Monday, December 13, 2021

හිස් අහස


"මෝයා..මෝයා..දැන්වත් මේ දොර ඇරපං ළමයො......එළියට වරෙන්කො....කී දවසක් ද දැන් ඔහොම.....නොකා නොබී ..කවද වෙනකන් ඔහොම ඉන්නද? හාමතේ නහින්න හදන්නෙ..මහා බලසම්පන්න දෙවියන්ගෙ අණ නෙ බං..අපියි කියල මක්ක කොරන්නද? "

අකාටි මැහැල්ල ගේ කට හඬ මෝයාගෙ පැල්පත ඉදිරියෙන් ඇසෙන්නේ දැන් විසි වෙනි නැත්නම් තිස්වෙනි පාරට විය යුතුය.

 මෝයාගේ දෙනෙත ජනේලයෙන් එපිට වූ අහස වෙත යොමු වී තිබේ. ඒ හිස් අහසකි. කුරුල්ලෙක් වත් පියාඹන්නෙ නැතුවද අහසෙ? රාජාලියෙක් වත්? ඉස්සර කොයෝටේ කොච්චර ආසද රාජාලියො බලන්න....

"අම්මේ..රාජාලියාට වඩා ඉහලින් පියාඹන කිසිම කුරුල්ලෙක් නෑ නේද? එයා නේද තේජවන්තම...."....කොයෝටේ ,මෝයා ගෙන් ඉස්සර නිතරම අහන් දෙයක්.

කොයෝටේ කුඩා කල සිටම ගෝත්‍රෙයේ අනෙක් සම වයස් දරුවන්ට වඩා වෙනස් ගති ගුන ඇත්තෙක් විය. ඔහු නිතර කල්පනා කරයි. වැස්ස ඇතිවෙන්නෙ කොහොමද? ඇතැම්විට අහසේ පුරා ඇඳෙන දීප්තිමත් ක්ෂණික ආලෝකයන් මොනවාද? කොයෝටේ මේ ගැටලු තම මවගෙනුත් ගමේ ඇතැම් වැඩි හිටියන් ගෙනුත් අසා දැන ගැනීමට මහත් උනන්දුවක් දැක්වීය. මහ පොළව පාලනය කරන දෙවියන්, අහසේ බලය පතුරවන දෙවියන්, එලිය අඳුර පාලනය කරන දෙවියන් ව්ගේම ලෙඩ රෝග සාදන ලෙඩ රෝග සුව කරන සුවහසක් වූ මහා බලසම්පන්න දෙවිවරුන් ගැන කොයෝටේ දැන ගත්තේ ගමේ ප්‍රධාන පූජක තැන ගෙනි. තමා මෙම සියලු දෙවි වරුන්ගේ එකම නියෝජිතයා ලෙස තමාම හඳුන්වා ගන්නා ප්‍රධාන පූජකතැන  ගෝත්‍ර නායකයාටත් වඩා මහා බලසම්පන්න අයෙකු විය. ඔහුගේ අණට කවුරුත් අවනත විය.

"ශ්‍රේෂ්ඨ ටොනාටිඋ (හිරු දෙවි ) ගේ බලයෙන් අප සැමගේ කටයුතු සාර්ථක වේවා..." යැයි ප්‍රධාන පූජක තැන යාතිකා කරමින් සිටි තැනට ගිය කොයෝටේ මෙසේ ඇසුවේය.
 "ස්වාමීනී.. ටොනාටිඋ ට එච්චර බලයක් කොහින්ද?"... .
කොයෝටේ දෙස රවා බැලූ ප්‍රධාන පූජක තැන...
" මෙතන දේව උදහසට ලක් නොවී දුවපන්"...යැයි ගුගුලේය.

"ස්වාමීනී..ගින්නෙන් රස්නය ලැබෙනවා නෙ. අන්න එහෙම ගිනි ගන්න තැනක් විතරක් වෙන්න බැරිද ඔය ?"
"ටොනාටිඋ....දෙවියෙක් නෙමෙයි..නිකන්ම්ම ගිනි ගොඩක්!"..

ප්‍රධාන පූජක තැන කෝපයෙන් වෙව්ලා ගියේය. "අහෝ...ශ්‍රේෂ්ඨ ටොනාටිඋ දෙවියනි...මේ සාපලත් දරුවාගෙන් අප ගලවා ගන්න. අපිට දඬුවම් කරන්න එපා..අපිට සමා වන්න..අහෝ".... හිරු දෙසට දෑත් දිගු කරමින් කන්නලව් කල ප්‍රධාන පූජක තැන වහාම ගෝත්‍ර නායකයා හමු වීමට දිව ගියේය.

  හැන්දෑවේ ගම මැද විශේෂ රැස්වීමකි. ප්‍රධාන පූජක තැන වගේම ගෝත්‍ර නායකයාත් කෝපයෙන් දැවෙමින් උන්හ.
"මෝයා..උඹේ මේ නැහැදිච්ච කොල්ලා අපිව විනාස කරන්නද යන්නෙ...හිරු දෙවියන්ට අපහාස කරල මුලුගමටම සාප කරගන්නද හදන්නෙ....මොකද්ද මේකෙ තේරුම....? මූට වසක් විසක් කැවිලද? වහාම පූජක තැන ඉදිරියේ දණින් වැටිලා සමාව ගනින්...." ගෝත්‍ර නායකයා ගුගුලේය.

බියෙන් වෙව්ලා ගිය මෝයා ගෝත්‍ර නායකයා ඉදිරියේ දණින් වැටුනාය..."නායක තුමනි..මේ නොදරුවාට සමා වෙන්න..තරමක් මුරණ්ඩුයි..මම හදා ගන්නම්..අනේ යුද්ධෙන් මිය ගිය දරුවාගේ පියාගේ නාමයෙන් ඔහුට සමාව දෙන්න..අනේ ස්වාමීනී..."

"ටොනාටියු..මේකට දඬුවම් දෙනවා..දෙනවාමයි....පුහ්..ගිනි බෝලයක් ලු..අපේ ශ්‍රේෂ්ඨ දෙවිඳුන්....බලමුකො...." ප්‍රධාන පූජක තැන දොඩවමින් දෙවොල දෙසට ගියේය.අනෙකුත් ගම් වැසියෝ බියෙන් සැකෙන් කසු කුසු ගාමින් වහ වහා විසිර ගියහ. ඒ එක සිද්ධියක් පමණි.

ඇයි තව දිනක !....ඒ ටියලොක්...(වැහි දෙවිඳුන්) ගේ දිනය විය. ප්‍රධාන පූජක තැන මහ හඬින් යාතිකා කරමින් නිසි කලට වැසි ලබා දෙන ලෙස ටියලොක් දෙවියන් ගෙන් ඉල්ලා සිටියේය.  යාතිකාව අවසානයේ සුපුරුදු පරිදි ප්‍රධාන පූජක තැන ආවේශ වී සිහිසුන්ව වැටුනේය. ගෝත්‍රික මිනිසුන් ටියලොක් ගේ ආශීර්වාදය තමුන්ට මෙවරත් ලැබෙන බව දැනගෙන සතුටින් විසිර ගියහ. බිම වැටී සිටි පූජකයා අසල ඔහුගේ සහායක දරුවන් කිහිපදෙනෙක් ද විය. එතනට ගිය කොයෝටේ..."අපරාදෙනෙ  ඔච්චර මහන්සි වෙන්නෙ..අහසෙ වලාකුලු තෙරපෙනවෙලාවට කොහොමත් අපිට වැස්ස ලැබෙනවා ...." යැයි අනෙක් දරුවන්ට පවසා සිටියේය. සිහිසුන්ව සිටි පූජකයා හොරෙන් එක් ඇසක් ඇර බැලීය... "

".මේ අර කොල්ල නේද?" ටියලොක් දඬුවම් කරනවා කරනවාමයි..මූට.."   දත්මිටිකමින් තමාටම
පවසා ගත් ප්‍රධාන පූජක තැන තවත් බොහෝ වේලාවක් සිහි මුර්ජාවී පසුවීය.

ඉතින් ඔහොම සිද්ධි තව කොච්චර නම් සිදු වුනාද?
 
ගමට මහා නරක කාලයක් උදා විය. එක දිගට වැස්ස නොමැතිව මහා දිග කාලයක් ගතවිය. ඒ මදිවාට වසංගතයක්ද ආරම්භ විය.

"අනේ ශ්‍රේෂ්ඨ වූ දෙවියනි ..අනුකම්පා කරන්න....මේ නොදරුවෙක් නේද? උන්ගෙ පියාත් යුද්ධයෙන් මැරුණා....අනේ අනුකම්පා කරන්න....." මෝයා ප්‍රධාන පූජක තැන සහ ගෝත්‍ර නායක ඉදිරියේ මහ හඬින් කන්නලව් කලාය.

"ඔව් මට මතකයි  ඔහු රණ ශූරයෙක්.....පේන්නෙ නැත්ද මේ සාප ලත් කොල්ලා උගේ පියාටත් අවනම්බුවක්....." ගෝත්‍ර නායකයා ස්ථිර හඬින් කියා සිටියේය.

"මෝයා....ශ්‍රේෂ්ඨ වූ ටොනාටියු වගේම ටියලොක් දෙවියොත් මට සිහිනයෙන් පෙනී අණ කලා..පේන්නෙ නැත්ද? දැනටමත් උන් වහන්සේලා උදහස් වෙලා..මේ මුළු ගමම දැවිලා යාවි..අපි ඔක්කොම සාගතයෙන් මැරේවි...ඒ සේරම මේ කොල්ලා
නිසා....දෙවියන්ගේ අණ කඩ කරන්නට බැහැ.....තීන්දුයි ඉස්තිරයි..මේක දෙවියන්ගේ අණ"
...." ප්‍රධාන පූජක තැන ගාම්භීර හඬකින් කියා සිටියේය.

"මෝයා...අපිට බෑ මැරෙන්න උඹේ මේ කොල්ල නිසා.....එකෙක් නිසා මුළු ගමම විනාස වෙන්න දෙන්න පුලුවන්ද? මෙහෙමත් සාපයක්....දෙවියන්ගේ තීරණය බාරගනින්. "  ගම්මුද එක හඬින් කියා සිටියහ.

ඉතින් දෙවියන්ගේ අණ ඉටු කිරීමටම සිදු විය.

එදා...හුඟ කාලෙකට පස්සෙ අහස කලු වලාකුලු එක් රැස් වෙමින් තිබුනි. ඈතින් අකුණු පුපුරණ හඬ ඇසෙන්නට විය. ගම්මු බියෙන් තැතිගත් මුහුණු වලින් යුක්තව ලහි ලහියේ වධක භූමියේ සිට ආපසු සිය නිවෙස් බලා යමින් සිටියෝය.

මෝයා පමණක් නිසොල්මන්ව බිම වාඩිවී සිටියාය. ඇගේ දෙනෙත එල්ල වී තිබුනේ තරමක් ඈත බිම ඇඳ තිබූ සුදු පැහැති කවයක් වෙතය. ඒ කවය තුළ රක්තවර්ණ රුධිරයෙන් පෙඟී නිසොල්මන්ව ඇති හිස සුන් වූ ප්‍රමාණයෙන් කුඩා කවන්ධයට තමාගේ ඇති ආත්මීය ප්‍රේමයෙහි සුවඳ යළි යළිත් විඳ ගන්නට ඇය උත්සාහ කලාය.

බිහිවූ දා පටන් ඇගේ ජීවිතය නම් තටාකය පිරවූ දිය දහරාවන් එක්වරම සිඳී ගියාක් වැන්න. එය සිදුවූ ඉක්මන!. සැබැවින්ම එය දෙවියන්ගේ ක්‍රියාවක් නොවන්නේද?

"දෙවියනි..දෙවියනි.......ඒ මගේ කොයෝටේ.." ඇගේ මුවින් පිටතට ඇසෙන්නට පිටවූ අවසාන වචන ස්වල්පය ඒ විය.

 කුටියේ ජනේලයෙන් අද   ඇය දකින්නේ  හරිම නිස්කලංක අහසක් නොවේද? ඒ නිස්කලංක බව  ලැබී තියෙන්නෙ හිස් බවකින්. ඒ කියන්නෙ ඒ ඇත්තටම හිස් අහසක්.


අනුෂ්ක තිලකරත්න
29/10/2021

Wednesday, May 12, 2021

දුම්රියේ තනිව සිනාසෙන මිනිසෙකි

 


පැරණි මතකයක් අවදි වෙන්නැති
නැත්තම් හිතළුවක් ම වෙන්නැති
මිතුරෝ පිරිසක්ම ඉන්නැති
නැත්නම් ඔහු පමණක්ම වෙන්නැති
 
ඔහු උමතුවෙන්..
කෙනෙක් පවසාවි...
ඔහු මත්වී ඇත...
තවකෙක් පවසාවි...
 
එහෙත් මම ඔහු හා සිනාසෙමි
මේ මිහිමත එකම එක් මිනිසෙක්
සැබැවින්ම සතුටෙනි....
එනිසා මම සිනාසෙමි...
 
අනුෂ්ක තිලකරත්න
12/05/21

Tuesday, May 4, 2021

අපි ආයෙත් දවසක මුන ගැහිලා..

මොනාද ඔයා ඒ කාලෙ කියෙව්වෙ..කොයි වෙලාවෙත් ලේඛකයො චිත්‍ර ශිල්පියො....ඔයාගෙ කටේම තිබ්බෙ ඒ ගොල්ලො ගැන. පාලු ගෙදරක හුදෙකලාවෙ කවි ලිය ලිය ඉන්න අමුතු මිනිස්සු.....අර අමුතු චිත්‍ර.....

ඔව් ඉතින්.....

ඒ සේරම එක්ක මට ඔයත් එක්ක ඉන්න බැරිඋනා.. අපි ගැලපුනේ නෑ..එච්චරයි..අන්තිමට කිව්වනෙ...ඒව අතහරින්න කියන්න එපා...ඒව නැතිව මට ආදරේ තේරෙන්නෙ නෑ...එහෙම කියලනෙ මගෙත් එක්ක රණ්ඩු වුනේ....අන්තිමට..අන්තිමට ඉතින් මම තීරණයක් ගත්තා..මම ඔයාව දාල ගියා...වෙන කෙනෙක් එක්ක...

ඉතින් දැන් ඔයා සතුටින්ද? එයා ඔයාට ආදරේද? ඔයා එයාට ආදරේද?දැන් ඔයා හොයපු ජීවිතේ තියෙනවද?

මං දන්නෙ නෑ....ඔව් එහෙම වෙන්න ඇති....ඒක නෙමෙයි..ඔයා මහ බොරු කාරයෙක්..මට හෙනට දුක් විඳපු කලා කාරයොගැන කතා කියල කියල මට එපා කරවගෙන ඊට පස්සෙ..කොහොමද? රටත් ගියා නේ...සල්ලිත් හම්බකරනව නෙ....

ඉතින්...

ඉතින්..ගාන්නෙ..දැන් මම එක්ක ඉන්නකොට ඔය මුකුත් ඕනෙ උනේ නෑනෙ..කලාව ගැන විතරනෙ කියෙව්වෙ...සමහර දාට මාව හම්බෙනව වෙනුවට පොත් එලිදැක්වීම්, චිත්‍ර ප්‍රදර්ශන..ඔව්ව ඔක්කොම කරන්න ඕනෙ උනා...

ඔයා හිතුවෙ මම කෙලව ගනී කියලනෙ....

ඔව්..ඇත්තටම..කවදාවත් කාර් එකක් වත් ගන්න එකක් නෑ..කියල තමයි මට හිතුනෙ..ඒකට මොකද මෙන්න...දැන්..පිට රට ගිහින් ඔය ඉන්නෙ අපූරුවට....ජීවිතේ විඳ විඳ අරකි එක්ක පොටෝත් දානව ෆේස් බුක් එකේ...

හය්යො..හය්යො...ඒකද මේ දඩි බිඩි ගාල හස්බන්ඩ්ට හොරෙන් මාව හම්බවෙන්න ආවෙ..ඔය තරහ පිරිමහ ගන්නද?

ඔව්..තමුසෙ මහ ජරා කැත මිනිහෙක්.....මගෙත් එක්ක ඉන්නකල් බොරු මනස්ගාත කියවල ..දැන් ඉන්නව හොඳට...

නෑ..ඔයාට වැරදිලා....මම තාමත් ඒ ෆැන්ටසි වලජීවත් වෙනවා.....ඒ මගේ හැටි..ඒ ව මගෙන් වෙන් කරන්න බෑ..එතකොට ඒ මම නෙමෙයි.  මම මමනොවෙයි වෙනවට වඩා..... මම මමම වුනා. ආයෙ දෙබිඩි ජීවිත නෑ...ඉතින් ඒ ජීවිතේ ලේසියි..එච්චරයි..එයා දන්නව මට පිස්සු කියල....ඉතින් අපි සතුටින් ඉන්නව...ඉරිසියද?

මම මොකටද ඉරිසියා කරන්නෙ..මගෙ මහත්තයට ඕනෙ තරම් සල්ලි තියෙන්නෙ? ඔව්ව මොනාද මට..මැජික් යැ..

ඉතින් ..එහෙනම් ප්‍රශ්නයක් නෑ නෙ...මොකෝ මේ මට බැන බැන ඉන්නෙ? 

හරි..ඔයා දිනුම්..ඔයාට ඕනෙ දේ උනානෙ....ඔයාගෙ ෆැන්ටසි එක බේරුනා....පිස්සු කර කර උනත් සැප විඳින්න පුලුවන් උනා....ඒ ගෑනි ඔයාට ආදරෙයි..ඉතින් තව මොකෝ නේ....

..........

අපි හැමෝම ඉන්නෙ ෆැන්ටසි වල තමයි...අපි ආදරේ කරන්නෙ අපේම සිතුවිලි වල පරාවර්තනයකට. නැතුව එලියෙ ඉන්න කෙනෙකුට නෙමෙයි. දැන් ඔයාට ඔය සේරම භෞතික සම්පත් තියෙන්නෙ..ඉතින් ඔයාට සතුටින් ඉන්න පුලුවන් වෙන්න එපැයි.....

ඔයා මට හින්ට් ගහනව නේ......

නෑ..මම ඇත්ත කියනව.....එච්චරයි....ඔයාගෙ ජීවිතේ හෙන ෆ්ලැට්..ක්‍රමානුකූලයි..භෞතික දේ ලැබුනට පස්සෙ අපිට ඒ හැම දේම එපා වෙනව. ඒක භෞතික දේවල් වල ස්වභාවය....එතකොට අපි සතුට හොයන්නෙ අර අපි අත හැරල දාපු නැත්තන් අතහරින්න ට්‍රයි කරන ෆැන්ටසි වලම තමයි. ඔන්න ඕකයි ක්‍රමේ....ඉතින් ඇත්තටම ජීවිතේ ඇතුලෙ අපේ ෆැන්ටසි වලටත් ඉඩක් තියෙන්න ඕනෙ....ඔයාට තේරුම් ගන්න බැරි උනේ ඔන්න ඕක.....ඔයාට එදත් මාව පෙනුනෙ පිස්සෙක් විදිහට......වැඩකට නැති දේට කාලෙ කන එකෙක් විදිහට....මම කියනකොට අර වලාකුල නිකන් නැට්ට නැති බල්ලෙක් වගේ කියල ඔයා ඇහුවෙ..මතකද? වලාකුලු හැඩ හොය හොය හිටියම හරිද? ඔච්චරද අපිට අඩු..එහෙමයි ඔයා කිව්වෙ...මතකද? ..ඔයාගෙ ජීවිතේ තීරනය කලේ සමාජ සම්මත.....ඔයා සමාජසම්මත වලට බයයි. සම්මතය ක්‍රමය නඩත්තු කරනවා..ක්‍රමය සම්මත හදල දෙනව....ඔයා නිකන් ඒක ඇතුලෙ දිය වෙනව..එච්චරයි....


තමුසෙ එදත් පිස්සෙක්..අදත් පිස්සෙක්....තාම වලාකුලු වල හැඩ හොයනව ඇති අර ගෑනිත් එක්ක....


උත්තරය හරිම සරලයි.....ඔව් ඒ තමයි මම....එච්චරයි.....


Thursday, April 15, 2021

මා තැනූ ඔබ


මට දිවිය දුන්
නිමැයුම් කරුවානෙනි
මිනිස් හදවතකින් දිවි ගෙවන
ඔබ විඳි වේදනාවන් දෙස
එක සීරුවට එකම තැන සිට
මම බලා සිටින්නෙමි
 
වසර ගනනක් දුහුවිලි බැඳී
මලකඩ කෑ අසිපතක් සමග
සීරුවට නැගී සිටිනා මම
ලී හදවතක මහිමයෙන්
සියල්ල විඳදරා ගනිමි
 
දිවිය පුරාවටම පෙම් කෙරූ
අර ගොපලු කෙල්ල
කෙමෙන් දුර්වර්ණව අවසන
බිම වැටී බිඳෙනයුරු
දෑහින්ම දැක දැකත්
තවමත් උත්තුංගව නැගී සිටින මා මෙන්
නොසැලී ඉන්නට ඔබටත් තිබිනි..
 
මට මෙන් ලී හදවතක් තිබුනා නම්
නොසැලී ඉන්නට පුලුවනි.


අනුෂ්ක තිලකරත්න
16/04/2021
 

 

Saturday, January 30, 2021

 කිසිදු කවියක් නොලියවෙන මොහොතක

මම ඔබේ නෙත් දෙස බලමි..

සැනෙකින් ඒ නෙත් බිමට හැරවෙයි

මුවග මදහසක් නැගෙයි..

ඉතින් ඒ නොලියවුනු කවිය

මම රහසින්ම කියවමි...

විඳිමි....




Tuesday, January 26, 2021

Calling Biyagama main gate..over?හෙවත් අපි දන්නෑ අප්පච්චී..අපි අත් පිටිපස්ස්සට තියං කතා කලේ.....

 මෙය 1993-1996 කාලයේ සිදු වූ සිදුවීමකි. එකල අපෙ අප්පච්චී බියගම ආයෝජන කලාපයේ (BOI) කළමණාකරු-ගිණි හා අරක්ෂක (Manager- Fire & Security) විය. බියගම ආයෝජන කලාපයේ මහා පරිමාණයේ වැඩ වර්ජනයක් එකල විය. අප්පච්චී පැය 24 ම රාජකාරි කරමින්  හිස ගිණිගෙන හැසිරුනු සමයකි. අපිට නම් පොඩි පහේ ආතල් එකක් විය. අපි එකල සිටියේ බියගම පොලිස් ස්ථානය ඉදිරිපස තිබූ නිවසකය. දැන් නම් එතන වෙන මොකද්දෝ ගොඩනැගිල්ලකි.  ඒ දවස් වල නිතර නිතර ආයුධ සන්නද්ධ පොලිස් රථ පාරේ යන අතර අප නිවස අසලද රථ කිහිපයක් නිතරම නවත්වා තිබුනු අතර , ඉතින් කොයි මොහොතක හෝ මහා කලබගෑනියක් වේ යන ආතතියෙන් , නමුත් පොඩි මෙව්ව එකකින් අය්යාද මමද සිටියෙමු. රාජකාරි කටයුතු වලට එකල අප්පච්චිට වෝකි-ටෝකි යන්ත්‍රයක් ලබාදී තිබුනි.නමුත් එය අපිට තහනම් භාණ්ඩයක් විය.

සිද්ධිය මෙසේය.

ඔය වෝකි-ටෝකි එකෙන් කතාකිරීමේ මහා රුදාවක් අය්යටද මටද තිබුනි. Calling Biyagama main gate..over (චක්ස්).., Calling control room..over (චක්ස්)..Calling three gate... over (චක්ස්).... ඔය අපිට නිතර වෝකි- ටෝකි එකෙන් ඇහුනු පණිවිඩ කීපයකි. දවසක් අප්පච්චි ගෙදර නැති වෙලාවක වෝකි-ටෝකි එක අතට ගෙන අය්යාද මමද පොඩි සංදර්ශනයක් දැම්මෙමු. අප්පච්චි කතා කරනවා මෙන් වෝකි- ටෝකි එක අරගෙන අපේ ප්‍රියතම පණිවිඩය වන Calling biyagama main gate..over යැයි කිහිප වතාවක් කීවෙමු. වෝකි-ටෝකි එක ඔන් එකේද නැත්ද යන්න වත් පරීක්ෂාකරන්න අපි දන්නේ නැත. අපි හිතාගෙන හිටියේ කතා කරන්න කලින් මොකක් හරි ස්විච් එකක් ඔන් කරනවා ඇති කියාය. නමුත් වෝකි ටෝකි එක අතට ගන්නවාත් සමගම ඉතාපහසුවෙන් ඇඟිලි වලින් නොදැනීම වගේ ඔන් වෙන ඉතා මෘදු ස්විච් එකක් පැත්තක තිබෙන බව අපේ අක්මාවට තේරුනේ නැත. ඉතින් කිසිම වගක් නැතිව අපි දවසේ ඉතිරි කාලය ජීවත් වුනෙමු.

ඇටිකෙහෙල් කෑවමද ප්‍රතිඵල එන්න තරමක් වෙලා යනවා නොවෙද? හවස ගෙදර පැමිණි අප්පච්චිට ආයෝජන කලාපයෙන් කෝල් එකක් ආවේය. අපිට ඇහුනේ "කවුද? කීයට විතරද ....ආ හරි මම බලන්නම් " කියා වේගයෙන් ටෙලි පෝන් එක තබන හඬ පමණි. අය්යද මම ද ටීවි බලමින් සාලයේ සිටියෙමු. එක්වරම මහා ඝර්ජනාවක් ඇහුනි.."මේ මොකාද කියනව බලන්න හෑන්ඩ් සෙට් එකෙන් මැසේජ් ගැහුවෙ උදේ" ? 

අය්යද මමද තක්බීර් වුනෙමු. මොකද්ද යකෝ මේ උනේ? මෙයා කොහොමද දන්නෙ? 

"අ.අ අපි දන්නෑ අප්පච්චි.."

"දැන් එතකොට තමුසෙල නෙමෙයි කතාකලේ?"...

"ආ අපි කතා කලා..තමයි,..නිකන් ජොලියට කතා කලා....හැබැයි වෝකි ටෝකි එක අතින් ඇල්ලුවෙ නෑ අප්පච්චි. ඒකඉස්සරහ ඉඳන් කතා කලේ...කොහොම උනාද දන්නෑ අප්පච්චි. අත් පිටි පස්සට කරගෙන කතා කලේ..ඇත්ත මේ..මෙහෙම මේ"

"තමුසෙල මට උගන්න්න හදනවද? දැන් කවුද ඒකෙන් කතාකලේ..?"

"මමත් කතා කලා..මෙයත් කතා කලා අප්පච්චි"....අය්ය කාරය මාව එකෙන්ම පාවා දුන්නේය.

"ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නෙ?" අම්මා සීන් එකට එන්ටර් වූවාය. දැන් ඉතින් අපිව බේරගනු ඇත.

"මුන් දෙන්න හෑන්ඩ් සෙට් එකෙන් මැසේජ් ගහල. . ඒ මදිවට මේ දවස්වල ප්‍රශ්න හින්ද කටුනායකයි, කොග්ගලයි ඒවත් ලින්ක් කරල තියෙන්නෙ. ඒවටත් ඇහිල....පණ්ඩිත වැඩ කරන එකේ සීමාවක් නෑ නෙ...දැන් කන්ට්‍රෝල් රූම් එකෙන් කතා කරල කිව්වෙ?"

   තොවිලය දැන් වඩාත් උස් හඬින් ඇසේ. අය්යද මමද බිං ගුල්ලන් මෙන් සිටිමු. 

"ආ මටත් ඇහුන තමයි කෝලින් මේන් ගේට් කිය කිය කියනව..මම හිතුව සෙල්ල්ම් කරනව කියල..මොනාද පුතා ඕ ගොල්ලො මේ කරන්නෙ?" සිදුවිය හැකි වෙනත් ආකාරයක් පෙන්වාදී අපේ නිර්දෝශීභාවය ඔප්පු කරනවා වෙනුවට අම්මාද පැමිණිල්ල වෙනුවෙන්ම පෙනී සිටියෙන් තත්වය තවත් දරුණු විය.

තොවිලය තවත් බොහෝ වේලාවක් පැවතීය. එදා හවස අපේ ඥාති සහෝදරයෙක් වන හඟුරන්කෙත නිශාන්තය්ය පාරුවේපුවකට අපේ ගෙදර ආවේය. සිද්ධිය මිනිහගේ කනටද ගියේය. එතැන් පටන් අප්පච්චි ළඟ නැති වෙලාවක් බලා "මල්ලි..මල්ලි මේ..මෙහෙම නේද වෝකි ටෝකි වලින් කතා කරන්නෙ?"  කියා....දෙකට නැමී අත් පසුපසට තියාගෙන (අර පහසුවෙන් සිටීම වගේ) "කෝලින් බියගම මේන් ගේට්..ඕවර්.." කියා අපිව බයිට් කිරීමට පුරුදු වී සිටියේය. තවද හෙන බැරෑරුම් පෙනුම ආරූඩ කරගෙන (අර රංජා කතා කරනව වගේ ) "මල්ලි මේ ඕගොල්ලො තේරුම් ගන්න ඕනෙ හෑන්ඩ් සෙට් තියෙන්නෙ රාජකාරි වැඩ වලට. නැතුව සෙල්ලමට නෙමෙයි. දැන් බලන්න ඕගොල්ලො ඒ කරපුවැඩෙන් අප්පච්චි ඔෆිස් එකේ සවුත්තු වෙනව නේද? තව අර එයාගෙ මැනේජර්ලටත් ඇහිල. නිකන් හොඳ නෑ නෙ මල්ලි. පොඩ්ඩක් කල්පනා කරන්න. ඕගොල්ලො වැදගත් ඉස්කෝල වලට නේද යන්නෙ?" කිය කිය නිශාන්තකාරයා අපිට කින්ඩි දැමීමට පුරුදුව සිටියේය."තොට තියෙන ඉකේපුමාරුව මොකද්ද යකෝ " කියා ඌට පහර දීමට සිතුනද ඌ අපිට වඩා හුඟාක් ලොකු එකෙක් නිසා පව් කියා මම ඉවසුවෙමි.

 ඔය පහල තියෙන්නේ ඒ කරුම වෝකි ටෝකි වර්ගයයි



Sunday, January 10, 2021

 ඔබ වෙනුවෙන් ආලේඛ්‍ය චිත්‍රයක්

කිසිවිටෙක නොඇන්දෙමි

එනමුත් මිහිරි මතකයන් 

කිසිවෙකුගෙ ඇස නොගැටෙන්න

කොහේ හෝ සඟවන්න සිතුවෙමි


මා පමනක් දන්නා

රහස් කේතයන් ගෙන..

කඳු මුදුන් මත

වලාකුල් මත

ඒ මතකයන් රැඳෙව්වෙමි,

කවි ලෙස...


ඉතින් ඒවා හුදෙක්ම

කවි පමණක්ද?


කාලය තුලම

ඝනීභවනය වූ සදාකාලික රහස් නොවන්නේද?

එතරම්ම මම ඒ මතකයන් වලට

ආදරය කරමි


Wednesday, January 6, 2021

 ඈ අතින් සිටවුනු මල්

ඉඩෝරයක දියබිඳක් ලදින්

මට ස්තූතිකල සැටි

ගැහැනු සිත් දන්නා නිසාවෙන්

එද ඈට රහසිනි...