Friday, December 22, 2017
චිත්‍ර ප්‍රදර්ශනය
පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් සාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි මේ සැරෙත් චිත්‍ර ටික ඔක්කොම ප්‍රදර්ශනේට තියනවා. පොඩි උන්ගේ සතුටනේ. ඔක්කොටම තෑගි දෙනව කිව්වම සෑහෙන්න උනන්දුවෙන් කට්ටිය චිත්‍ර ඇන්දා. බලමු මොනාද මේ සැරේ කියල. "අපි පංසල් යනවා." කවුද මේ ....දිනිදු උදාර . 3 වසර. ආ..පවුලම පංසල යනවා. ඈතින් චෛත්‍ය පෙන්නෙ. පස්සෙන්ම දිනිදුලගෙ බල්ලත් යනවා. දිනිදු අඳින ඕනම චිත්රයක කොහෙන් හරි මේ බල්ලත් ඉන්නවා. එක පාරක් දිනිදු "බුදු වීම" ඇඳල තිබ්බ. සිදුහත් බෝසතාණෝ බුදුවෙන තැන පැත්තක දිනිදුගෙ බල්ලත් ඉන්නව. එහෙම තමයි ඉතින් පොඩි උන්ගෙ ලෝකෙ.
මේ මොකද්ද? යුද්ධයක් වගේ. "හමුදාවෙ මාමලයි කොටි මාමලයි යුද්ධ කරපු හැටි". මොකක් යකෝ..කොටි මාමල..? හිහි. මමත් ගුටි කනව මේ මාතෘකාව දැම්මොත්..කමක් නෑ "යුද්ධය" කියල මාතෘකාව නම් වෙනස් කරන්න බැරියැ. කවුද මේ ආටිස්ට් ?. පසන් තාරක.. ආ පසන් ගෙ මාමා කෙනෙක් ඉන්නෙ හමුදාවෙනෙ. මිනිහට ටිකක් ආමි උණ.. ඒකයි.
ඊළඟට චේතන ගෙ "රොකට් එක". රොකට් එක ඇතුලෙ චේතන ඉන්නවා. හිනා වෙවී. පොඩි එවුන්ගෙ ලෝකෙ මොන තරම් නිදහස් ද? හිතෙන දේ අඳිනවා. ඒත් මේකා මේ හැම එකේම ඇමෙරිකන් කොඩිය ගහන්නෙ මොකෝ. අපේ කොඩිය ඇඳපන්කො පුතේ.
මේ කවුද? හොල්මනක් ද?. "මනමාලී". පබසරා දිලිනි ගෙ චිත්‍රෙ. නිකන් ලේ බීල වගේ. හික්.. මගුල් ඇඳුමත් හෙන විච්චූර්ණයි. පොඩි එකී සෑහෙන්න මහන්සි වෙලා තියෙනව මගුල් ඇඳුම අඳින්න. පාට පාට. ඒකිට හිතෙන හැටි නෙ. ලොකු උනාම බියුටි සැලෝන් එකක් වත් දාන්නෙ නැතෑ.
ඊළඟට "තාත්තා බැංකුවට යනවා". දෙව්මිණි ගේ චිත්‍රෙ. තාත්තා කාර් එකේ වැඩට යනවා. දෙව්මිණී ගෙ ගෙදර අය සේරම "ටටා" කියනවා එළියෙ ඉඳන්. දරුවා හැඩතල සහ වස්තූන් හොඳට අඳුන ගෙන තියෙනවා. වර්ණ සංකලනයත් හොඳයි. තව දියුණු වෙන්න පුලුවන් දරුවෙක්.
මේ මොකද්ද? නුග ගහ. සඳුන් තිසර. 4 වසර. පුදුමයි. මේ වයසෙ සාමාන්‍ය ළමයෙකුට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්. බලන්න නුග ගහේ තියෙන අපූරු හැඩ තල මතුකරගෙන තියෙන විදිහ. පරිසරයෙන් නුග ගහ කැපිල පේන විදිහට වර්ණ පාචිචි කරල තියෙන හැටි. අපූරුයි දරුවෝ.! මට ඉතින් ඕන තරම් කාලයක් පොඩි එවුන්ගෙ චිත්‍ර එක්ක ගත කරන්න පුලුවන්. හරිම අව්‍යාජ ලෝකයක් තියෙන්නෙ. තව චිත්‍ර මිටියක් ම තියෙනවා බලන්න.
බලමු මෙකත්. "අපේ චිත්‍ර සර්"..හෑහ්. මෙන්න මාව ඇඳල. අපොයි මගේ හැටි !. හෙන බඩක් දාල. මට ටයි එකකුත් දාල. කවුද මේක ඇන්දේ?..තත්සරණි පෙරේරා. අපොයි දුවේ මං මෙච්චර කැතද? හි හි හී. පොල්මුඩ්ඩක් වගේ රැවුලකුත් තියෙනවා. ප්‍රදර්ශනෙන් පස්සෙ මේක මං තියා ගන්නවා.
මේ මොකද්ද? වෙස්සන්තර කතාවෙ ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දීමද? නෑ. "තාත්තා අම්මට ගහනවා. මල්ලීයි මායි අඬනවා".. අපොයි..කවුද මේ දරුවා?...දිළිණි අප්සරා... මගේ පිට දිගේ හීන් දාඩියක් මතුවෙනවා වගේ. මේ යකෙක් වගේ ඇඳල තියෙන්නෙ තාත්තාද?. අම්ම බිම වැටීගෙන ඔලුව අල්ලගෙන ඉන්නව. දිළිණි අප්සරයි මල්ලියි මේ පැත්තක අඬනවා. පුටු පෙරළිලා.වලං පිඟන් බිම වැටිලා.මං හීනයක් දකිනවද? "තාත්තා අම්මාට ගහනවා . මල්ලියි මායි අඬනවා". නෑ මේ මගේ අතේ තියෙන්නෙ චිත්‍රෙ.දිළිණි අප්සරා.. 3 වසර.අපොයි දෙය්යනේ මේ චිත්‍රෙ මගේ අතට ආවෙ ඇයි? මොකටද මට මෙහෙම ප්‍රදර්ශනයක් තියන්න හිතුනෙ ?. මගෙ ඔලුව කැරකෙනවා වගේ. පොඩි එවුන් ගෙ චිත්‍ර හරිම අව්‍යාජම තමයි. මෙච්චර වෙලා මට තිබ්බ සතුට කොහේද? පපුවෙ මහා බරක් දැනෙනවා.එක්කෝ දිළිණිගෙ චිත්‍රෙ අයින් කරනවා.ඒත් එහෙම හොඳද? නෑ. චිත්‍රෙට සායම් හැලුනා කියනවා. කියල වෙන එකක් ඇඳල දෙන්න කියනවා. ඒත් කෙල්ල මේකම ඇන්දොත්..නෑ. එහෙම වෙන එකක් නෑ. කෙල්ල වෙන මොනව හරි අඳියි. ඔව් එහෙමවත් කරනවා. මට යාන්තම් හුස්මක් වැටෙනවා වගේ. මේ චිත්‍රෙ මං පරිස්සම් කරල තියා ගන්නවා.
"තාත්තා අම්මාට ගහනවා. මල්ලියි මායි අඬනවා".දිළිණි අප්සරා, 3 වසර.
Tuesday, December 19, 2017
නාට්‍යයේ මිය ගිය නළුවාට
මගතොටදී හමු වුවද
ඉඳ හිට සෙල්ෆියක් ගත්තද
මුහුණු පොත තුල සිටියද
ඉතින් උඹ මිය ගොසිනි
බලන හැම කොටසක
දැනෙයි උඹ නැති අඩුව
උඹ නැති ලෝකයක
පාළුව දැනෙයි හදවතට
නාට්‍යය බව දැන දැනම
අපි ඉන්නේ දුකින් මය
ඉඳගෙන හිටියත් අනෙක් පස
දැනෙන්නේ උඹ නැති බවය
හුඟ දෙනෙකුට බැහැ ඉතින්
ඔවැනි ලෙස මිය යන්න
ඊළඟ කොටසත් බලන කොට
නිසැකවම අපි දුකින්මය
Monday, December 11, 2017
අම්මාගේ චිත්‍රය
අම්මා අද චිත්‍ර අඳින්න යනවා මුහුදු වෙරළට. ඒ කියන්නෙ තවත් මම කැමතිම දවසක්. මං තමයි අම්මගෙ චිත්‍ර බඩු උස්සගෙන යන්නෙ. කියන්න කලින් මං කැමැත්තෙන්ම කරන එකම වැඩේ. මුහුදු වෙරළ කිට්ටුවෙන කොට මගේ හද ගැස්ම වැඩි වෙනවා. කී පාරක් ඇවිත් තිබුනත් හැමදාමත් එහෙම වෙනවා.
අම්මා මුහුදු වෙරළේ සුදුසු තැනක් බලලා චිත්‍රය අඳින්න ලෑස්ති උනා. ඊසල් එක හරියට හදා ගෙන කඩදාසිය අමුණගෙන පැන්සල් පින්සල් පාට ඔක්කොම හරි තැන්වල තියාගෙන ඊළඟට මට සුපුරුදු අවවාදෙ දුන්නා. "ඔයා ඈතට යන්න එපා . මට පේන්න ඉන්න." හරි. මං එයා කියන විදිහට ඉන්නවා.
මුහුද. ඒ ලස්සන ලොකු අද්භූත දෙය මං දිහා බලාගෙන ඉන්නවා. මං අම්මාගේ අවවාදය යටතේ උනත් රැල්ල පාගනවා. මගේ කකුල් යටින් වැලි හෝදගෙන යනවා දැනෙන එකට මං හරිම කැමතියි. එතකොට නොවැටී ඉන්න ලොකු දක්ෂ කමක් වගේම නිර්භීතකමක් අවශ්‍යයි.
මම විටින් විට අම්මා දිහා බලනවා. අම්මා චිත්‍රය අඳිනවා දිගටම. මටත් රැල්ල පෑගීම එපා වෙන්නෑ වගේ. මං වෙරළේ වලක් හෑරුවා. දැන් ඊළඟ රැල්ලෙන් ඒක වැහේවි.
වෙරළ කිට්ටුවෙන් අයිස් ක්‍රීම් වෑන් එක තියෙනවා. අදත් මට අයිස් ක්‍රීම් එකක් ලැබෙයි. හැබැයි අම්මත් එකක් ගන්නව නම් තමයි මම කැමති. නැත්නම් මට හිතෙන්නේ මම නරක ළමයෙක් කියලා.
අම්මා තවම චිත්‍රය ඇඳලා ඉවර නෑ. එයා සමහර විට අඳින්නෙ ප්‍රදීපාගාරය වෙන්න පුලුවන්. නැත්නම් මං වෙන්නත් පුලුවන්. මුහුදු වෙරළේ සෙල්ලම් කරන මම.
අම්මා චිත්‍ර ඇඳලා ඉවර වෙනකම් අයිස්ක්‍රීම් වෑන් එක තියේවිද?
මට පොඩි බයකුත් දැනෙනවා. ඒත් අම්මට කියන්නේ කොහොමද ඉක්මනට අඳින්න කියලා. අම්මා ඊසල් එකෙන් පොඩ්ඩක් පස්සට ගිහින් චිත්‍රය බලනවා.ඇඳලා ඉවරද?. නෑ අන්න ආයෙත් පාට ගානවා. කමක් නෑ. මම තවත් වෙලා ඉන්නම්. මම ඈත තියෙන ප්‍රදීපාගාරය දිහා බලනවා. ඔන්න මට තියෙනවා වැඩක්. කාල තුවක්කු වෙඩිල්ලකින් ප්‍රදීපාගාරය විනාශ කරන හැටි සැලසුම් කිරීම.
කාලතුවක්කුව හරි ආනතියට ගන්න ඕනෙ. ඊට පස්සෙ එක දිගට වෙඩි තියනවා බිමට සමතලාවෙනකම්.
දැන් ඒකත් ඉවරයි. ආයෙමත් මට කරන්න දෙයක් ඕනෙ. මට නම් අම්මට වගේ එක දිගට චිත්‍ර අඳින්න බෑ. එයාට පුලුවන් ලස්සන අහස , මුහුද, වෙරළ මේ ඕනෙම දෙයක් චිත්‍ර කොලයක අඳින්න. ඒත් මට බැහැ. වතාවක් මං එයා වගේ චිත්‍රයක් ඇන්දා. හැමෝම ඒකට හිනා උනා.
කකුළුවෙක් , බූවල්ලෙක් වගේ සතෙක් දැන් වෙරළට ආවොත් නම් තව සෑහෙන්න වෙලාවක් මට ඉන්න පුලුවන්.
අන්න අම්ම කතා කරනවා. යන්තම් ඇති. චිත්‍ර ඇඳල ඉවරයි. අපි දැන් යනවා. මම.ඉක්මන් කරලා අම්ම ලඟට දිව්වා.
චිත්‍ර බඩු ටික ගෙනියන්න මං එයාට උදව් කරනවා. අයිස් ක්‍රීම් වෑන් එක තාම තියෙනවා. "අම්මේ..මේ මේ..". අම්මට මං මගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා බොහෝම යාප්පුවෙන්. මගේ සතුට වැඩි කරමින් අම්මා අයිස් ක්‍රීම් දෙකක්ම ගන්නවා. එකක් එයාට.
අපි ආයෙත් දවසක මුහුදු වෙරළට එනවා චිත්‍ර අඳින්න. අම්මා අඳීවි. මම උදව්වට එනවා. අයිස් ක්‍රීමුත් ලැබේවි. එයා අඳින දේ කවදාවත් මට වැදගත් නෑ. ඒත් මං ආයෙත් එනවාමයි.