Showing posts with label keti katha. Show all posts
Showing posts with label keti katha. Show all posts

Tuesday, December 23, 2025

රෙදි වැලක වැනෙන සෞන්දර්යය – විපරීත මිනිස් සමාජයක අව්‍යාජ පිළිඹිබුවක්

 වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ මිනිස්සු සහනය සොයා දෙවියන් වෙත යාමට මත්තෙන් මේ කර්කෂවූ මහපොළොව මත යම්තරමක් හෝ සැපතක් විඳීමට දරණ අරගලය ජීවත්වීම ලෙස නම් කළ හැකිය. කවර මට්ටමක සමාජ ආර්ථික පසුබිමක වුවද, දුක, වේදනාව, කලකිරීම හා අපේක්ෂාභංගත්වය යනු අනිවාර්ය විඳවීම්ම වේ. “රෙදිවැලක වැනුනු සෞන්දර්යයක්” ද තිබෙන බව සිය සාහිත්‍යම ඇසින් දකින ලක්ෂ්මන් කොඩිතුවක්කු, කෙටිකතා අටක් උපයෝගීකරගෙන මෙම අඳුරු යතාර්ථයන් විවිධවූත් නව්‍යවූත් රටාවන්ගෙන් අපගේ රසවින්දනය වෙනුවෙන් යොමුකරයි.

පරම්පරාවම මේ මහපොළොවේම උපන් උන් වූ නමුත්, සිය දරුපවුලට බිම් කඩක නිවසක් තනාගැනීමට නොහැකිව ලතැවෙන විමලය්යාට උරුම, බෙදාගත් බත්පතේ වැලිවැටීමේ — එහෙම නැත්නම් හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටීමේ — අවාසනාව, තුන්වෙනි ලෝකයේ රටක පීඩිත පංතියේ මිනිසුන්ගේ ජීවිතයේ පොදු ලක්ෂණයකි. “අස්ථි” නම් වූ එම කෙටිකතාවෙන් අපවෙත දක්වන ආකාරයට, සමාජවාදී–ධනවාදී බොහෝ දේශපාලන ව්‍යාපාරයන්ට කටගැස්මක් වූයේ මෙම මිනිසුන්ගේ ජීවිතයමයි. ඉතිහාසය ගැන මහත් භක්තියකින් කතාකරන ජාතියක වර්තමාන ඛේදනීය ඉරණම, දේශපාලන ධූරාවලිය තුල මිනිසාට සෙත සැදියයුතු, පොලීසිය උසාවිය පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම්ද පීඩිත මිනිසාගේ සැබෑ දුක් ගැහැට වලට පිළිසරණක් නොවන බව කතුවරයා සිය උසස් ලේඛන ශෛලිය භාවිතාකරමින් නවතාවයකින් යුක්තව අපවෙත කියාසිටියි. ඉතිහාසයේ විවිධ යුගවලදී හැබෑ ජනතා ප්‍රශ්න හඳුනාගත්තවුන් මුහුණදුන් ඛේදනීය ඉරණම සිය ලේඛන ශෛලිය තුලින් නිර්මාණාත්මක විවේචනයකට ලක් කරමින් පාඨක මනස නිවැරැදි දේශපාලනික දිශාවකට යොමුකිරීමට කතුවරයා උත්සාහ දරයි.

සදාචාරය සහ සංස්කෘතිය යනු අපගේ ජීවිතයන්ට එපිටින් පවත්නා, යම් දිනෙක අප විසින් වැළඳ ගත යුතු ජීවිත රටාවන්ද, නොඑසේනම් අපගේ එදිනෙදා ජීවිතය තුළින්ම පැනනැඟෙන හුදු අහඹු ජීවන රටාවක් ද යන්න විමසාබැලෙන මනාකොට රචිත කෙටිකතාවක් ලෙස “රෙදිවැලක වැනෙන සෞන්දර්යය” නම් කළ හැකිය. පතිවෘතාව, බෞද්ධ හා අනෙකුත් ආගමික ඉගැන්වීම් වලින් මෙහෙයවෙන සැමියා–බිරිඳ සංකල්පය, පීඩිත සමාජයක ජීවන අරගලය හමුවේ සැලී බිඳී යන ආකාරය මඟින්, සංස්කෘතිය යනු අනෙකක් නොව ජීවිතයම බවත් කතුවරයා කියාපායි. කිරි අම්මා දානය වැනි සංස්කෘතිකාංග, රූප හා සංඥා ලෙසින් යොදාගනිමින් කතුවරයා මතුකරන්නේ ඉහතින් කී සදාචාරය පිළිබඳවූ සංකල්පය ජීවන අරගලය තුළ ඉරිතලා යන ආකාරයයි. කර්කෂ වූ යථාර්ථය දෙස සානුකම්පිත ලෙසද, ඇතැම්විට හාස්‍යජනක ලෙසද බැලීමේ හැකියාව මෙම කෙටිකතාව තුළ කතුවරයා රඳවයි.

දේශපාලන අදහසක් දැරීම සෑම මිනිසෙකුගේම අයිතියක් වන අතර, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අයිතියද වත්මන් ලෝකයේ දියුණු යැයි සම්මත සමාජයන් පිළිගන්නා තත්වයකි. ශ්‍රී ලාංකික සමාජය තුළ “අරගලය” වැනි මෑතකාලීන දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයන් ගැන, සිය මතය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරයක් තුළ රඳවමින්, කතුවරයා අපට “බට්ටෙක් කතා කරයි” නම් කෙටිකතාවෙන් ඉදිරිපත් කරයි. හුදෙක් තම දේශපාලන මතවාදයන් දේශනා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා වෙනුවට, එකිනෙකට පරස්පර මතවාද, දැනුම, අවශ්‍යතාව සහ ප්‍රායෝගික යථාර්ථය අතර ඇතිවන්නාවූ ඝට්ඨනයන් මගින් පාඨකයන් සිතීමට පොළඹවා එතුලින්ම විශිෂ්ඨ අදහසක් මතුකරවීමට කතුවරයා සමත් වෙයි. .

මිනිස් ජීවිතයක් තනිකර සුදු හෝ කලු ලෙස බෙදා වෙන් කළ හැකිද? එය සැබැවින්ම අළු පැහැ නොවන්නේද? විටෙක වීරයෙක් ලෙස දකින චරිතයම දුෂ්ඨයෙකු වී අප ඉදිරියට නොපැමිණෙන්නේද? මිනිස් ජීවිතය තුළ සැඟවුනු ඒ අළු පැහැ ස්වභාවය මානුෂීය සුවඳක් සමග අප වෙත රැගෙන එන්නට “ඇගේ පුංචි රන් මාලය” නම් කෙටිකතාවෙන් කතුවරයා සමත්වෙයි. ආදරය යනු සැබෑවම පාවාදිය හැකි දෙයක් බවත්, කටුක යථාර්ථය හමුවේ මාතෘත්වය වුවද සංකල්පනාවක් පමණක් විය හැකි බවත් කතුවරයා අප වෙත ගෙනහැර දක්වයි.

මෙලෙස කෙටිකතා අටකින්, කතුවරයා අපට මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ පෙන්වා දෙයි. රස නිශ්පත්තිය සඳහා විවිධ රූප සහ සංසිද්ධීන් යොදාගන්නා ආකාරයෙන් කතුවරයා සිය පරිණත බව විදහාලයි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරය තුළ කතුවරයා දක්වන සංයමය විශිෂ්ඨය.  ගතවුනු දශක කිහිපය තුල යුද්ධය සහ අනෙකුත් දේශපාලන භීෂණයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකීය ජන සමාජය පිළිබඳව විශිෂ්ඨ  කියවීමක් ලෙස රෙදිවැලක වැනෙන සෞන්දර්යය නම් කෘතිය නම් කල හැකිය. තවත් කාලාන්තරයක් යනතෙක් එකී දේශපාලන වියවුල්තුල වියැකීගිය මිනිසත්කමේ කම්පනයන් සංවේදී මිනිස් සිත් සතන් තුලින් අතුරුදහන් නොවන බව මෙකී නිර්මාණයන්ගෙන් අපට පැහැදිලි වෙයි. පීඩනයෙන්ද මර්ධනයෙන්ද හිරි වැටුනු ජීවිත දෙස ලේඛකයෙකු මෙන්ම සැබෑ මානවහිතවාදී සානුකම්පිත සැබෑ මිනිසෙකු ලෙස බැලීමේ හැකියාව ලක්ෂ්මන් කොඩිතුවක්කු තුල පවතී.


ලේඛකයා යනු ආශීර්වාද ලද්දෙක් නොවන බව මගේ අදහසයි. එක්තරා ආකාරයකට ශාපයකට හසුවූවෙකි.මිනිස් ජීවිතයේ අඳුරු වේදනාවන්ට මෙන්ම සමාජ අසාධාරණය කෙරෙහි වෙන අධි සංවේදීතාව ඔවුන්ගේ හදවත් වේදනාවෙන්ම පුරවන අතර  එතුලින්ම මාණික්‍යයන් වන් නිර්මාණයන් ඔවුන් විසින් ලොවට තිළින කෙරේ. ලේඛන කලාව තුළ ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් සදාකාලික තාරුණ්‍යය උරුම කරගනු ඇතැයි මගේ බලවත් විශ්වාසයයි. එසඳහා මම ඔහුට ආශීර්වාද කරමි.


අනුෂ්ක තිලකරත්න

සිනුවර සිට

24/12/2025



Thursday, February 17, 2011

කඳු පංතිය


"සමාධි...තව වෙලා යයි ද? "

මාලින්ද ඇහැව්වෙ වර්ණ එන්න පොරොන්දු වෙච්ච වෙලාවට වඩා දැන් සෑහෙන්න පරක්කු වෙච්ච නිසා.

"ම්ම්..තව ටිකක් ඉමු. ෆොරිනස් ල වගයක් ආව කිව්වනෙ හදිස්සියෙම..".

සමාධි උත්තර දුන්නෙ එතරම් තැකීමක් නැතිව.

"හ්ම්ම්" .

"ෂහ්..මෙතනට මේ කඳු පංතිය පේන ලස්සන. ඊසල් එකත් තියාගෙන අඳින්න ඇත්නම්." මාලින්දට එහෙම හිතුනා.

"මාලින්ද අර කඳු ටික හරි ලස්සනයි නේද? බලන්නකො පර්ස්පෙක්ටිව් එක. නැචුරල් කලස්. අනේ..බලන්න." සමාධි එහෙම කිව්වෙ මාලින්දෙගෙ සිතුවිලි දැනගෙන වගෙයි.

මාලින්දට පුදුමත් හිතුනා."සමාධි මගේ හිත කියවනවද?" මාලින්දට හිනා ගියා.

“ඇයි ඔයා හිනා වෙන්නෙ?” සමාධි ඇහැව්වෙ තරහින් වගේ.

"නෑ. මේ දැන් මම ඒගැන හිතුවා විතරයි. අ නදර් ටෙලිපති එක්ස්පීරියන්ස්"

"හම්".

ඒ හඬෙහි තිබුනේ වේදනාවක් ද සතුටක් ද කියලා හිතා ගන්න මාලින්දට බැරි වුනා. මාලින්ද ඇස්කොනින් සමාධි දිහා බැලුවා. ඇය අද පැමිණියේ ඇගේ පෙම්වතාව මුණ ගැහෙන්න. වර්ණ..ප්‍රසිද්ධ චිත්‍ර හා මූර්ති ශිල්පියා. ඔහු ඇකඩමියට පැමිණි දිනවල ඇයට වෙන කටයුත්තක් නැහැ. ඔහු යන යන තැන පස්සෙන් යෑම හැර. ඒ දිනවල මිතුරු මිතුරියන් අතරේද ඇය හැසිරෙන්නේ වෑයමෙන් සඟවාගත් ආඩම්බරයක්ද ඇතිව. එක් අතකට වර්ණ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ පෙම්වතිය වෙන්න කවුද අකැමති. තමා තවමත් සමාධි ගැන මෙතරම් උනන්දුවීම ගැන මාලින්දට තිබුනේ තමන් ගැනම තරහක්. ඇය තමාගේ කවුද? ඇය තමාව ප්‍රතික්ෂේප කලා නොවේද? තමන්ට ඇය උරුම නැති බව දැන දැනම තමා තවමත් ඇය ගැන මෙතරම් වද වෙන්නේ ඇයි. අද ඇය හා මේ ගමන පැමිණීමම අනවශ්‍ය දෙයක් නොවේද? කමක් නැහැ. ආදරය කියන්නෙම පරිත්‍යාගයක්. මාලින්ද එහෙම හිතුවා.

"මාලින්ද...අපරාදෙ නේද අද ඔයාගෙ දවස...ඉන්න මම වර්ණ ආව හැටියෙම ඔයාව රිලීස් කරන්නම්.ඔයා මං නිසා කරදර වෙනවා ගොඩාක්."

සමාධි එහෙම කිව්වෙ ඇත්තටම තමා ගැන අනුකම්පාවෙන්ද නැත්නම් වර්ණව මුණගැසීමට ලැබෙන ප්‍රීතිය නිසාදැයි මාලින්දට හිතා ගන්න බැරිවුනා.

"නෑ කමක් නෑ. මම වර්ණ ආවම යන්නම්. දෙන්නට ඉතින් කතා කරන්න දේවල් නැතුවයැ."

සමාධි බිම බලාගෙන හිනා වුනා.

"ඉතින් දැන් කොයි කාලෙද වෙඩින් එක ගන්න ඉන්නෙ?".

මාලින්ද එහෙම ඇහැව්වෙ සිතේ මතුවෙමින් ආ වේදනාවක් යටපත්කරගැනීමේ අසීරු උත්සාහයක යෙදෙමින්.

“තවම තීරණයක් නැහැ මාලින්ද. දන්නවනෙ වර්ණ ගෙ හැටි. එයාගෙ මුලු ලෝකෙම චිත්‍රයි මූර්තියි. වෙන දෙයක් ගැන කතා කරන්න අල්ල ගන්න හරි අමාරුයි. ලෝකෙ ගැන එයාගෙ අදහස් හරිම වෙනස්.”

සමාධි කියවන්නෙ අර සඟවාගත්ත ආඩම්බරෙන් කියලයි මාලින්දට හිතුනේ. ඒකනෙ බිම බලාගෙන තනියම හිනාවෙන්නෙ.

“ආ අර එන්නෙ...ඇති යාන්තම්.”

සමාධි ඈත එන වර්ණ දිහා බලාගෙන කිව්වා.

අම්මෝ දැක්ක විතරයි ගෑනිගෙ මූණට ආපු එළිය. මාලින්දට සියුම් ඉරිසියාවක් ඇතිවුනා.

වර්ණ ළඟට එන්න කලින් සමාධි ඉදිරියට දුවගෙන ගියා.

මං මොකටද ඒ දෙන්නට බාධා කරන්නෙ. මාලින්ද බංකුවෙ වාඩිවෙලාම හිටියා.

ඒත් විටින් විට මාලින්ද වර්ණත් සමාධිත් කතා කරන දිහා බැලුවා. විනාඩි පහකින් විතර වර්ණ ආපහු හැරිලා ගොඩනැගිල්ල දිහාවට යනවා මාලින්ද දැක්කා. බිම බලාගෙන මැලවුනු මූණකින් සමාධි ආපහු මාලින්ද ඉඳ සිටි බංකුව වෙත ආව. හැබැයි ගියාට වඩා හරිම හිමින්. සමාධි ගේ ඇස්වල කඳුලු.

"ඇයි මුකුත් අවුලක් ද? මොකෝ අර හදිස්සියෙන් ආයෙත් දිව්වෙ?"

සමාධි මුකුත් නොකියා බංකුවේ වාඩි වුනා.

"ඇයි සමාධි මොකද්ද ප්‍රශ්නෙ? මට කියන්න සුදුසුනම් විතරක් කියන්න " .

මාලින්ද එහෙම කිව්වට සිදුවුනදේ දැන ගන්න ලොකු වුවමනාවක් නොතිබුනාම නෙමෙයි. සමාධි තව විනාඩි කිහිපයක් නිහඬවම හිටියා. ඒමුලු කාලෙම මාලින්දගේ ඇස් සමාධි ගේ ඇස් වෙත යොමුවී තිබුනා.

"එයාට අර ෆොරින් ආටිස්ට් ලා ලන්ච් වලට ඉන්වයිට් කලාලු. මාව එක්කගෙන යන එක හරි නැහැල්ලු. බලන්න මාලින්ද? මාස ගානකට පස්සෙ මට එයා මුණ ගැහුනේ. එදාටවත් එයාට මං වෙනුවෙන් වෙලාව නැහැ. එයා ඒ කට්ටියත් එක්ක ඩෙන්මාර්ක් යනවලු අනිද්දා.ඒකවත් මට කලින් කිව්වෙ නැහැ. එන්නෙ මාස 4කට පස්සෙලු. අනේ බලන්න මාලින්ද? මං.. මං අද ආවෙ එයා දවසම මා එක්ක ඉඳී කියල හිතාගෙන."

මාලින්ද මුකුත් නොකියා ඈත කඳු පංතිය දිහා බලාගෙන හිටියා. කඳු පංතිය, මාලින්ද සහ සමාධි අතර කාලය මිදිලා තිබුනා .

"සමාධි".

මාලින්ද බොහෝ වේලාවකට පසු නිහඬතාවය බින්දා.

"අපි යමු."

මාලින්ද බංකුවෙන් නැගිට්ටා.

සමාධිත් බිම බලාගෙන නැගිට්ටා.

"මාලින්ද"

“ ඇයි”

“ අර කඳු පංතිය...ඒක හරි ලස්සනයි නේද?”

මාලින්ද ජීවිතයේ පළමුවෙනිපාර ඒ කඳු පංතිය දිහා බලනවා වගේ බලාගෙන හිටියා. දැන් ඒමත හිරු රැස් වැටී ඇති විදිහ කලින් තිබුනාට වඩා ලස්සනයි කියා මාලින්දට හිතුනා.

"ඔව්. හරි ලස්සනයි. "