Saturday, April 28, 2018
P J සර් ගේ "එකම විහිළුව"
පී ජේ හෙවත් ප්‍රේමදාස ජයසිංහ සර් අපේ පංතියට ඉගැන්වූයේ නැතත් ගණිත අංශයේ අපි කවුරුත් ඉතා හොඳින් දන්නා ගුරුවරයෙකි. ඉතා සංසුන් කාරුණික ගුරුවරයෙකු ලෙස ඔහු මට මතකය.
පී ජේ සර් ගැන මට මතක සිද්ධියක් වන්නේ "එකම විහිළුව" දහ පොළක කීමේ සිද්ධියකි. එකම කතාව එකම අසන්නන් පිරිසකට කිහිප වරක් කීමෙන් ඇතිවන තත්වය කාටත් සිතා ගන්නට පුළුවන.
මට මතක විදිහට පී ජේ සර් කුමක් දෝ පණිවිඩයක් දීමට අපේ පංතියට (M 3) පැමිණි විටද මේ කතාව කිව්වේය. ඉන්පසු කොරිඩෝරයේ රැස්ව සිටි කොල්ලන් පිරිසකට දිනක් මේ කතාව කියනවා ඇසුණි. ඉන්පසු කුලරත්න ශාලාවේ පැවති රැස්වීමකදීද ඒ කතාවම කීවේය. පී ජේ සර් ඉගැන්වූ පංති වලට අනිවාර්යයෙන්ම කියන්නට ඇත. මෙන්න ඒ කතාව.
දිනක් එක් කොල්ලෙක් ඉතා ලස්සන කෙල්ලෙක් ළඟින් වාඩි වී ඇයගෙන් කැමැත්ත ඉල්ලන්නේ කෙසේ දැයි සිතමින් සිටියේය. කොතෙකුත් කල්පනා කලද කැමැත්ත ඉල්ලන්න හොඳම විදිහ කොල්ලාට හිතා ගැනීමට නොහැකි විය. අන්තිමට බොහොම අමාරුවෙන් හිත හදා ගෙන කොල්ලා කෙල්ලගෙන් මෙසේ ඇසීය.
"ඔයා මගේ ළමයගේ අම්ම වෙන්න කැමතිද? "
[ඉන්දීෂ සේනානායකගේ නිවැරදි කිරීමට ස්තූතියි.]
උ. පෙළ පංතිවල කොල්ලන් හිනැස්සීමට මේ වගේ අහිංසක කතාවකට ඇති හැකියාව කොතෙක් දැයි ඔබම සිතා බලන්න. ඒකත් එකම සෙට් එකට කිහිප සැරයක්ම කියන කොට?
ආනන්දයේ අපේ 2001 ඒ ලෙවල් පංති වල උන්ට මේ කතාව මතක ඇතැයි සිතමි.
Thursday, April 26, 2018
නැවත දන්වන තුරු
කොච්චර කිව්වත් අනෙක් අය
හිතෙන්නේම මට නොබඳින්න
කියනා විස්තරේ ඇහුවාම
දුවන්නයි හිතෙන්නේ මට
නිදන්නට පෙර භාවනාකරන
සතුරාටත් මෙත් පුරන
අවබෝධයට පත් වුන
කෙනෙක් මුණගැහුනා මට
මගේ පව් දන්නා නිසාම
එපා කිව්වා ඒ පුණ්‍යවන්තිය
වීදුරුවේ ඇඳි ඉරට
වඩා අඩුවෙන් පමණක් බොන්න
පළවෙනිම කොන්දේසිය
දෙවැන්නියගේ ඉල්ලීම
බැරි වැඩක් නොකර මම
බැරිය කිව්වා මූණටම
උස මහත ගැලපෙන
දායාද උතුරා තිබෙන
නිවුනු ගති ගුණ තිබෙන
මස් මාළු කන්නැති තෙවැන්නිය
ගවයෙක් නොවන හින්දා උලා කන
බැහැයි කිව්වා පසුව දින
උගත් රූමත් දායාද ඇති
ඉතා කඩිසර ගේ දොර වැඩද දත්
සොහොයුරා දොස්තර
යුවතියගෙ කටේ සැර
කන් රුදාවට ඇති බියට
බැහැයි කිව්වා කපුවාට
හිතෙන්නේ නැත්ද මට
තනිකඩව වසන්නට
නැවත දන්වන තුරුම
කසාද නම් නොසොයන් මට
Thursday, March 22, 2018
අන්තිම නිවේදනය
ඔබ සමග ගෙවූ කාලය
අවසන් බැව් දැන ගන්න
මහ වැසි හෙලන්නට
සූදානම් අහස
අන්තිම නිවේදනයත්
දැනුම් දී හමාරය..
මා කියූ සියලු දෑ
ඔබ වෙතම තබා ගන්න
වැසි දිය පහරට ඇද වැටෙමි
ඈතට පාව යමි
එතෙක්..එන්න
මේ සුළං රැළි විඳ ගන්න
Tuesday, February 27, 2018
තාත්තාගේ පුදුම ලොකු අත
සියලු බිය සැක දුරුව යන්නට
වැටුනු දිවියම යලි නගන්නට
බලගතුම බෙහෙතක් හිසමතට ගැල්වූ
තාත්තාගේ පුදුම ලොකු අත
පවුලේම බර
දරා ගෙන ගිය
නොසිඳෙනා වූ මහත් සවි ගත්
තාත්තා ගේ පුදුම ලොකු අත
වැරදි හරි ගස්සවා
මග නොමග පෙන්වන්න
නිතර අප බිය කෙරූ
තාත්තා ගේ පුදුම ලොකු අත
කාලයේ අණසකට යටවී
අයෝමය සවි කෙමෙන් වියැකෙන
මඳක් වැහැරී සෙමෙන් වෙව්ලන
තාත්තා ගේ පුදුම ලොකු අත
Monday, January 29, 2018
භූතයෝ...
(මනස දුර්වල අය රාත්‍රී කාලයේ කියවීමෙන් වලකින්න )
ඇතැමුන්ට පෙනෙන
ඇතැමුන්ට ඇහෙන
සමහරුන්ට දැනෙන
භූතයෝ වෙති බය හිතෙන
ඡන්ද කාලෙට පෙනෙන
ඡන්දෙන් පසු නොපෙනෙන
දියවන්නාවෙ රැස් වෙන
භූතයෝ වෙති සුදු අඳින
අල්ලන්න බෑ ලිස්සන
මහ දවාලෙත් ගෙට පනින
හොරකමින් තම දිවි ගෙවන
භූතයෝ එති ග්‍රීස් ගාගෙන
එක එක විදිහට දිවි ගෙනවන
තව තව විදිහට මිය යන
මරණයෙන් පසු බය කරන
භූතයෝ ලොව රජ කරන
Tuesday, January 16, 2018
කොණ්ඩෙ කැපීම
කොණ්ඩෙ කැපීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවෙ. එය සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ ආර්ථික විද්‍යාත්මක කරුණු රැසක එකතුවකි. මට මතක ඇති පරණම මතකය නම් මත්තේගොඩ නැෂනල් සැලූන් එකෙන් කොණ්ඩෙ කැපූ සමයයි. ඒ 1980 දශකයේ අග භාගයේදී සහ 90 දශකයේ මුල වගේ. ස්ටයිල් කැපීමකට අවසර නැත. නෑඹිලි කට් එක පමනි. "හොඳින් කොට කරන්න" යන පියා ගේ විධානයෙන් එහා ස්ටයිල් එකක් කැපීමට නැෂනල් සැලූන් එකේ සුදු සරං කාර බාබර්ට අවසර නැත.
කතුරෙන් කපා ඉවරවූ පසු රිදී පාට මොකද්දෝ ටිකි ටිකියක් කං වටේට බෙල්ල වටේ ගෙනියයි. ඊට පසු එලඹෙන්නේ බිහිසුණු දැලි පිහි හරඹයයි. කොහොමත් හං කිති කාරයෙක් වන මට මේ දැලි පිහි හරඹය ඉවසා වැදෑරීම පහසු කටයුත්තක් නොවේ. බෙල්ලේ කඩියෙක් යනවා වගේ දැනුනත් ඉවසා සිටින්නේ පොඩ්ඩ ගැස්සුනොත් "හිස නැති කඳක්" බවට පත්වේය යන භීටිය නිසාය. කොණ්ඩය කපාගෙන ඉවර වූ පසු නෑඹිලි කට් මම මහත් ශෝකයෙන් යතුරු පැදියට නගින්නේ කවදා නම් මට "මයිකල් නයිට්" ගේ මෙන් කොණ්ඩය කැපීමට ලැබේවිද යන වේදනාව සිතේ සිර කරගෙනය. බටහිර කතා වල ඉන්න පොඩි එවුන් මොන තරම් ස්ටයිල් එකට කොණ්ඩෙ තියා ගෙන ඉන්නවද? ඇයි අපේ රටවල් වල මෙහෙම?.
කොණ්ඩය පැත්තෙන් පීරීමට (වීරසිරි කට්) එකට මිසක් වෙන කට් එකකට පාසැලෙන් ද ගෙදරින්ද වසර නැත. මා 6 වසරේ ඉගෙන ගන්නා කාලයේ මැදින් බෙදීමේ ස්ටයිල් එක ජනප්‍රිය වී තිබුනි. නමුත් එය ඉතා නොහොඹිනා ක්‍රමයක් බව වැඩිහිටියන්ගේද දහම්පාසලේ ගුරු වරුන්ගේද තීරණය වී තිබූ නිසා මට ඒ අවස්තාවද අහිමි විය. කොණ්ඩය මැදින් බෙදා කණ් වටේට පොඩ්ඩක් අඩු වෙන්න කැපීමේ ස්ටයිල් එකට මොනතරම් ආස වුවද ඒ සඳහා අවසර නොවීය. පාසැලේ ශිෂ්‍ය නායකයින්ටද මැදින් බෙදන උන් ඇල්ලීමට වෙනම පඩියක් ගෙව්වාක් මෙනි. දිනක් මම හොරෙන්ම මැදින් බෙදා ගෙන පාසැල් ගියෙමි. හදිස්සියේම එක් ශිෂ්‍ය නායකයෙක් "මෙන්න මැදින් බෙදලා. ඕක පැත්තට පීර ගන්නවා. " යැයි තග දැමීය. පුදුමයක් වූයේ එසේ කියූ නායක උතුමාද මැදින් බෙදා ගත් එකෙක් වීමය. නමුත් මම ඒ ගැන ප්‍රශ්න නොකලේ මිනිහා දිග කලිසමක් ඇඳ සිටි නිසා සහ මම කොට කලිසමක් ඇඳ සිටි නිසාය. ඔය මැදින් බෙදන ක්‍රමය උග්‍ර උනේ ටයිටැනික් චිත්‍ර පටය කාලයේය. පාර පුරා හද්ද හපුටු ඩිකැප්රියෝලා වැහි වහින්නට විය.
පෙට්ටියක් මෙන් උඩට පීරන ක්‍රමයක් ද අත්හදා බැලුවෙමි. නමුත් එවිට "මල්ලී කරන්ට් වැදිලද?" කියා අසන එවුන් වැඩි වූ නිසා ඒ ක්‍රමේද අත්හැර දැමුවෙමි. පැත්තෙන් පීරා අනික් පැත්තෙන් මදක් පහත් වන අමුතුම ක්‍රමයක් ද මම දිනක් අත්හදා බැලුවෙමි. "ආ දේව් ආනන්ද් වගේ" කියා වැඩි හිටියෝ කියන්නට වීම නිසා එයද නවතා දැමූවෙමි. මොකාද යකෝ දේව් ආනන්ද්? ඌත් මිනිහෙක් ද?
කොහොමින් කොහොම හරි සාපෙළ ලියන තුරුම මගේ කොණ්ඩය මගේ නොවීය. මා කැමති නළුවෙක් ගේ මෙන් කොණ්ඩය තබා ගැනීමට මම බොහෝ උත්සාහ කලෙමි. නළුවාට උගේ එම පෙනුම ලැබී තිබෙන්නේ තනිකරම උගේ කොණ්ඩයෙනි යන මිත්‍යා දෘෂ්ඨිය මනෝභ්රාන්තියක් බවට පත් වන්නේ මොන විදිහට කොණ්ඩේ කැපූවත් කණ්නාඩියෙන් පෙනෙන කොණ්ඩය පමණක් තරමක් වෙනස් වූ පැරණි සත්ව රූපයම දැකීමෙනි. මෙයට පිළියමක් ලෙස කරන්නේ සැලූන් එක මාරු කිරීමය.
කොහොම උනත් අදටත් මට ගැලපෙන ඉස්ටයිල් එක හමු වී නැත. නමුත් මම උත්සාහය අත නොහරිමි. මැරෙන්නට පෙර එය මම සොයා ගමි.
Friday, December 22, 2017
චිත්‍ර ප්‍රදර්ශනය
පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් සාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි මේ සැරෙත් චිත්‍ර ටික ඔක්කොම ප්‍රදර්ශනේට තියනවා. පොඩි උන්ගේ සතුටනේ. ඔක්කොටම තෑගි දෙනව කිව්වම සෑහෙන්න උනන්දුවෙන් කට්ටිය චිත්‍ර ඇන්දා. බලමු මොනාද මේ සැරේ කියල. "අපි පංසල් යනවා." කවුද මේ ....දිනිදු උදාර . 3 වසර. ආ..පවුලම පංසල යනවා. ඈතින් චෛත්‍ය පෙන්නෙ. පස්සෙන්ම දිනිදුලගෙ බල්ලත් යනවා. දිනිදු අඳින ඕනම චිත්රයක කොහෙන් හරි මේ බල්ලත් ඉන්නවා. එක පාරක් දිනිදු "බුදු වීම" ඇඳල තිබ්බ. සිදුහත් බෝසතාණෝ බුදුවෙන තැන පැත්තක දිනිදුගෙ බල්ලත් ඉන්නව. එහෙම තමයි ඉතින් පොඩි උන්ගෙ ලෝකෙ.
මේ මොකද්ද? යුද්ධයක් වගේ. "හමුදාවෙ මාමලයි කොටි මාමලයි යුද්ධ කරපු හැටි". මොකක් යකෝ..කොටි මාමල..? හිහි. මමත් ගුටි කනව මේ මාතෘකාව දැම්මොත්..කමක් නෑ "යුද්ධය" කියල මාතෘකාව නම් වෙනස් කරන්න බැරියැ. කවුද මේ ආටිස්ට් ?. පසන් තාරක.. ආ පසන් ගෙ මාමා කෙනෙක් ඉන්නෙ හමුදාවෙනෙ. මිනිහට ටිකක් ආමි උණ.. ඒකයි.
ඊළඟට චේතන ගෙ "රොකට් එක". රොකට් එක ඇතුලෙ චේතන ඉන්නවා. හිනා වෙවී. පොඩි එවුන්ගෙ ලෝකෙ මොන තරම් නිදහස් ද? හිතෙන දේ අඳිනවා. ඒත් මේකා මේ හැම එකේම ඇමෙරිකන් කොඩිය ගහන්නෙ මොකෝ. අපේ කොඩිය ඇඳපන්කො පුතේ.
මේ කවුද? හොල්මනක් ද?. "මනමාලී". පබසරා දිලිනි ගෙ චිත්‍රෙ. නිකන් ලේ බීල වගේ. හික්.. මගුල් ඇඳුමත් හෙන විච්චූර්ණයි. පොඩි එකී සෑහෙන්න මහන්සි වෙලා තියෙනව මගුල් ඇඳුම අඳින්න. පාට පාට. ඒකිට හිතෙන හැටි නෙ. ලොකු උනාම බියුටි සැලෝන් එකක් වත් දාන්නෙ නැතෑ.
ඊළඟට "තාත්තා බැංකුවට යනවා". දෙව්මිණි ගේ චිත්‍රෙ. තාත්තා කාර් එකේ වැඩට යනවා. දෙව්මිණී ගෙ ගෙදර අය සේරම "ටටා" කියනවා එළියෙ ඉඳන්. දරුවා හැඩතල සහ වස්තූන් හොඳට අඳුන ගෙන තියෙනවා. වර්ණ සංකලනයත් හොඳයි. තව දියුණු වෙන්න පුලුවන් දරුවෙක්.
මේ මොකද්ද? නුග ගහ. සඳුන් තිසර. 4 වසර. පුදුමයි. මේ වයසෙ සාමාන්‍ය ළමයෙකුට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්. බලන්න නුග ගහේ තියෙන අපූරු හැඩ තල මතුකරගෙන තියෙන විදිහ. පරිසරයෙන් නුග ගහ කැපිල පේන විදිහට වර්ණ පාචිචි කරල තියෙන හැටි. අපූරුයි දරුවෝ.! මට ඉතින් ඕන තරම් කාලයක් පොඩි එවුන්ගෙ චිත්‍ර එක්ක ගත කරන්න පුලුවන්. හරිම අව්‍යාජ ලෝකයක් තියෙන්නෙ. තව චිත්‍ර මිටියක් ම තියෙනවා බලන්න.
බලමු මෙකත්. "අපේ චිත්‍ර සර්"..හෑහ්. මෙන්න මාව ඇඳල. අපොයි මගේ හැටි !. හෙන බඩක් දාල. මට ටයි එකකුත් දාල. කවුද මේක ඇන්දේ?..තත්සරණි පෙරේරා. අපොයි දුවේ මං මෙච්චර කැතද? හි හි හී. පොල්මුඩ්ඩක් වගේ රැවුලකුත් තියෙනවා. ප්‍රදර්ශනෙන් පස්සෙ මේක මං තියා ගන්නවා.
මේ මොකද්ද? වෙස්සන්තර කතාවෙ ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දීමද? නෑ. "තාත්තා අම්මට ගහනවා. මල්ලීයි මායි අඬනවා".. අපොයි..කවුද මේ දරුවා?...දිළිණි අප්සරා... මගේ පිට දිගේ හීන් දාඩියක් මතුවෙනවා වගේ. මේ යකෙක් වගේ ඇඳල තියෙන්නෙ තාත්තාද?. අම්ම බිම වැටීගෙන ඔලුව අල්ලගෙන ඉන්නව. දිළිණි අප්සරයි මල්ලියි මේ පැත්තක අඬනවා. පුටු පෙරළිලා.වලං පිඟන් බිම වැටිලා.මං හීනයක් දකිනවද? "තාත්තා අම්මාට ගහනවා . මල්ලියි මායි අඬනවා". නෑ මේ මගේ අතේ තියෙන්නෙ චිත්‍රෙ.දිළිණි අප්සරා.. 3 වසර.අපොයි දෙය්යනේ මේ චිත්‍රෙ මගේ අතට ආවෙ ඇයි? මොකටද මට මෙහෙම ප්‍රදර්ශනයක් තියන්න හිතුනෙ ?. මගෙ ඔලුව කැරකෙනවා වගේ. පොඩි එවුන් ගෙ චිත්‍ර හරිම අව්‍යාජම තමයි. මෙච්චර වෙලා මට තිබ්බ සතුට කොහේද? පපුවෙ මහා බරක් දැනෙනවා.එක්කෝ දිළිණිගෙ චිත්‍රෙ අයින් කරනවා.ඒත් එහෙම හොඳද? නෑ. චිත්‍රෙට සායම් හැලුනා කියනවා. කියල වෙන එකක් ඇඳල දෙන්න කියනවා. ඒත් කෙල්ල මේකම ඇන්දොත්..නෑ. එහෙම වෙන එකක් නෑ. කෙල්ල වෙන මොනව හරි අඳියි. ඔව් එහෙමවත් කරනවා. මට යාන්තම් හුස්මක් වැටෙනවා වගේ. මේ චිත්‍රෙ මං පරිස්සම් කරල තියා ගන්නවා.
"තාත්තා අම්මාට ගහනවා. මල්ලියි මායි අඬනවා".දිළිණි අප්සරා, 3 වසර.
Subscribe to:
Posts (Atom)










