කිසිදු කවියක් නොලියවෙන මොහොතක
මම ඔබේ නෙත් දෙස බලමි..
සැනෙකින් ඒ නෙත් බිමට හැරවෙයි
මුවග මදහසක් නැගෙයි..
ඉතින් ඒ නොලියවුනු කවිය
මම රහසින්ම කියවමි...
විඳිමි....
මෙය 1993-1996 කාලයේ සිදු වූ සිදුවීමකි. එකල අපෙ අප්පච්චී බියගම ආයෝජන කලාපයේ (BOI) කළමණාකරු-ගිණි හා අරක්ෂක (Manager- Fire & Security) විය. බියගම ආයෝජන කලාපයේ මහා පරිමාණයේ වැඩ වර්ජනයක් එකල විය. අප්පච්චී පැය 24 ම රාජකාරි කරමින් හිස ගිණිගෙන හැසිරුනු සමයකි. අපිට නම් පොඩි පහේ ආතල් එකක් විය. අපි එකල සිටියේ බියගම පොලිස් ස්ථානය ඉදිරිපස තිබූ නිවසකය. දැන් නම් එතන වෙන මොකද්දෝ ගොඩනැගිල්ලකි. ඒ දවස් වල නිතර නිතර ආයුධ සන්නද්ධ පොලිස් රථ පාරේ යන අතර අප නිවස අසලද රථ කිහිපයක් නිතරම නවත්වා තිබුනු අතර , ඉතින් කොයි මොහොතක හෝ මහා කලබගෑනියක් වේ යන ආතතියෙන් , නමුත් පොඩි මෙව්ව එකකින් අය්යාද මමද සිටියෙමු. රාජකාරි කටයුතු වලට එකල අප්පච්චිට වෝකි-ටෝකි යන්ත්‍රයක් ලබාදී තිබුනි.නමුත් එය අපිට තහනම් භාණ්ඩයක් විය.
සිද්ධිය මෙසේය.
ඔය වෝකි-ටෝකි එකෙන් කතාකිරීමේ මහා රුදාවක් අය්යටද මටද තිබුනි. Calling Biyagama main gate..over (චක්ස්).., Calling control room..over (චක්ස්)..Calling three gate... over (චක්ස්).... ඔය අපිට නිතර වෝකි- ටෝකි එකෙන් ඇහුනු පණිවිඩ කීපයකි. දවසක් අප්පච්චි ගෙදර නැති වෙලාවක වෝකි-ටෝකි එක අතට ගෙන අය්යාද මමද පොඩි සංදර්ශනයක් දැම්මෙමු. අප්පච්චි කතා කරනවා මෙන් වෝකි- ටෝකි එක අරගෙන අපේ ප්‍රියතම පණිවිඩය වන Calling biyagama main gate..over යැයි කිහිප වතාවක් කීවෙමු. වෝකි-ටෝකි එක ඔන් එකේද නැත්ද යන්න වත් පරීක්ෂාකරන්න අපි දන්නේ නැත. අපි හිතාගෙන හිටියේ කතා කරන්න කලින් මොකක් හරි ස්විච් එකක් ඔන් කරනවා ඇති කියාය. නමුත් වෝකි ටෝකි එක අතට ගන්නවාත් සමගම ඉතාපහසුවෙන් ඇඟිලි වලින් නොදැනීම වගේ ඔන් වෙන ඉතා මෘදු ස්විච් එකක් පැත්තක තිබෙන බව අපේ අක්මාවට තේරුනේ නැත. ඉතින් කිසිම වගක් නැතිව අපි දවසේ ඉතිරි කාලය ජීවත් වුනෙමු.
ඇටිකෙහෙල් කෑවමද ප්‍රතිඵල එන්න තරමක් වෙලා යනවා නොවෙද? හවස ගෙදර පැමිණි අප්පච්චිට ආයෝජන කලාපයෙන් කෝල් එකක් ආවේය. අපිට ඇහුනේ "කවුද? කීයට විතරද ....ආ හරි මම බලන්නම් " කියා වේගයෙන් ටෙලි පෝන් එක තබන හඬ පමණි. අය්යද මම ද ටීවි බලමින් සාලයේ සිටියෙමු. එක්වරම මහා ඝර්ජනාවක් ඇහුනි.."මේ මොකාද කියනව බලන්න හෑන්ඩ් සෙට් එකෙන් මැසේජ් ගැහුවෙ උදේ" ?
අය්යද මමද තක්බීර් වුනෙමු. මොකද්ද යකෝ මේ උනේ? මෙයා කොහොමද දන්නෙ?
"අ.අ අපි දන්නෑ අප්පච්චි.."
"දැන් එතකොට තමුසෙල නෙමෙයි කතාකලේ?"...
"ආ අපි කතා කලා..තමයි,..නිකන් ජොලියට කතා කලා....හැබැයි වෝකි ටෝකි එක අතින් ඇල්ලුවෙ නෑ අප්පච්චි. ඒකඉස්සරහ ඉඳන් කතා කලේ...කොහොම උනාද දන්නෑ අප්පච්චි. අත් පිටි පස්සට කරගෙන කතා කලේ..ඇත්ත මේ..මෙහෙම මේ"
"තමුසෙල මට උගන්න්න හදනවද? දැන් කවුද ඒකෙන් කතාකලේ..?"
"මමත් කතා කලා..මෙයත් කතා කලා අප්පච්චි"....අය්ය කාරය මාව එකෙන්ම පාවා දුන්නේය.
"ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නෙ?" අම්මා සීන් එකට එන්ටර් වූවාය. දැන් ඉතින් අපිව බේරගනු ඇත.
"මුන් දෙන්න හෑන්ඩ් සෙට් එකෙන් මැසේජ් ගහල. . ඒ මදිවට මේ දවස්වල ප්‍රශ්න හින්ද කටුනායකයි, කොග්ගලයි ඒවත් ලින්ක් කරල තියෙන්නෙ. ඒවටත් ඇහිල....පණ්ඩිත වැඩ කරන එකේ සීමාවක් නෑ නෙ...දැන් කන්ට්‍රෝල් රූම් එකෙන් කතා කරල කිව්වෙ?"
තොවිලය දැන් වඩාත් උස් හඬින් ඇසේ. අය්යද මමද බිං ගුල්ලන් මෙන් සිටිමු.
"ආ මටත් ඇහුන තමයි කෝලින් මේන් ගේට් කිය කිය කියනව..මම හිතුව සෙල්ල්ම් කරනව කියල..මොනාද පුතා ඕ ගොල්ලො මේ කරන්නෙ?" සිදුවිය හැකි වෙනත් ආකාරයක් පෙන්වාදී අපේ නිර්දෝශීභාවය ඔප්පු කරනවා වෙනුවට අම්මාද පැමිණිල්ල වෙනුවෙන්ම පෙනී සිටියෙන් තත්වය තවත් දරුණු විය.
තොවිලය තවත් බොහෝ වේලාවක් පැවතීය. එදා හවස අපේ ඥාති සහෝදරයෙක් වන හඟුරන්කෙත නිශාන්තය්ය පාරුවේපුවකට අපේ ගෙදර ආවේය. සිද්ධිය මිනිහගේ කනටද ගියේය. එතැන් පටන් අප්පච්චි ළඟ නැති වෙලාවක් බලා "මල්ලි..මල්ලි මේ..මෙහෙම නේද වෝකි ටෝකි වලින් කතා කරන්නෙ?" කියා....දෙකට නැමී අත් පසුපසට තියාගෙන (අර පහසුවෙන් සිටීම වගේ) "කෝලින් බියගම මේන් ගේට්..ඕවර්.." කියා අපිව බයිට් කිරීමට පුරුදු වී සිටියේය. තවද හෙන බැරෑරුම් පෙනුම ආරූඩ කරගෙන (අර රංජා කතා කරනව වගේ ) "මල්ලි මේ ඕගොල්ලො තේරුම් ගන්න ඕනෙ හෑන්ඩ් සෙට් තියෙන්නෙ රාජකාරි වැඩ වලට. නැතුව සෙල්ලමට නෙමෙයි. දැන් බලන්න ඕගොල්ලො ඒ කරපුවැඩෙන් අප්පච්චි ඔෆිස් එකේ සවුත්තු වෙනව නේද? තව අර එයාගෙ මැනේජර්ලටත් ඇහිල. නිකන් හොඳ නෑ නෙ මල්ලි. පොඩ්ඩක් කල්පනා කරන්න. ඕගොල්ලො වැදගත් ඉස්කෝල වලට නේද යන්නෙ?" කිය කිය නිශාන්තකාරයා අපිට කින්ඩි දැමීමට පුරුදුව සිටියේය."තොට තියෙන ඉකේපුමාරුව මොකද්ද යකෝ " කියා ඌට පහර දීමට සිතුනද ඌ අපිට වඩා හුඟාක් ලොකු එකෙක් නිසා පව් කියා මම ඉවසුවෙමි.
ඔය පහල තියෙන්නේ ඒ කරුම වෝකි ටෝකි වර්ගයයි
ඔබ වෙනුවෙන් ආලේඛ්‍ය චිත්‍රයක්
කිසිවිටෙක නොඇන්දෙමි
එනමුත් මිහිරි මතකයන්
කිසිවෙකුගෙ ඇස නොගැටෙන්න
කොහේ හෝ සඟවන්න සිතුවෙමි
මා පමනක් දන්නා
රහස් කේතයන් ගෙන..
කඳු මුදුන් මත
වලාකුල් මත
ඒ මතකයන් රැඳෙව්වෙමි,
කවි ලෙස...
ඉතින් ඒවා හුදෙක්ම
කවි පමණක්ද?
කාලය තුලම
ඝනීභවනය වූ සදාකාලික රහස් නොවන්නේද?
එතරම්ම මම ඒ මතකයන් වලට
ආදරය කරමි