාරයට, රොකට් එකේ වීදුරුව, රොකට් එකේ හෝස් එක, වෑල් එක ආදී එකී නොකී වැදගත් කොටස් රාශියක් අපේ ගෙදර මගේ සෙල්ලම් බඩු පෙට්ටියට ආවේය.
1988 වසරේ එක්තරා දිනක අප්පච්චී අය්යාටද මටද ඇහැරවා"සීය පප්පා මැරිලා..ඔයාලයි අම්මයි දැන් එහේ යනවා." කියා කියූ හැටි මට තවම මතකය. ඊට පස්සෙ ඉතින් අපි අත්තම්මලා හිටි අරංගල පැත්තේ ගෙදර ගියෙමු. මළගෙදරක් යනු කුමක් ද? වෙන්නේ කුමක්ද යන්න ගැන මට හරි අවබෝධයක් නැත. දවසකට පමණ පසු සීයපප්පාගේ මිනිය සාලයේ තබා තිබුනි. නෑදෑයෝ හඬමින් සිටිති. දැන් ඉතින් කවුද මගෙ රොකට් එක හදන්නේ? ඔන්න මට තිබ්බ ප්‍රශ්න!. කෙසේ හෝ මළගෙදරද මට විනෝද ආකරයකි. නෑදෑයෝ හැටහුටාමාරකි. පොඩි පොඩි උන්ද හෙනට හිටි නිසා මට රොකට් එක ගැන දුක් වෙන්න වෙලාවක් තිබුනේ නැත. එකම බය හිතෙන සිදුවීම වුනේ කෝට්ටෙ ශාන්ත තෝමස් විද්‍යාලයේ ළමයි පිරිවරාගෙන බ්‍රදර් ෆිලීශියන් මළගෙදර එන දර්ශනය දැකීමයි. මගේ අම්මා එකල එම විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියයි. බ්‍රදර් ෆිලීශියන් යනු ඉතා සැර ගුරුවරයෙකි. "වේවැලත් අරං එනවද දන්නෙ නෑ?" මම සෙනග අතරින් රිංගා දිව්වෙමි. කුස්සිය පැත්තේ බොරුවට කැරකෙමින් සිටි මාව සොයාගෙන ආවේ අම්මාය. "මේ මෙහෙ එන්න අන්න ඕගොල්ලන්ගෙ ටීචත් ඇවිල්ල!" කියා මාවත් ඇදගෙන සාලය දෙසට ගියාය. චන්ද්‍රලතා ටීච මට ඉතා හොඳින් කතා කලාය. "මළගෙදර නිසා අතපසු වෙන හෝම්වර්ක් ටික දීල යන්න වෙන්ඩැති" ඒ මගේ සිතුවිලිය. ඒ චන්ද්‍රලතා ටීචත් ඇයගේ පුත්‍රයාත් අනූ ගනන් වල මහරගම පුපුරාගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
කෙසේ හෝ මගේ රොකට් එක සාදාදීමට කලින් සීයපප්පා මියගියේය. එදා ඒ රොකට් එකේ කෑලි යැයි අපේ නිවසට පැමිණ තිබෙන්නේ කුඩ මිටි, පරණ කණ්නාඩි කාච, පීවීසී පයිප්ප කෑලි, සරණේරු කෑලි සහ කැඩිච්ච ස්ටෙප්ලර් මැශින් බව මට අවබෝධ වෙන්නේ තවත් කාලයකට පසුවය.